ලංකාවේ පැරණිම ජනපදය කැලණියද?

585
යටලතිස්ස කුමාරොත්පත්තිය සහ යටාලතිස්ස රජ විසින් කරවන ලද කැලණි වෙහෙර සෝලියස් මැන්දිස් කාලති විහාරයේ බිතු සිතුවම්

බුද්ධ කාලයටත් ශත වර්ෂ පහ හයකට පෙර කැලණිය ජනාවාස වී පැවැත්තේ යැයි ද එහෙයින් මේ නගරය තරම් දීර්ඝ කාලීන ඉතිහාසයක් ඇති පෙදෙසක් ලංකාවේ වෙන අන් කිසි තැනෙක නැති යැයි ද යන අදහස මේ ලිපියෙන් කියවෙයි.

පෙර කාලවල මානව ශිෂ්ටාචාරය වැඩි වශයෙන් හැඩගැසුණේ ගංගා ඇසුරු කොට ගෙනය. එයට හේතුව ජල පහසුව පමණක් නොව ගංගා සමීපයේ ඇති සරු සාර පසත් නිල්වන් පෙනුමත් සිහිල් ගුණයත් බව අමුතුවෙන් කිය යුතු නොවේ.

මේ අනුව කල්පනා කරන විට කැලණි ගග බඩ කැලණි පුරය නමින් නගරයක් ඉදිවන්ට ඇත්තේ මන්දැයි ලේසියෙන් සිතා ගත හැකිය. මේ නගරය ඉදිකරන ලද්දේ කවදා කවුරුන් විසින් දැයි හරි හැටි කිව නොහැකි නමුත් මෙය ශත වර්ෂ විසිපහකට වඩා පැරණි බව නම් සාක්කි සහිතව ඔප්පු කළ හැකිය.

අපේ සම්භාවනීය ඉතිහාස කෘතිය වූ මහාවංශයේ බුද්ධත්වය ලැබීමෙන් අටවන අවුරුද්දේ වෙසක් පුර පසළොස්වකදා බුදුන්වහන්සේ කැලණියේ මණිඅක්ඛිත නා රජුගේ ආරාධනයෙන් එනුවරට වැඩි බව සඳහන් වේ.

මේ සිද්ධියෙන් කැලණියේ පෙර පැවති උසස් තත්ත්වය අනාවරණය වන කරුණු දෙකක් දත හැකිය. ඉන් එකක් නම් එදා කැලණිය රජකුගේ වාසයට සුදුසු තරම් දියණුව පැවති බවයි. අනික නම් එදා ඒ නුවර බුදු කෙනකුන් පිළිගැනීමට තරම් සුන්දරව පැවති බවයි. මේ දෙකරුණ එක් තන්හිලා දක්නා විට වඩාත් උසස් තත්ත්වයක් පිළිබිඹු වන බව කිය යුතුය.

කැලණිය මේ තත්ත්වයට පත්වන්ට ඇත්තේ ශත වර්ෂ කීපයක් ඇවෑමෙනි. එසේ නම් කැලණිය බුද්ධ කාලයටත් ශත වර්ෂ පහ හයකට පෙර සිට හැඩ ගැසීගෙන ආ නගරයකැයි කීමට ඉඩ තිබේ. මෙයින් පෙනෙන්නේ කැලණිය අඩුම ගණනේ අවුරුදු තුන් දාහකට එහා ඉතිහාසයක් ඇති නගරයක් බවයි.

නාග

බුද්ධ කාලයේ සිට ශත වර්ෂ තුනක් ගත වෙද්දී නැවතත් කැලණියේ විසූ රජුන් ගැනත් එහි වූ යම් යම් සිද්ධි ගැනත් ඉතිහාසයේ සඳහන් වේ. ක්‍රි.පූ. තුන් වැනි ශත වර්ෂයේදී කැලණිතිස් නම් රජකු කැලණිය පාලනය කළ බවත් ඒ කාලයේ එහි යෝධ ජල ගැල්මක් ඇති වූ බවත් ඉතිහාසයේ කිය වේ. මේ ජල ගැල්ම නවත්වනු සඳහා කැලණිතිස් රජුගේ දේවී නම් දියණිය මුහුදට බිලි වූ සැටි කියන ත්‍රාසජනක කතාන්තරයක් ද ඇත.

මේ යුගයේදී හෙවත් ක්‍රි.පූ. තුන්වැනි ශත වර්ෂයේදී ලක්දිව විශාල පෙදෙසක් එනම් උතුරු හා උතුරු මැද පළාත් ද්‍රවිඩ ආක්‍රමණයට ගොදුරු විය. ඒ දැක කම්පිත වූ කැලණි පෙදෙස් වැසියෝ රුහුණු පෙදෙස් වැසියන් හා සම්බන්ධව පර සතුරන්ගෙන් රට බේරා ගැනීමට කල්පනා කළහ. කැලණිතිස් රජුගේ දියණිය රුහුණට ගොස් එහිදී විවාහ වී දරුවන් තනා රට සංවිධාන කිරීමේ දූරදර්ශී වැඩපිළිවෙළ පටන්ගත්තේ මේ කල්පනාවේ ප්‍රතිඵලයක් වශයෙනි.

ලංකාවේ පැරණිම ජනපදය කැලණියද?

එදා කැලණියේ මෙසේ රටක් සංවිධාන කිරීමට මුල් විය හැකි කාන්තාවක් පහළ වූයේ හදිසියේ යයිද නොසිතය යුතුය. කැලණිය පෙර සිටම මේ තත්ත්වයේ කාන්තාවක් පහළ කිරීමට තරම් වූ පරිසරයකින් යුක්තව පැවැති බව පිළිගත යුතුය.

විහාර දේවිය ඒ පරිසරයේ පමණ මැන පෙන්වූවාය. මේ නයින් විමසන විට එදා කැලණිය කා හට වුවත් ආඩම්බර වීමට සුදුසු කීර්තිමත් පෙදෙසක්ව තිබුණ බව සිතිය යුතුය.

ආගම

කැලණි යුගයේදී පමණක් නොව ඉන්පසු යුගවලදීත් ලංකාවේ ජාතිය බැබළුණේ ආගමික ගොඩනැඟිල්ල යන හැමදෙයම වඩා උත්කර්ෂවත් ලෙස ඉදිරිපත් කිරීමටත් නංවාලීමටත් පුරුදු වූහ.

මේ බව ඔප්පු කිරීමට කැලණි රජ මහ වෙහෙරද ලොකු නිදසුනකි. කැලණි වැසියන් එදා අනික් හැමට වඩා ඉහළින් තැනුවේ රජමහ වෙහෙරය. ඔවුන් රජ මාලිගය තැනීමට එපමණ වෙහෙසුණු බවක් නොපෙනේ. කොටින් කියතොත් රජුගේ මාලිගය සාමාන්‍ය ගොඩනැඟිල්ලක් හැටියට තනන ලද්දක් විය.

එහෙයින් එහි නෂ්ටාවශේෂ පවා විරලය.

මේ මෙසේ නමුත් රජමහ වෙහෙර නම් අනන්ත සතුරු උවදුරුවලට ද ගොදුරු වෙමින් අවුත් අද දක්වාත් මහා ජාතික ස්මාරකයක් මෙන් බබළ බබළා පවතී. මේ විශිෂ්ට වෙහෙරේ නිර්මාණය ද අසදෘස තත්ත්වයක් ගෙන ඇත.

පිරිවෙන

කලාත්මක ගොඩනැඟිල්ලක් හැටියට එය ඒ වර්ගයේ ඉතා අපූරු කෘතියකි. මෙයින් පැහැදිලි වනුයේ පැරණි කැලණි පුරවැසියන් තුළ පැවැති ශිල්ප නිපුණත්වය කොතරම් විශාල ද යන්නය.

අංග සම්පූර්ණ මහා විහාරයක් හැටියටත් කැලණිය එදා අද්විතීය විය. එකල එබඳු ආයතනයක ප්‍රමුඛ ලක්ෂණයක් වූයේ විශාල භික්ෂු සමූහයකින් හැසී ගැවසී පැවතීමය. දුටුගැමුණු කාලයේ කැලණි මහා විහාරය පන්සීයක් පමණ භික්ෂූන්ගෙන් යුක්ත විය. මෙතරම් විශාල භික්ෂු පිරිසක් සිටි තැනක් හැමවිටම යෝධ පිරිවෙනක්ද විය.

14 වන ශත වර්ෂයේදී විල්ගම්මුල සංඝරාජයන්ගේ ප්‍රධානත්වයෙන් කැලණි රජමහ විහාරයේ පැවැති පිරිවෙනක් ගැනත් ඉතිහාසයේ සඳහන්ව ඇත. මෙයින් පෙනෙන්නේ බටහිර අධිරාජ්‍යවාදී ජාතීන්ගේ ආක්‍රමණවලට මේ රට ගොදුරු වන තෙක්ම කැලණි සිද්ධස්ථානය විද්‍යාස්ථානයක් ලෙස ද හැඩගස්වා තිබුණු බවය.

ලංකාවේ පැරණිම ජනපදය කැලණියද?

එය එකල බොහෝ උසස් බෞද්ධ සිද්ධස්ථානවල දක්නට ලැබුණු සාමාන්‍ය පිළිවෙළකි. එහෙයින් කැලණි විහාරය වැනි තැනක් ඒ යුගයේදී එයට වෙනස්ව පැවතීමට කොහෙත්ම ඉඩ නැති විය. ලංකාව බටහිර ආක්‍රමණිකයන්ගේ පහරවලට මූණපාන්ට ඔන්න මෙන්න කියන තරමේදීත් හෙවත් 15 වන ශත වර්ෂය අවසානයේදීත් මේ රටේ ප්‍රධාන සිද්ධස්ථානයව පැවතුණේ කැලණි මහා විහාරය බව පෙනේ. මෙයට සාක්කි වශයෙන් සවැනි බුවනෙකබාහු රජු කල බුරුමයෙන් පැමිණි 40 නමකට කල්‍යාණි උදකුක්ඛෙප සීමාවේදී උපසම්පදාව දෙවා යැවීමේ සිද්ධිය ඉදිරිපත් කළ හැකිය.

මින් පසු කලක් යන තෙක් කැලණිය බරපතළ විදේශීය උවදුරුවලට භාජන විය. මේ උවදුරු මුළු ලංකාවටම පොදු වූ නමුත් කැලණිය කෙරේ වඩාත් තදින් බල පවත්වන්ට විය. කොටින් කියතොත් 16, 17, 18 වන ශතවර්ෂවලදී පෘතුගීසි, ඕලන්ද ආක්‍රමණිකයෝ කැලණියේ සුප්‍රසිද්ධ දාගැබ පවා බිඳ දමා මුළු පෙදෙසම අතිශය දරුණු පීඩනයකට භාජන කළහ.

ඔවුහු බෞද්ධයන්ට කැලණි විහාරයේ ආගම ඇදහීම ද තහනම් කළහ! මෙය කැලණි මහා විහාරයට වරක් කාලිංගයන්ගෙන් වූ පීඩනය සිහි කරවන්නක් බඳු විය.

මේ කෙසේ වුවත් කැලණි විහාරය කෙරෙහි මහජනයා තුළ පැවැති භක්තිය ඔවුන්ගේ සිත්වලින් කවදාවත් තුරන් කරවිය නොහැකි විය. සතුරු උවදුරු දැක දැක ඔවුහු සංවේගයට පත් වුණාක් මෙන්ම ස්ථිර අධිෂ්ඨාන ද ඇති කරගත්හ.

එහි ප්‍රතිඵල වශයෙන් ඔවුහු 18 වන ශත වර්ෂයේදී ද මේ සිද්ධස්ථානය පාළුවන්ට නොදී ආරක්ෂා කළහ. 19 වන ශත වර්ෂය වනවිට ඔවුන්ට තවදුරටත් එය ගෝපනය කරගත හැකි විය.

මේ සිද්ධස්ථානයේ දැන් පවත්නා ප්‍රභාවත් තත්ත්වය ඇති වූයේ නව කර්මාන්ත සහිත වූ අභිනව විහාර මන්දිරය නිසාය. ඒ පිළිබඳව කතා කරනවිට එයට මුල් වූ මාපිටිගම ශ්‍රී ධර්මරක්ෂිත මහා ස්ථවිරයන් වහන්සේගේත්, හෙලේනා විජයවර්ධන ළමා තැනීගේත් නම් අවශ්‍යයෙන් සඳහන් කළ යුතුය. විජයවර්ධන මැතිනියගේ ශ්‍රද්ධා භක්තියට සරිලන සේ ඇගේ උගත් බුද්ධිමත් දූ පුතුන් ප්‍රමුඛ කොට ඇති රටවැසියන්ගේ ආධාර උපකාර නොඅඩුව ලැබීගියෙන් විහාර කර්මාන්තය ජාත්‍යන්තර කීර්තියට භජන වන පරිද්දෙන් කරවා ලිය හැකි විය.

චිත්‍ර

මූර්ති ශිල්පය හා චිත්‍ර ශිල්පය අතින් මෙ තරම් විශාල වූත් අගනා වූත් කර්මාන්තයක් මෑත යුගයේ ලංකාවේ කෙරී නැත. මෙහි මූර්ති හා චිත්‍ර දකින්නෝ අතිශයින් පුදුම වෙති. ගත වූ වර්ෂය අගදී ඇමරිකාවේදී බුද්ධාගම පිළිබඳ කතා පන්තියක් පවත්වන්නට වූ මට කැලණි මහා විහාරයේ පාට පින්තූර රැසක් ලබාගත හැකි වීම නිසා බොහෝ ්දෙනාට කරුණු අවබෝධ කරවීම පහසු විය.

ඒ පින්තූර දුටු අය ඒ අගනා කර්මාන්ත කළ ශිල්පීන් ගැන ද විමසන්ට වූහ. ඇත්ත වශයෙන්ම අපරදිග රටක නම් කැලණියේ නව කර්මාන්ත කළ ශිල්පියාගේ ද ප්‍රතිමාව නෙළීම නියතය. එහෙත් අපේ රටේ සංස්කෘතික හැඟීම් අපරදිගට වඩා වෙනස් නිසා එබන්දක් ගැන කතාවක් නැත.

කැලණිය අද ජාත්‍යන්තර ගෞරවයට හා ප්‍රසාදයට භාජනව පවත්නේ ප්‍රධාන වශයෙන් රජ මහා විහාරය නිසා බව නැවත නැවතත් කිය යුතු නොවේ. එසේ නම් ඒ ගෞරවය තහවුරු වන සේ නැතහොත් වැඩිදියුණු වන සේ කටයුතු සැලසීම බෞද්ධයන්ගේ යුතුකමය.

ඓතිහාසික කැලණි මහ පෙරහැරේ කලාත්මක තත්ත්වයත් සංස්කෘතික වටිනාකමත් මෙයට සම්බන්ධව පවත්නා සිද්ධස්ථානයේ ශ්‍රේෂ්ඨත්වයත් නිසා පමණක් නොව කැලණිය කොළඹට නුදුරුව පවත්නා නිසාත් මෙය දැක්මට යෝධ ජනකායක් රැස්වෙති. මොවුන්ගෙන් වැඩිදෙනාට පෙරහැරේ ශ්‍රී විභූතිය ගැන මෙන්ම එය පවත්නා ස්ථානය නැතහොත් පෙදෙස ගැනත් අපමණ උදාර කල්පනා පහළ වනවාට සැක නැත.

ලංකාවේ පැරණිම ජනපදය කැලණියද?

advertistmentadvertistment