කංජිපානිගේ ගෝලයකු යැයි සිතා පැහැරගෙන ගොස් පහර දුන්නා

78

පොලිසියෙන් කෝටි 5ක් වන්දි ඉල්ලා තරුණයකුගෙන් පෙත්සමක්

කංජිපානි ඉම්රාන් නමැත්තාගේ ගෝලයකු යැයි සැකසිතා මහමග ගමන් කරමින් සිටියදී බලහත්කාරයෙන් වෑන් රථයක දමාගෙන ගොස් යම්කිසි අපරාධයකට සම්බන්ධ යැයි කියන පුද්ගලයකු පිළිබඳ විමසමින් තමාට ඉතා අමානුෂික ලෙස පහරදුන් කොළඹ අපරාධ කොට්ඨාසයේ නිලධාරීන්ගෙන් රුපියල් මිලියන 50ක වන්දියක් අයකර දෙන ලෙස ඉල්ලා කොළඹ 13 නිව්හැම් චතුරශ්‍රයේ පදිංචි 24 හැවිරිදි අවිවාහක තරුණයකු ශ්‍රේෂ්ඨාධිකරණයට මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කළේය.

කරවල අලෙවි සලක වෙළෙඳ සහයකයකු ලෙස සේවය කළ තමා 2024.02.10 වැනිදා ජින්තුපිටිය මංසන්ධිය දෙසට ගමන් කරමින් සිටියදී වෑන් රථයකින් පැමිණි සිවිල් ඇඳුමින් සැරසුන, පොලිස් නිලධාරීන් පිරිසක් වෑන් රථය නවත්වා තමාව බලහත්කාරයෙන් වෑන් රථය තුළට ඇද දමාගෙන ගොස් සිදුකළ එම අමානුෂික පහරදීම් නිසා සිය මුඛයට ඉතා දරුණු ලෙස තුවාල සිදුවූ බවත් දකුණු කොළඹ ශික්ෂණ රෝහලට ඇතුළත් කර දින කිහිපයක්ම ප්‍රතිකාර ලබාගැනීමට සිදුවූ බවත් හෙතෙම එමගින් ශ්‍රේෂ්ඨාධිකරණයට පවසා තිබේ. ජින්තුපිටිය ප්‍රදේශයේ දී ඉන් දින කිහිපයකට පෙර සිදුවූ වෙඩි තැබීමකට ගොදුරුව මියගිය ධනුෂ් රාජ් නමැත්තාගේ අවමංගල්‍ය උත්සවයේදී තමා දැන හඳුනාගත් මදුෂාන් නමැත්තා සම්බන්ධයෙන් ද ප්‍රධාන පෙළේ පාතාල කල්ලි නායකයකු යැයි කියන කංජිපානි ඉම්රාන් නමැත්තා පිළිබඳව ද තොරතුරු විමසමින් තමාට අමානුෂික ලෙස පහරදුන් බවත්, නීතිඥ පුබුදු රන්දිම මහතා මගින් ගොනුකර තිබූ එම පෙත්සම මගින් දන්වා තිබේ. එම පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස කොළඹ අපරාධ කොට්ඨාසයේ ස්ථානාධිපතිවරයා, නීතිපතිවරයා ඇතුළු පිරිසක් නම්කර ඇත.

වගඋත්තරකරුවන් හා වෛi වාර්තා අධිකරණය හමුවට කැඳවා සිය පෙත්සම විභාගයට ගන්නා ලෙසත්, එලෙස නිසි සොයාබැලීමකින් තොරව සිදුකළ පහරදීම් නිසා සිය මූලික අයිතිවාසිකම් උල්ලංඝනය වී ඇති බවට නිගමනය කරනා තීන්දුවක් නිකුත් කරන ලෙසත් එම තරුණයා ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා තිබේ.

ඒ.ජේ.ඒ. අබේනායක

advertistmentadvertistment
advertistmentadvertistment