ලක්‍ෂ හතරහමාරක් පෝලිම්වල: පොලිසිය වාහන ආපසු හරවයි

28

සිරි දළදා වන්දනාව සඳහා ලක්ෂ 4 1/2 ක පමණ සැදැහැවතුන් පිරිසක් මේ වනවිටත් මහනුවර නගරයට පැමිණ තිබෙන බැවින් නැවත දැනුම් දෙනතුරු වන්දනාකරුවන් රැගත් වාහන නගරයට ඇතුළු කර නොගන්නා බව මධ්‍යම පළාත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලලිත් පතිනායක මහතා පවසයි.

මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ ඊයේ (24) පැවති මාධ්‍ය හමුවකදී ලලිත් පතිනායක මහතා කියා සිටියේ මෙලෙස පැමිණි බස් රථ 32 ක් ගන්නෝරුව ප්‍රදේශයේ දී පෙරේදා (23) රාත්‍රියේ නතර කළ බවයි. ඒ මහතා තවදුරටත් මෙසේ ද කීය.

“වන්දනාකරුවන් රැගෙන කුරුණෑගල දෙසින් එන බස් රථ මාවතගම පොලිස් වසමේ මැටිබොක්ක ප්‍රදේශයේදීත්, දඹුල්ල දෙසින් එන වාහන අළුවිහාරේදීත්, මහියංගණ දිගන මාර්ගයේ එන වාහන හසලක ප්‍රදේශයේදීත්, හඟුරන්කෙත දෙසින් එන වාහන මයිලපිටියේදීත්,

ගම්පොළ දෙසින් එන වාහන වැලිගල්ලේදීත්, කෑගල්ල දෙසින් එන වාහන මාවනැල්ලේදීත් නතර කිරීමට පොලිසියට දැනුම් දී තිබෙනවා. එම බස් රථවල පැමිණෙන ජනතාවට අවශ්‍ය මූලික පහසුකම් අදාළ ප්‍රාදේශීය ලේකම් කාර්යාල සහ පළාත් පාලන ආයතන මගින් ලබාදීමට සැලසුම් කර තිබෙනවා. ඉදිරි දිනවල දළදා වහන්සේ වන්දනා කිරීමට ප්‍රමාණවත් ජන පිරිසක් මේ වනවිටත් මහනුවරට පැමිණ තිබෙන බැවින් අලුතින් එන අයට එම අවස්ථාව ලබා ගැනීමට නොහැකි තත්ත්වයක් නිර්මාණය වී තිබෙනවා. තත්ත්වය කළමනාකරණය කර ගැනීමට හැකි වුවහොත් දළදා වහන්සේ වැඳපුදා

ගැනීමේ අදහසින් පසුවන සැදැහැවතුන්ට මහනුවරට පැමිණෙන ලෙස නැවත දැනුම් දෙනවා.”

සමන්ති වීරසේකර

ඡායාරූප – බුද්ධික ඩී. රණසිංහ සහ කෝලිත රත්නායක


advertistmentadvertistment