රොටලවෙල සැණකෙළියේ මාරක ළිඳ කඩා වැටේ

60

8 දෙනෙක් රෝහලේ

දිවුලපැලැස්ස, රොටලවෙල මහවැලි ක්‍රීඩාංගණයේ (23 දා) පැවැති සැණකෙළියක ඉදිකර තිබූ මාරක ළිඳක් හදිසියේ කඩා වැටීමෙන් කුඩා දරුවන් දෙදෙනකු ඇතුළුව පුද්ගලයන් අට දෙනකු තුවාල ලබා රෝහල්ගත කර ඇතැයි දිවුලපැලැස්ස පොලිසිය පවසයි.

පෙරේදා (23දා) රාත්‍රී 9.15ට පමණ සිදුවූ මෙම සිද්ධියෙන් තුවාල ලැබූ අය අවුරුදු 10, 13, 36, 29, 58, 35, 40, 45 යන වයස්වල පසුවන දිවුලපැලැස්ස ප්‍රදේශයේ පදිංචිකරුවන් බව පොලිසිය පවසයි.

තුවාලකරුවන් දෙදෙනකු ගිරාඳුරුකෝට්ටේ රෝහලටත්, සෙසු හයදෙනා මහියංගණය රෝහලටත් ඇතුළත් කර තිබේ. ඔවුන්ගේ තත්ත්වය බරපතළ නොවන බව රෝහල් ආරංචි මාර්ග පවසයි.

වෙසක් මංගල්‍යය නිමිත්තෙන් දිවුලපැලැස්ස රොටලවෙල ප්‍රදේශයේ විහාරස්ථානයක් හා ප්‍රදේශවාසීන් විසින් මෙම වෙසක් සැණකෙළිය සංවිධානය කර තිබූ බවත්, ඒ සඳහා අවසරය ලබාගෙන තිබූ බවත් පොලිසිය පවසයි.

අනතුරට ලක්වූ මෙම පිරිස මාරක ළිඳේ යතුරුපැදි ධාවනය වන ආකාරය නරඹමින් සිටියදී කොරිඩෝවේ ආධාරකය පොළොවට බැසීමත් සමඟ ඔවුන් ළිඳ තුළට ඇද වැටී ඇතැයි හෙළිවූ බව උසස් පොලිස් නිලධාරියෙක් “දිවයින” ට පැවැසීය.

මෙම මාරක ළිඳ නියමිත ප්‍රමිතියට සකස් කර තිබුණේද? නැද්ද? යන්න සම්බන්ධයෙන් විමර්ශන සිදුකරන බවත් හෙතෙම කීය.

මේ වනවිට තුවාල ලැබූ තිදෙනෙකුගෙන් ප්‍රකාශ ලබාගෙන ඇතැයි ද හෙතෙම කියා සිටියේය.

දිවුලපැලැස්ස පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්‍ෂක එම්. ඩී. දේශප්‍රිය මහතාගේ උපදෙස් මත උප පොලිස් පරීක්‍ෂක කුමාරසිංහ, පොලිස් සැරයන්වරුන් වන ජයවර්ධන (32114), අබේසිංහ (45567), කාන්තා පොලිස් කොස්තාපල්වරියන් වන නිර්මලා (2795), හේරත් (9106) වැඩිදුර පරීක්‍ෂණ සිදු කරති.

මෙය සංවිධානය කළ අයගේ පැත්තෙන් දුර්වලතාවයක් වී ඇති බවට තහවුරු වුවහොත් ඔවුන්ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බවද පොලිසිය කියයි.

ප්‍රදීප් ප්‍රසන්න සමරකෝන්

advertistmentadvertistment
advertistmentadvertistment