මහායානිකයන් ඉදිකළ ස්තූප
(1) ඉඳිකටුසෑය හා කටුසෑය
ලක්දිව විසූ මහායානිකයන් ගොඩනැංවූ ස්තූප අතරින් ඉතා හොඳින් ආරක්ෂා වී පවත්නේ මිහින්තලේ ඉඳිකටු සෑයයි. මහායාන ග්‍රන්ථවලින් උද්ධෘත පාඨ අඩංගු තඹ තහඩු මෙම ස්තූපය කැණීමේදී සම්බ වූ හෙයින් එම සාක්ෂිය ප්‍රමාණවත් කරගෙන මෙය මහායානික ගොඩනැඟිල්ලක් වශයෙන් හඳුනා ගැනීමට පිළිවන. මේ ස්තූපය හා සමප්‍රමාණයෙන් යුත් තවද චෛත්‍යයක් මීට මඳක් දුරින් පිහිටා ඇත. සාමාන්‍යයෙන් එය හැඳින්වෙනුයේ කටුසෑය යනුවෙනි. එහෙත් එහි නියම නම කුමක්දැයි මේ වනතුරු දැනගන්ට ලැබී නැත. ඉඳිකටුසෑය ඉදි වූ සැලැස්මට අනුවම පසු කී, සෑය ද ගොඩනංවනු ලැබීය. අනුරාධපුරයේ සේල-චෙතිය (කුජ්ජතිස්ස දාගැබ) හා විජයාරාම ස්තූපය ද මිහින්තලේ ඉහත සඳහන් දාගැබ් හා සමාන කළ හැකියි.
ඉඳිකටුසෑය ඉදිවූයේ ගල් පුවරු අතුළ වේදිකාවකය. ස්තූපයේ පාදම අටපට්ටම් හැඩය ගනියි. එක් පැත්තක දිග අඩි 10යි අඟල් 6කි. විෂ්කම්භය අඩි 27යි අගල් 6කි. ස්තූපයේ තුන්වන පේසාවෙන් මඳක් උඩට යනතුරු බැම්ම නැංවූයේ කළුගලිනි. එක පේසාවක් අඩි 1යි අඟල් 10ක් පමණ උසය. මුදුන් පේසාව ඊට යටින් ඇති පේසාවල් දෙකට වඩා මඳක් උසින් යුතු විය. ගල් පුවරු අතුළ වේදිකා භූමියෙන් අඩි 5යි අඟල් 6ක් පමණ වනතුරු පේසා වළලු යෙදිණි. යටිකුරු හා උඩුකුරු පියුම් පෙති මෝස්තරයකින් පළමුවැනි පේසාව ශොභාමත් විය. අනෙක් පේසාවල් සඳහා කුමුද, පද්ම, බන්ධ ආදී බොරදම් උපයෝගි විය. තුන්වන පේසාවෙන් ඔබ ස්තූපයෙහි ඝණ්ටාකාර හැඩය දිස්වෙයි. අඟල් 11ක් පමණ වනතුරු ඒ සඳහා යෙදුණේ කළුගල්ය. එයිනික්බිති ගඩොල් විශේෂයක් භාවිත විය. ස්තූප මස්තකය අද දවස දක්නට නොමැත. මෙම වර්ගයට අයත් කිසිම ස්තූපයක දේවතා කොටුව සහිත උපරිම භාගය අවශිෂ්ටව නොමැති හෙයින්, ඉඳිකටු සෑයේ ශිඛරය කෙසේවීද යනු, නිශ්චය වශයෙන් කිව නොහැකියි. රුවන්වැලිසෑයෙහි මෙන් අර්ධ ගෝලාකාර හැඩයක් එහි නොවූ බව නිසැකය. තුන්වන පේසාවෙන් ඔබ එහි අර්ධ ගෝලාකාර හැඩය වෙනුවට දිගටි හැඩය ගනිමින් සකස් වූ බව මේ ස්ථානය කැණවූ මහාචාර්ය හෝකාට් මහතාට දැනගැනීමට ලැබුණි. ඉන්දියාවේ සාර්නාත් වැනි ස්ථානවල ඇති ස්තූපවල ද මෙබඳු දිගටි හැඩය ඇති බව මෙහි ලා සඳහන් කළ යුතුය.
ඉඳිකටුසෑය පිහිටි වේදිකාව චතුරස්‍රාකාරය. පැත්තක දිග අඩි 41යි අඟල් 3කි. බිම් මට්ටමේ සිට අඩි 5යි අඟල් 3ක් උසට මේ වේදිකාව නැඟෙයි. මේ සඳහා යෙදූ ගල් බැම්ම ද බොරදම් සහිතය. ස්තූපයේ ආරක්ෂාව තහවුරු කිරීමවස් අඩි 1යි අඟල් 4ක් පමණ උස කුඩා ප්‍රාකාරයක් වේදිකාව සතර වටේටම යොදන ලදී.
ස්තූප වේදිකාවට ප්‍රවේශවීම සඳහා ඇත්තේ එක් පියගැට පෙළකි. එය බටහිරට මුහුණලා තිබේ. පියගැට 13කි. එක් පියගැටයක් අඩි 6ක් පමණ වේ. පියගැටපෙළ දෙපස කොරවක් ගලින් සැදුම් ලද්දේ විය. වේදිකා පාදමෙහි යෙදූ බොරදම් මෙහිද යෙදිණි. ගල් පඩි පේළියට නැඟෙන තැන ඇති සඳකඩපහණ කැටයමින් හොබනේය. ස්තූප වේදිකාවෙහි සතර දිශාභිමුඛව මල් අසුන් :3. 4..ං1.3..* වශයෙන් භාවිතවූ ගල් පුවරු සතරක් දිස්වේ.
ඉඳිකටුසෑයට සාකල්‍යයෙන්ම සමාන යැයි සැලකිය හැකි අනෙක් ස්තූපය ඊට මඳක් දුරින් පිහිටි කටුසෑයයි. වාස්තුවිiාත්මක ලක්ෂණ දෙතැන්හිම එකාකාරය. එම සෑය පිහිටියේ වර්ග අඩි 70කින් යුතු ගල්පුවරු අතුළ සම චතුරස්‍රාකාර වේදිකාවකය. ඊට ප්‍රවේශ වන ගල්පඩි පේළිය නැඟෙනහිර දිශාවට මුහුණ දෙයි. ස්තූපය අභිමුඛයෙහි ගලින් තැනූ මල් අසුනකි. විජයාරාම ස්තූපය ද කටුසෑයට සමාන යැයි සැලකිය හැකියි. වෙනසක් වශයෙන් පෙනෙනුයේ පසු කී, ස්ථානයට ප්‍රවේශවීම සඳහා සතර දිශාභිමුඛව යෙදූ පියගැට පේළි සතරයි. ඉඳිකටුසෑය සහ කටුසෑය වේදිකාවලට ප්‍රවේශවීමට යෙදුණේ එක් ගල්පඩි පේළියක් බව ඉහතින් සඳහන් කළෙමු.
(2) තිරියායි ස්තූපය
නැඟෙනහිර වෙරළාසන්නයෙහි පිහිටි තිරියායි ස්තූපය මහායානික ගොඩනැඟිල්ලක් වශයෙන් සැලකෙනුයේ එම ස්ථානය අසල ගල්තලයෙහි නෙළා ඇති සංස්කෘත සෙල් ලිපියක දැක්වෙන කරුණු අනුවය. මේ ලිපියෙන් කියැවෙන පරිදි තිරියායි ස්තූපය අවලෝකිතේශ්වර බෝධිසත්ත්වයන්ගේ වාසභවනයයි. එම ලේඛනයෙහි මංජුශ්‍රී බෝසතුන් ගැන ද ප්‍රශංසා මුඛයෙන් කළ වර්ණනයක් ඇත්තේය. මෙම කරුණු සැලකීමට ගත් කල, අවලෝකිතේශ්වර හා මංජුශ්‍රී බෝධිසත්ව ප්‍රතිමා දෙකක් තිරියායි ස්තූපය අසල ඉදිවී තිබුණු බව අනුමාන කළ හැකියි.
මකුට මණෞ කෘත ස්ඵුට මහාමුනි බිම්බධරො
නිවසති යත්‍ර සිද්ධසුරකින්නර පූජ්‍යතමඃ
ගුරුරවලොකිතෙශ්වර ඉති ප්‍රථිතො භගවාන්
තදහරහර්නමාමි ගිරිකණ්ඩිකවෛත්‍යමහම්
මුනිරපි මඤ්ජුවාග් මදනදොෂවිෂාදහරඃ
කනක විභූෂණොජ්වල විචිත්‍ර ගාත්‍ර රුචිර්
නියතමුපෛති යත්‍ර සුකුමාර තනුර්භගවාන්
තදහම්පි ප්‍රණෞමි ගිරිකණ්ඩිකචෛත්‍යවරම්
මෙකල මෙම චෛත්‍ය පුරාවිදු අධිකාරිය මගින් ප්‍රතිසංස්කරණය කර ඇත්තේය. එය පිහිටියේ කුඩා කඳුගැටයක් මත අක්කරයක් පමණ විශාල භූමි භාගයකය. එම ප්‍රදේශය කිසියම් ක්‍රමයකින් පස් කපා හෙළා සමතලා කළ බව පෙනේ. භූමි ප්‍රදේශය වටා ප්‍රාකාරයක් විය. නැඟෙනහිර දෙසට මුහුණ ලා යෙදූ වාසලකින් ඊට ඇතුළුවීම සඳහා අවකාශ සැලසිණි. ප්‍රාකාරයකින් පරික්ෂිප්ත වූ මෙම භූමි ප්‍රදේශය මධ්‍යයෙහි ස්තූපය ද ඒ මතුවෙහි වටදා ගෙයක් ද (සං. වෘත්ත – ධාතු – ගෘහ) තනනු ලැබීය.
පළමුවෙන් ඉදිකළායින් පසුව මේ ස්තූපය පසු කලකදී තවද විශාල කර ප්‍රතිසංස්කරණය කළ බව පෙනී යන හෙයින්, එහි ඉතිහාසයෙහි අවස්ථා දෙකක් පෙන්වා දීමට පිළිවන. මෙකල පවත්නා ආකාරයට එහි විෂ්කම්භය අඩි 32යි අඟල් 6කි. ස්තූපය පළමු තිබූ ආකාරයට අනුව එහි විෂ්කම්භය අඩි 24යි අඟල් 9කි. පළමු ස්තූපය වටා නැවත බැම්මක් තැනීමෙන් එය විශාල කළ බව සැලකිය යුතුයි. ස්තූපය සෑරීමේදී බැමි දෙකම මතුවිය. පළමු ස්තූප පාදම ද ප්‍රතිසංස්කෘත ස්තූප පාදම ද නඟන ලද්දේ බොරදම් සහිතවය. පරණ හා අලුත් බැමි අතර හිස්තැන් කැටකැබෙලිති ආදියෙන් පුරවා වසන ලදී. පුරාවිදු අධිකාරිය ප්‍රතිසංස්කරණ කටයුතු කරන කල, මුල් ස්තූපය පිහිටි පරිදි සලකා ගැනීම සඳහා එහි පැත්තක කොටසක් විවෘත කර තැබීය. ස්තූපයේ ගෝලාර්ධය අද දිස්වන පරිදි තුන්වන පේසාවෙන් මතුවෙහි අඩි 4ක් පමණ උසට ඉදිවී ඇත. එහි ශිඛරය කෙසේ සකස් වී ද යනු කීම අපහසුයි. ධාතු ගර්භයෙන් ද යමක් අවශිෂ්ටව නැත. පුරාවිiාඥයාට පළමුවෙන් නිදන් සොරා එහි පැමිණි බවට සලකුණු එමටය.
අඩි 79ක විෂ්කම්භයක් ඇති කවාකාර වේදිකාවක ස්තූපය නංවනු ලැබීය. මෙම වේදිකාවෙහි සම කේන්ද්‍රිකව පිහිටු වූ ගල්කණු පේළි දෙකකි. ඇතුළත ගල් කණු පේළිය, ස්තූප පාදමෙන් අඩි 3යි අඟල් 6ක් ඈතින් සිටින සේ පිහිටුවන ලදී. ගල් කණු පේළි දෙක අතර පරතරය අඩි 12යි අඟල් 9කි. පිටතින් සිටු වූ ගල් කණු, ස්තූප පාදමෙන් අඩි 16ක් පමණ ඈත් විය.
ඇතුළු පේළියේ ටැම්වලින් මෙකල ඉතිරිව ඇත්තේ එකක් පමණි. මේ ටැඹ එහි පාදමේ සිට අටපට්ටම් හැඩය ගනියි. පිටත පේළියේ ටැම් සියල්ලම කලින් තිබුණු පරිදි මෙකල ද අවශිෂ්ටව ඇත. ටැම් හිස දක්වා එක් ටැඹක් අඩි 14යි අඟල් 6ක් පමණ උසය. පාදමේ සිට අඩි 4ක් උසට චතුරස්‍රාකාරව ද එයිනික්බිති අටපට්ටමින් ද යුතුව මෙම පිටත පේළියේ ටැම් සකස් විය. ටැම් හිස් හා ටැම් කඳ එකම ගලින් නෙළන ලදී. ටැම් හිස් අලංකාර කිරීමට යෙදූ කැටයම් විරල වශයෙන් තැන්තැන්වල දක්නා ලැබේ.
සතර දිශාභිමුඛව, ස්තූපය ඉදිරිපිට තැබූ මල් අසුන් සතරකි. අඩි 5ක් පමණ දිග අඩි 3ක් පමණ පළල ඇති ගල්පුවරු මේ සඳහා යෙදිණි. මල් අසුනේ පාදම සිංහ රූ සහ මල් වැල් මෝස්තර අදියෙන් යුක්තය. ගල් පුවරුව ද බොරදම් සහිතය. මේ සතරින් වඩා හොඳින් ආරක්ෂා වී ඇත්තේ නැඟෙනහිර හා දකුණු දිගින් පිහිටි මල් ආසනයි.
මල් අසුන් අභිමුඛයෙහි සතර දෙසට විහිදී පියගැට පේළි සතරකින් ස්තූප වේදිකාවට ඇතුළුවීමට ඉඩ සැලසිණි. සඳකඩපහණ, නාග මුරගල්, මකර මුඛ සහිත කොරවක් ගල් ආදියෙන් සැදුම්ලද පඩිපේළිවල, එක් පඩියක් අනෙක් පඩියකින් වෙන් කෙරෙන තැන්හි පියුම් පෙති මෝස්තර කැටයම් විය. පඩිපෙළ නැඟ වේදිකාවට ප්‍රවේශවන තැන ද්වාරයක් තිබුණි. එයින් මෙකල අවශිෂ්ටව ඇත්තේ උළුවසු පමණකි. නාග මුරගල්වල ඇති රූප නෙළා ඇත්තේ දකුණු ඉන්දියානු පල්ලව කලා සම්ප්‍රදායට අනුවය. දිගටි අත් පා, උදාර විලාසයකින් යුතු මුහුණු ආදිය දක්වන නා රජුන්ගේ සිරුරුවල අනවශ්‍ය තරමට ආභරණ පලඳවා නොමැත්තේය. අනෙක් මුර ගල්වල මෙන් ඔවුන්ගේ අත්වල ද පුන්කලස් ආදිය දිස්වේ.
බිම් මට්ටමේ සිට අඩි 10යි අඟල් 3ක් පමණ උස බැම්මක් යෙදීමෙන් ඉහත කී කවාකාර වේදිකාව සාදාගනු ලැබීය. වේදිකාව මතුවෙහි ඒ වටා ඉදිවූ ප්‍රාකාරය අඩි 2යි අඟල් 7ක් පමණ ඝනය. මේ ප්‍රාකාරය තනනු ලැබුවේ ඔප දැමූ ගල්පුවරු ආධාර කරගනිමිනි. ප්‍රාකාර පාදම පිට පැත්තේ ද ප්‍රාකාර ශීර්ෂයෙහි ද බොරදම් යෙදීමෙන් අලංකාර කරන ලදී.
පොළොන්නරු හා මැදිරිගිරි වට දා ගෙවල මෙන් තිරියායි වට දා ගෙය ඉදිකිරීම සඳහා කවාකාරව තැනූ ගඩොල් බිත්තියක් නොයෙදිණි. වට දා ගේ වහලය පිටත ප්‍රාකාරය දක්වා දිගු කිරීම නිසා ගඩොල් බිත්තියක අවශ්‍යතාවයක් ඇති නොවීය. ප්‍රාකාර ශීර්ෂයෙහි ඇති සිදුරුවල එබඳු වහලයක පරාල රැඳවූ බවක් අපට සලකාගත හැකියි. ලක්දිව අනෙක් තැන්වල ලැබෙන වට දා ගෙවල මෙබඳු ලක්ෂණයක් නොදැක්වෙන හෙයින් තිරියායි වට දා ගෙය එම කරුණින් විශේෂතාවයක් උසුලයි.
පියගැට පෙළ අභිමුඛයෙහි ඇති නාග මුරගල් වලින් පල්ලව කලා සම්ප්‍රදායේ ආභාසය පිළිබිඹු වන බව කලින් සඳහන් විය. අසල ගල් තලයෙහි නෙළා ඇති සෙල් ලිපියෙහි ඇතුළත් කරුණු මහායාන අදහස්වලින් අනූනය. ක්‍රි.ව. 7 ශත වර්ෂයට අයත් පල්ලව ග්‍රන්ථාක්ෂරවලින් ලියැවුණු එම ලිපිය රචනා වූයේ සංස්කෘත භාෂාවෙනි. ස්තූප වේදිකාවේ අතුළ ගල් පුවරුවක ක්‍රි.ව. 9වන ශත වර්ෂයට අයත් කළ හැකි සිංහල අකුරින් ලියැවුණු සෙල් ලිපියක් ද ලැබේ. ප්‍රමාණයෙන් කුඩා වුවද, මේ ස්තූපයෙහි ආකෘතිය විජයාරාම දාගැබ සහ ඉඳිකටුසෑය සමග සැසඳිය හැකියි. මෙම කරුණු සියල්ලම සැලකීමට ගත් කල තිරියායි ස්තූපය මහායානික ගොඩනැඟිල්ලක් බව ස්ථිර වශයෙන් නිගමනය කිරීමට පුළුවන.
- විජයාරාම ස්තූපය
අනුරාධපුරයෙන් උතුරුදිග පිහිටි විජයාරාමය පිළිබඳව කලින් සඳහන් විය. එහි ස්තූපය පිහිටියේ උස් වේදිකාවක නැඟෙනහිර දෙසට යොමුවය.
ස්තූපයේ දිස්වන වාස්තුවිiාත්මක ලක්ෂණ හා ස්තූප ගර්භයේ සුන්බුන් අතර තිබී සමුවූ තඹ තහඩුවල ඇතුළත් කරුණු සලකා බැලීමෙන් මෙම ගොඩනැඟිල්ල මහායාන නෂ්ටාවශේෂයක් වශයෙන් හඳුනාගත හැකියි.
පැත්තක දිග අඩි 10යි අඟල් 6ක් වන සේ අටපට්ටම් හැඩයෙන් යුතුව ස්තූප පාදම ගොඩනංවන ලදී. එහි විෂ්කම්භය අඩි 27යි අඟල් 6යි. පාදම මතුවෙහි පේසාවළලු තුනකි. පේසාවල් අතර දුර ප්‍රමාණය එක සමාන වුවද උඩින් පිහිටි පේසාව ඊට යටින් පිහිටි පේසාවට මඳක් පසුපසට නෙරා සිටින සේ සකස් කරන ලදී. මේ පේසාවළලු තුනම අඩි 5යි අඟල් 3ක් උසට නැඟෙයි. එහි විභූෂණාදියක් දක්නට නැත. තුන්වැනි පේසාවට උඩින් ස්තූපයේ අර්ධගෝලාකාර හැඩය ඇරඹෙන තැන්හි විවෘත පද්ම පත්‍ර මෝස්තරයක් යොදා ඇත. මෙතැන් සිට තරමක් උසට ගලින් ද එයිනික්බිති ගඩොලින් ද බැම්ම නැංවූ බවක් ඉඳිකටුසෑය නිදර්ශනය අනුසාරයෙන් සලකාගත හැකියි. හතරැස් කොටුව සහ කොත් කැරැල්ල සහිත ශිඛරය ගඩොලින් හා හුනු බදාමයකින් කරවා තිබුණු බවක් අනුමාන කළ හැකියි. පේසාවළලුවලින් උඩට බැම්ම නැංවීමේදී ඉඳිකටුසෑයෙහි පිළිවෙළ අනුව අර්ධගෝලාකාර හැඩය වෙනුවට දිගටි හැඩයෙන් යුක්ත වන සේ ස්තූපය ඉදිවන්ට ඇති බව අපට අනුමාන කළ හැකියි.
ස්තූපය පිහිටි වේදිකාව වර්ග අඩි 42කින් යුක්තවූ සමචතුරස්‍රයකි. එය ගල්පුවරු අතුරා සකස් කැරිණි. සතර දිශාභිමුඛව යෙදූ පියගැටපේළි සතරකින් ස්තූප වේදිකාවට ප්‍රවේශ විය හැකි විය. පියගැටපෙළක පියගැට 10කි. එකක් අඩි 6ක් පමණ දිගින් යුතුවිය. පියගැට දෙපසින් යෙදූ කොරවක්ගල් ඉතා චාම් අන්දමට නෙළා තිබේ. කොරවක්ගල් ඉදිරියෙහි තැබූ මුරගල්වල කළස් මෝස්තර කැටයම් විය. මේවා කැටයම් කළ ආකාරය එකිනෙකට වෙනස් වෙයි. පියගැටපෙළට නඟින තැන සඳකඩපහණක් බැගින් තබා ඇත්තේය.
එච්.සී.පී. බෙල් මහතා මෙම ස්ථානයට පැමිණ කැණීම් ආරම්භ කිරීමට මත්තෙන්, නිදන් සොරු පැමිණ ස්තූපය සාරා තිබුණි. ගඩොල් බැම්මෙහි යමක් මෙකල අවශිෂ්ටව නැත. විජයාරාමය කවර විධියේ බෞද්ධාගමික ආයතනයක් ද, එය ඉදිකළේ කිනම් කාලයක ද යන ප්‍රශ්න නිරාකරණය කර ගැනීම සඳහා ඉදිරිපත් වී ඇති වැදගත් සාධක නම් ස්තූපයේ සුන්බුන් අතරින් සමුවූ ලේඛන සහිත තඹ තහඩුය. නිසැක වශයෙන්ම මේවා ධාතු ගර්භයේ නිදන් කර තිබී නිදන් සොරුන් අතට පත්ව, ඔවුන්ට ඉන් ප්‍රයෝජනයක් නොමැති නිසා සුන්බුන් අතරම දමා ගියා විය හැකියි. මේ තඹ තහඩුවල ලියැවී ඇත්තේ මහායාන දෙවි දේවතාවන්ට කළ යාතිකා විශේෂයක් බැවින් මේ ගොඩනැඟිල්ල මහායානිකයන් ඉදිකළ බවට එය ප්‍රබල සාධකයක් වශයෙන් ඉදිරිපත් කළ හැකියි. පාඨකයන්ගේ ප්‍රයෝජනය සඳහා එයින් කිහිපයක් පහතින් දක්වමු.
(අ) ආකාශගර්භ මහාකාරුණික රෛරය අග්තං
මම බුද්ධ විෂය චර චරි චිරි තරි ස්වාහා
(ආ) ප්‍රථම ආකාශගර්භාය බොධිසත්වාය මහාසත්වාය මහා කාරුණික
(ඉ) කිලිකි ධිරි ධිරි හුරු හුරු වෛරොචන ගර්භ සඤ්චිතාගස්ථාර්යාකාශ ගර්භ මහා කාරුණික හ
(ඊ) හුරු හුරු වෛරොචනගර්භ සඤ්චිතාගස් ථාර්යාකාශ මහා කාරුණික හ
(උ) ඕං තාරෙ තුන්තාරෙ තුරෙ ස්වාහා
(4) පුලියන්කුලම ස්තූපය
පුලියන්කුලම විහාර භූමියෙහි උස් වේදිකාවේ පිහිටි නො. 3 ප්‍රතිමා ගෘහයට දකුණු දිගින් ස්තූපය ගොඩනංවා තිබුණි. බිම් සැලැස්ම පිරික්සන කල, අනුරාධපුරයේ සෙල – චෙතිය (කුජ්ජතිස්ස දාගැබ) බිම් සැලැස්ම මේ හා සමාන කළ හැකියි. විජයාරාම ස්තූප වේදිකාවට ප්‍රවේශ වීම සඳහා සතර දිශාභිමුඛව පියගැටපේළි සතරක් තිබුණු බව කලින් සඳහන් විය. පුලියන්කුලම ස්තූප වේදිකාවෙහි ඇත්තේ උතුර හා බටහිර දිශාවන්ට මුහුණ ලා පියගැටපේළි දෙකකි. අනුරාධපුරයේ සේල චේතිය වේදිකාවෙහි ද මෙබඳු පියගැටපේළි දෙකක් ඇත. එහෙත් ඒවා මුහුණ ලා තිබෙනුයේ දකුණු හා නැඟෙනහිර දිශාභිමුඛවය.
පැත්තක දිග අඩි 46ක් වූ සමචතුරස්‍රාකාර වේදිකාවක ස්තූපය නංවනු ලැබීය. ස්තූප පාදම හැරෙන්ට මෙකල යමක් අවශිෂ්ටව නැත. ධාතු ගර්භය තනා තිබුණේ ගඩොල් විශේෂයකිනි. එහි අඩියේ යන්ත්‍ර ගලක් විය. ඊට අඟල් 10ක් උඩින් තවද ගල්පුවරුවක් විය. එහි මැද කෝප්පයක හැඩයට ත්‍රිකෝණාකාරව සිටින සේ වළවල් තුනක් සාරා තිබුණි. යන්ත්‍රගල හා මෙම ගල් පුවරුව අතර හිස් පෙදෙස පසින් පුරවන ලදී. නිදන් සොරු පැමිණ යන්ත්‍රගල සහ ගල් පුවරුව ඉතිරි කොට ධාතු ගර්භයේ අන් සියලු වස්තුව පැහැර ගෙන ගිය බව පෙනේ.
ස්තූප වේදිකාව ගල් පුවරු අතුරා සකස් කරන ලද්දකි. සතර දිශාභිමුඛව යෙදූ මල් අසුන් සතරක් ස්තූපය අසල විය. මේ අසලම සිරිපතුල් සටහන යෙදූ ගල් පුවරු ද විය. මල් අසුන් ඉදිරියෙහි ස්තූපයට හේත්තු වන සේ මේ සිරිපතුල් සටහන් තැන්පත් කර තිබුණා විය හැකිය.
ස්තූප වේදිකාවට ප්‍රවේශ වන සේ යෙදූ පියගැටපේළි දෙක උතුර හා බටහිර දෙසට මුහුණ ලා තිබුණි. චාම් ලෙස නෙළුෑ කොරවක්ගල් සහ සඳකඩපහණක් ද සහිත පියගැටපෙළක ගල්පඩි නවයක් ඇතුළත් විය. කොරවක්ගල් අභිමුඛයෙහි සිටුවූ මුරගල්වල විජයරාමයෙහි මෙන් පුන්කලස් කැටයම් විය.
ස්තූපයෙහි යමක් මෙකල දක්නට නොලැබෙන හෙයින් එය වේදිකාවෙන් උඩට ගොඩනැඟුණු ආකාරය සලකා ගැනීම අසීරුය. විජයාරාම ස්තූපයෙහි ආකෘතිය මෙහ දී ද අනුගමය කරන ලදැයි අනුමාන කිරීමට ඉඩ ඇත. පුලියන්කුලම විහාර භූමියෙන් ලැබුණු සෙල් ලිපිවල ඇතුළත් කරුණු කෙරෙහි අවධානය යොමු කරන කල, මේ ස්තූපය සහිත ආරාමය මහායානික නෂ්ටාවශේෂයක් වශයෙන් හඳුනාගත හැක.
- මහනුවර නාථ දේවාලය
ක්‍රි.ව. 14 වන ශතවර්ෂයට අයත් ගොඩනැඟිල්ලක් වන මහනුවර නාථ දේවාලයෙහි නාථ (අවලෝකිතේශ්වර) බොධිසත්වයන් ගේ ප්‍රතිමාවක් තැන්පත් කර තිබේ. මේ දේවාලය වෙන්වූයේ නාථ දේව වන්දනය සඳහාය. නාථ නොහොත් අවලොකිතේශ්වර යනුවෙන් හැඳින්වෙනුයේ මහායානිකයන් අතර අතිශයින් ජනප්‍රියභාවයට පත්වූ බෝධිසත්වයෙකි. වර්තමානයෙහි වුවද ලක්දිව බෞද්ධයන් අතර අවලොකිතේශ්වර බෝසතුන් වැඳීම හැඳින්වෙනුයේ නාථ දේව පූජාව යනුවෙනි. මහායානිකයන්ගේ නෂ්ටාවශේෂ විස්තර කෙරෙන ලිපියක මහනුවර නාථ දේවාලය හැඳින්වීම මාතෘකාවෙන් බැහැර නොවීමකි.
දේවාලයෙහි බිම් සැලැස්මට අනුව එහි ගර්භගෘහයක් ද එය ඉදිරිපිට මණ්පයක් ද වෙයි. ගර්භගෘහය දිග අඩි 20 1/2 පළල අඩි 10. මණ්ඩපයේ දිග අඩි 10 පළල අඩි 6 1/2. ගර්භගෘහයේ බිත්ති අඩි 4ක් පමණ ඝනකමින් යුක්තය. දේවාලය වටා අඩි 40ක් දිග අඩි 36ක් පළල තාප්පයකි. එහි ඝනකම අඩි 1යි අඟල් 9කි.
ඉතිරි කොටස ලබන සතියට…
ආචාර්ය නන්දසේන මුදියන්සේ
ආශ්‍රිත – ප්‍රකාශනය – ලංකා කලා මණ්ඩලයේ කලා සඟරාව – සංස්කරණය – ඔස්ටින් ජයවර්ධන – ඩබ්ලිව්.බී. රත්නායක