ලක්‍ෂ දෙකක අයිස් එක්ක ජාත්‍යන්තර පාසලක ගුරුවරයා මාට්ටු

6

රුපියල් ලක්ෂ 2 කට අධික වටිනා අයිස් මත්ද්‍රව්‍ය තොගයක් සමග ජාත්‍යන්තර පාසලක ගුරුවරයකු ඊයේ (04 දා) උදෑසන අත්අඩංගුවට ගත් බව බොරලැස්ගමුව පොලිසිය පවසයි.

සැකකරු සන්තකයේ තිබී අයිස් මත්ද්‍රව්‍ය මිලිග්‍රෑම් 12500 ක් පොලිස් භාරයට ගෙන ඇත.

පුද්ගලයන් දෙදෙනකු මත්ද්‍රව්‍ය රැගෙන බොරලැස්ගමුව 10 කණුව පාර මංසන්ධිය අසල සැරිසරන බවට ලද රහසිගත තොරතුරක් මත බොරලැස්ගමුව පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක සුමේධ විමල ගුණරත්න මහතා විසින් ඒ සම්බන්ධයෙන් විමර්ශනයක් සිදුකරන ලෙස අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක ආසිරි ජයසූරිය මහතා ඇතුළු කණ්ඩායමක් වෙත දැනුම් දී ඇත. ඒ අනුව මෙහෙයුමක් සිදුකොට සැකකරුවන් දෙදෙනා අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි.

එම සැකකරුවන් දෙදෙනා පරීක්ෂා කිරීමේදී ජාත්‍යන්තර පාසලක ගුරුවරයකු බව කියන සැකකරු සන්තකයේ තිබී මත්ද්‍රව්‍ය සොයාගත් බවත්, අනෙක් සැකකරුගෙන් ප්‍රකාශ ලබාගෙන මුදාහැරිය බවත් පොලිසිය සඳහන් කරයි.

පිළියන්දල, නිවන්තිඩිය පාසල් මාවතේ පදිංචි 34 හැවිරිදි සැකකරු නුගේගොඩ මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.

බොරලැස්ගමුව පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක සුමේධ විමල ගුණරත්න මහතාගේ උපදෙස් මත අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක ආසිරි ජයසූරිය මහතා ඇතුළු කණ්ඩායමක් විමර්ශන හා පරීක්ෂණ කටයුතු සිදු කරති.

මහරගම – එස්. ඩී. අබේසිංහ


advertistmentadvertistment