ලන්දේ උකුල උඩ නින්ද ගිහින් හිටි එරබදු ඇහැ ඇරිලා

82

ලන්දේ උකුල උඩ
නින්ද ගිහින් හිටි
එරබදු ඇහැ ඇරිලා
අන්න සිනා වෙනවා….

ලන්දේ උකුල උඩ නින්ද ගිහින් හිටි එරබදු ඇහැ ඇරිලා
ජැක්සන් ඇන්තනි සහ කුමාරි මුණසිංහ

නීල කොබෙයි පැටියන්ට ඇඳුම්
මුතු මාල පොටක් ගිරවුන්ට අරන්…
රත්තරන් පාට කමතට ඉහළින්…
කන්ද උඩින් එන ගෝමරියේ…
දැන් ගමට වරෙන්
දැන් ගමට වරෙන්….

පන්සල් කන්දට සිරස නමන්..
ඉර දෙයියො ඇවිත් නවතා සක්මන්…
තෙල් දැමුව දොළොස් මහ පහන් වැටෙන්..
ගම රට එනවද පාන්දරින්…
රන් එළිය අරන්
රන් එළිය අරන්…

ගේය පද රචනය: ආචාර්ය රත්න ශ්‍රී විජේසිංහ.

තනුව හා සංගීත නිර්මාණය:සංගීත වේදී ඔස්ටින් මුණසිංහ.

ගායනය ජැක්සන් ඇන්තනි සහ කුමාරි මුණසිංහ.

අපි,නගරය ගමේ දේශ දීපංකරේ හිටියත් සිංහල අලු‍ත් අවුරුදු කාලයට වෙන කවදාවත් නැති උනන්දුවකින්, උද්‍ේ‍යා්ගයකින් කඩිසරකමකින් දකින කියන විදිහට,පෙර පරපුර සේම අම්මා තාත්තා කරගෙන ආපු විදිහට,අද නම් රූපවාහිනී නාලිකා කියා දෙන විදිහට,පුරුදු නුපුරුදු ගැමිකම සිතින් වඩවාගෙන අවුරුදු සිරිත් විරිත්, කෙළි සෙල්ලම් ආදියට සූදානම් වෙන හැටි මේ අවුරුදු මාසයේ දකින්න පුළුවන්.නගරයේ සද්ධන්ත කඩ සාප්පුවල සිට ගමේ හන්දියේ පොඩි කඩේ එළිපත්තේ පවා අලු‍ත් හට්ටි මුට්ටි,අවුරුදු රස කැවිලි, අවුරුදු උත්සව අංගෝපාංග,රතිඤ්ඤා,ඇඳුම් පෑළඳුම් ආදිය යන එන ජනී ජනයාට පෙනෙන්නට,ඔවුනට ඒවා මිලදී ගැනීම සඳහා පොළඹ වන්නට වෙනදා නැති ගැමිකමක්. හැම තැනකටම සහ හැම හිතකටම ආරෝපණය වෙලා. වෙනදා විවිධාකාරයේ ගීත ප්‍රචාරය වුණු නාලිකාවන්,වල මෙන්න පණ්ඩිත් අමරදේව,මොහිදින් බෙග්,සනත් නන්දසිරි සුජාතා අත්තනායක,එච්. ආර්. ජෝතිපාල, ලයනල් රන්වල,රෝහණ බැද්දගේ වැනි පෙර පරපුරේ ඇත්තන්ගේ අවුරුදු ගීත විචාරය වෙන්නට පටන් අරන්,”‍ඇවිල්ලා ඇවිල්ලා සිංහල අවුරුද්ද ඇවිල්ලා”‍,”‍කොහෝ කොහෝ කොහේ ඉඳන් කොහෝ කියනවදෝ”‍,කිරි ඉතිරේවා නව වසරේ,”‍මේ අවුරුදු කාලේ සිනා වෙයන් රාළේ වැනි අවුරුදු ගීත දවස දෙවේලේ නොයෙක් අවුරුදු වැඩසටහන් වලින් සෑම අස්සක් මුල්ලකම ඇහෙන්න පටන් අරන්.

ලන්දේ උකුල උඩ නින්ද ගිහින් හිටි එරබදු ඇහැ ඇරිලා
රත්න ශ්‍රී විජේසිංහ

අනූව දශකයේදී ඒ අවුරුදු ගී දාමයට එක්කාසු වුන මේ අරුමැති ගීතය මුල් වරට ප්‍රචාරය වුණේ උපාලි ආරියසිරි අධ්‍යක්ෂණය කළ “මියුරුසර වසන්තයේ ගී”‍නම් වූ අවුරුදු රූපමය ගීත විචිත්‍රාංගයෙනුයි .ආචාර්ය රත්න ශ්‍රී විජේසිංහ සියලු‍ ගීත රචනා කරමින්,සංගීතවේදී ඔස්ටින් මුණසිංහ සියලු‍ ගීතවල තනු හා සංගීත රචනා නිර්මාණය කරමින් දොරට වැඩිය ඒ අවුරුදු වැඩසටහන තුලින් කවියේ සහ ගීත ක්ෂේත්‍රයේ නම ගිය පැරණිඇත්තන් කිහිපදෙනෙක්ම සිහිපත් කරමින් ඔවුන්ගේ නිර්මාණ ඇසුර උපයෝගි කරගනිමින් රත්න ශ්‍රී විජේසිංහයන් අපූරු ගීත කීපයක්ම රචනා කර තිබුණා. රංචාගොඩ ළමයා,ගජමන් නෝනා ඇලපාත මුදළි, අන්දරේ, බරණ ගණිතයා වැනි චරිත වලට ආරෝපණය වෙමින් නිර්මාණය වූ එම ගීත ගොන්නෙහි සුවිශේෂ ගීතයක් වූ ”‍ලන්දේ උකුල උඩ…”‍ගීතය ගායනා කළේ ජැක්සන් ඇන්තනි සහ කුමාරි මුණසිංහය. එදා ඒ සියලු‍ චරිත එක්කාසු කරගත් ගමරාළ සහ ගම මහගේට ආවේශ වෙමිනුයි.

මුළු ගීතය පුරාම අපගේ සිංහල ජන සංස්කෘතියේ අළුත් අවුරුද්ද වෙනුවෙන් අපට දැනෙන, පෙනෙන, අප අදහන පරිසර සාධක ගැන මනාව සිත යොමු කරමින් රත්න ශ්‍රී විජේසිංහ කිවිඳුන් ගීතය මෙසේ ජීවමාන කරවන්නේ අපට හුරුපුරුදු ගැමි වදන් මාලාවකට අපගේ සිත් කැදවමිනුයි.සූර්යයා වසරක් පුරා නොනවතින සක්මනේ වටයක් ගොසින්(විද්‍යාත්මක ආකාරයෙන් නොවේ)මේෂ රාශියේ සිට මීන රාශිය දක්වා රාශි දොළහ ආවරණය කරමින් 365 වැනි දින නැකතක් නොමැති ”‍නොනගත”‍ කාලයේදී මද විරාමයක් ගන්නවා.ඒ නොනගත කාලයේදී අපි හැමෝම සියලු‍ වැඩ රාජකාරී වලින් ඉවත් වී පුණ්‍ය කටයුතුවල යෙදෙන්නේ සූර්ය සංක්‍රාන්තියට ගරු කරමිනුයි. සිංහල අවුරුද්දේ පෙරමගට ගහවැල සූදානම් වෙනවා. එරබදු ගස්වල අතු ඉති රතුපාට එරබුදු මලින් බර වෙනවා. අටුකොටු පිරී භව භෝග වලින් සශ්‍රීක මාසය වූ බක් මාසයේ කුරුළු පවුල් වලට අලු‍ත් අමුත්තන් ඇවිත් ඒ බිළින්ඳන් දොරට වඩිනා හඬ අවුරුද්දට ගෙනෙන්නේ ”‍විහඟ සංධ්වනයක් පරිද්දෙනි. අවුරුදු රස කැවිලි සහ කෑම පවුල් අතර තෑගි බෝග හුවමාරු වන්නේ තරහ මරහ ආදිය පරණ අවුරුද්දේ තිබුණා නම් ඒවා ධූරිභුත වී වේවා, යළිත් සමගිය සාමදානය ලැබේවා කියා පතන පැතුම පෙරදැරිවයි.

ලන්දේ උකුල උඩ නින්ද ගිහින් හිටි
එරබදු ඇහැ ඇරිලා
අන්න හිනාවෙනවා

තමන්ගේ දරුවන්ට පමණක් නොවේ, අහල පහල වැඩිහිටියන්ට අනෙක් පවුල්වල දූ දරුවන්ට, නැති බැරි අයට, හැමෝටම.අවුරුද්ද අවසානයේ ඉතිරි වන්නේ සතුටයි සමගියයි,ආත්ම තෘප්තියයි පමණයි.මුළු ගමම ඉන් නිවී සැනසෙනවා.

නීල කොබෙයි පැටියන්ට ඇඳුම්
මුතු මාල පොටක් ගිරවුන් ට අරන්
රත්තරන් පාට කමතට ඉහළින්
කන්ද උඩින් එන ගෝමරියේ
දැන් ගමට වරෙන්, දැන් ගමට වරෙන්

මේ ගමරාළ ගමරාළ එන්ට කියා ඇරයුම් කරන්නේ කාටද?

ලන්දේ උකුල උඩ නින්ද ගිහින් හිටි එරබදු ඇහැ ඇරිලා

තමන්ගේ හිත් පත්ල යට ලැගුම් ගත්ත තරුණියකටද?

නැත්නම් අලු‍ත් අවුරුද්දේ පායන නව සඳටද!!

පන්සල් කන්දට සිරස නමන්
හිර දෙයියො ඇවිත් නවතා සක්මන්
තෙල් දැමුව දොළොස් මහ පහන් වැටෙන්
ගම රට එනවද පාන්දරින්
රන් එළිය අරන්
රන් එළිය අරන්

යළිත් සූර්්‍යයා සුපුරුදු සක්මනට, දින 365 ගමනට සූදානම් වෙනවා..

ගැමි ගෙදර ඇත්තොත් හෙට අනිද්දා තම සුපුරුදු ජීවන රටාවට,ජීවිකාවට යා යුතුයි. නමුත් දොළොස්මහේ පහන වගේ නොනිමෙන ආදරයෙන් දරු මල්ලන්ට, ප්‍රිය බිරිඳට,මවට,පියාට,වැඩිහිටියන් ට දක්වන සෙනෙහසින් උදේ පාන්දර පෙරදිගින් පායන හිරු වාගේම රන් එළිය අරන් සශ්‍රීකත්වය වඩ වඩා ළඟා කරමින් එන්න කියන ප්‍රාර්ථනාව නොවේද අපි හැමෝටම තියෙන්නේ. ඒකට පෙර අපගේ ගැමි මුතුන් මිත්තන් තියාපු නම ‘සිංහල අලු‍ත් අවුරුද්ද’ නොවේද?.

වසන්ත කුමාර කොබවක

advertistmentadvertistment
advertistmentadvertistment