8 දෙනකුගේ තනතුරු ගැලවීම වළකියි: මහින්දට – ජී. එල්. ට සාගරට වාරණයක්

186

දෙහිවල – ගල්කිස්ස මහ නගර සභාවේ නගරාධිපති ස්ටැන්ලි ඩයස්, මොරටුව මහ නගර සභාවේ උප නගරාධිපති සමන්ත සිල්වා ඇතුළු නාගරික මන්ත්‍රීවරුන් අටදෙනකු පක්‍ෂ සාමාජිකත්වයෙන් ඉවත් කිරීම වළක්වමින් කොළඹ ප්‍රධාන දිසා විනිසුරු පූර්ණිමා පරණගම මහත්මිය ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායක මහින්ද රාජපක්‍ෂ මහතා ඇතුළු සිව්දෙනකුට වාරණ නියෝගයක් නිකුත් කළේය.

ස්ටැන්ලි ඩයස් මහතා ඇතුළු අටදෙනකු වෙන් වෙන්ව ගොනුකර තිබූ පෙත්සම් අටක් සලකා බැලූ ප්‍රධාන දිසා විනිසුරුවරිය ලබන 24 වැනිදා දක්වා බලපැවැත්වෙන පරිදි මහින්ද රාජපක්‍ෂ, මහාචාර්ය ජී. එල්. පීරිස්, සාගර කාරියවසම් හා ඩබ්ලිව්. විජේරත්න යන වගඋත්තරකරුවන්ට වෙන් වෙන්ව වාරණ අට බැගින් නිකුත් කිරීමට නියෝග කළේය. පක්‍ෂ ව්‍යවස්ථාව උල්ලංඝනය කළේ යැයි චෝදනා කරමින් තමනට එරෙහිව විනය පරීක්‍ෂණ පැවැත්වීමට හා තමන්ව පක්‍ෂයෙන් නෙරපා හැරීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායක මහින්ද රාජපක්‍ෂ මහතා ඇතුළු වගඋත්තරකරුවන් පියවර ගෙන ඇති බවත් එය පක්‍ෂ ව්‍යවස්ථාවට පටහැනි බවත් පෙත්සම්කරුවන් අධිකරණයට කියා තිබිණි. නීතිඥ තරුෂිකා ප්‍රනාන්දු මෙනවියගේ උපදෙස් පරිදි නීතිඥ සමාධි ගම්ලත්, පූජානි ද අල්විස්, භූපති කහතුඩුව ඇතුළු නීතිඥ මණ්ඩලයක් සමග ජනාධිපති නීතිඥ ජගත් වික්‍රමනායක මහතා පෙත්සම්කරුවන් වෙනුවෙන් පෙනී සිටියේය.

ඒ. ජේ. ඒ. අබේනායක

advertistmentadvertistment
advertistmentadvertistment