ලාංකීය සිනමාවේ නිළි රැජන මාලිනී ෆොන්සේකා මහත්මිය “රජත මයුර” සම්මානය දිනූ ප්‍රවීණ සිනමා අධ්‍යක්ෂක ප්‍රසන්න විතානගේ අධ්‍යක්ෂණය කළ “ආකාස කුසුම්” සිනමා පටය වසර 17 කට පසුව මාලනී ෆොන්සේකා මහත්මියගේ 78 වැනි ජන්ම දිනය යෙදෙන අප්‍රේල් 30 වැනිදාට සීමිත දින ගණනකදී ඇයගේ ආදරණීය ප්‍රේක්ෂකයින් වෙනුවෙන් 4K තාක්ෂණය උපයෝගී කරගෙන නැවතත් තිරගත කිරීමට සූදානම් කර ඇති බව එහි අධ්‍යක්ෂක ප්‍රසන්න විතානගේ මහතා ‘දිවයින’ අපත් සමග පැවැසීය. මේ ඒ පිළිබඳව සිදුකළ සංවාදයකි.
‘ආකාස කුසුම්’ සිනමා පටය නැවත වරක් තිරගත කරන්නට තීරණය කළේ ඇයි?
ඇත්තටම ‘ආකාස කුසුම්’ සිනමාපටය හැදුනේ මාලිනී ෆොන්සේකා නිසයි. මාලනී අක්කා ඒ චරිතය කරන්න බැහැයි කිව්ව නම් චිත්‍රපටය හැදෙන්නෙ නැහැ. ඒ වගේම ඇයගේ ජීවිතේ තීරණාත්මක මොහොතක ඇයට දිරිය දීම සඳහා තමයි මෙම සිනමා පටය මම හැදුවේ. මෙම සිනමා පටය නැවත වරක් අවුරුදු 17කට පසුව ප්‍රදර්ශනය වෙන්නේ ඇයගේ 78 වැනි උපන් දිනය දවසේ. පසුගිය කාලයේ ඇය සෞඛ්‍ය අභියෝගයකට මුහුණ දුන්නා. ඉතින් ඇය ඉතාමත්ම අගය කරන, ඇයගේ රංගන ජීවිතේ කඩඉමක් තමයි මෙම ‘ආකාස කුසුම්’ සිනමා පටය. ඇයට වගේම දේශීය, විදේශීය සිනමාවටත් විශාල කීර්තියක් සහ අවධානයක් ලබා දුන් සිනමා පටයක් තමයි මෙම සිනමා පටය. ඒ වගේම මේ සඳහා මාත් සමග දායක වුණ සරසවි සිනේරු වෙනුවෙන් එච්.ඩී. ප්‍රේමසිරි මහත්මාටත් මම මේ අවස්ථාවේ බෙහෙවින්ම ස්තූතිවන්ත වෙනවා.
4K තාක්ෂණයට මෙය සකසා ගැනීමේදී මුහුණ දුන් අර්බුද මොනවාද?
චිත්‍රපටයක ප්‍රමිතිය 35mm කට ඉහළයි. එතකොට මේ 35mm නෙගටිව් පටයෙන් තමයි 4K ප්‍රමිතියට චිත්‍රපටය ප්‍රතිෂ්ඨාපනය කළේ. වාසනාවකට අවුරුදු 17කට පසුව මෙම නෙගටිව් පටය සුරැකිව තිබුණා ප්‍රසාද් රසායනගාරයේ. ඒ වගේම සිනමාපටයේ හඬපටයත් මා ළඟ තිබුණා. මෙම නෙගටිව් පටය තිබීම හේතු කරගෙන අපි එය 4K ප්‍රමිතියෙන් යුතුව ඩිජිටල් මාධ්‍යයට පරිවර්තනය කරන්නට ලැබුවා. අනාගතයේදී ඇතිවන්නා වූ ප්‍රදර්ශනයන් තාක්ෂණය ඉහළ ගියහොත් එවැනි තත්ත්වයන්ට, ආයෝජනයන්ට රුකුල් දිය යුතුයි. ඒ නිසා අනාගතය ගැන හිතලා අපි ඒ සම්බන්ධයෙනුත් කටයුතු කරලා තියෙනවා. ‘ආකාස කුසුම්’ මංගල දර්ශනය PVR සිනමා ශාලාවේදී 4K තාක්ෂණය උපයෝගි කරගෙන මංගල දර්ශනය පවත්වන්නටත් තීරණය කළේ, එම නිසාම තමයි. මේ හරහා මම විශ්වාස කරනවා චිත්‍රපටයක් ලේසියෙන් මිය යන්නේ නැති බව. ඉතින් මම විශ්වාස කරනවා මෙය පූර්වාදර්ශයක් වෙයි කියලා අනෙක් අධ්‍යක්ෂකවරුන්ට මෙන්ම නිෂ්පාදකවරුන්ටත් තමන් ආදරයෙන් කරපු නිර්මාණයන් රැකගත යුතුයි කියලා.
අපට බොහෝවිට මේ ඩිජිටල් වෙළෙඳපොළ ඉලක්ක කරගෙන නිර්මාණ සිදු කරන්නට නොහැකි වන්නේ ඇයි?
මෙහෙමයි, මගේ ‘පැරඩයිස්’ සිනමා පටය මේ වන විට ඉන්දියාවේ ඇමර්සන් ප්‍රයිම් වීඩියෝ ඩිජිටල් නාලිකාවේ ධාරාගත සම්ප්‍රදායකින් ප්‍රේක්ෂකයින්ට දැක ගන්නට පුළුවන්. ඒ වගේම ලෝකයේ අනෙක් රටවලත් ප්‍රදර්ශනය වෙනවා. එය චැනල් 4 නාලිකාවෙන් මිලදී ගනු ලැබුවා. ඒ වගේම ජූලි මාසයේ සිට කලාත්මක චිත්‍රපට සඳහා ප්‍රකට ඩිජිටල් සිනමාපට නාලිකාවක් වන MUB නාලිකාවෙනුත් ප්‍රේක්ෂකයන්ට සිනමා පටය දැකගන්නට පුළුවන්. ඒනිසා මම විශ්වාස කරනවා මේ පූර්වාදර්ශය අනෙක් සියලු ලාංකීය සිනමාකරුවන්ට වැදගත් වෙයි කියලා.
‘පැරඩයිස්’ සිනමා නිර්මාණය පසුගියදා ඉන්දියාවේ පැවැති ඉන්දීය විචාරක සිනමා උළෙලේදී සම්මානයට පාත්‍ර වුණා. ඒ පිළිබඳවත් අපි මතක් කරමු.
ඉන්දීය විචාරක සම්මාන උළෙල මුම්බායි නුවරදී පසුගියදා පැවැත්වුණා. පැරඩයිස් සිනමා පටයත් සම්මාන හතරකට නිර්දේශ වුණා. ඉන් හොඳම නිළිය සම්මානය දර්ශනා රාජේන්ද්‍රන් දිනා ගත්තා. ඇයත් සමග තවත් විශිෂ්ට රංගනයන් ඉදිරිපත් කළ රංගන ශිල්පිනියන් නිර්දේශ වෙලා තිබුණා. ඒ අතර දර්ශනාට සම්මානය හිමිවීම සතුටක්. ඒ වගේම හොඳම චිත්‍රපටයට හිමි සම්මානයත්, හොඳම සංස්කරණයට හිමි සම්මානය ඒ.ශීකර් ප්‍රසාද්ටත්, හොඳම සහාය නළුවාට හිමි සම්මානය මහේන්ද්‍ර පෙරේරාත් දිනාගන්න වාසනාවන්ත වුණා. මම විශ්වාස කරනවා ළඟදීම දවසක අපට අසන්නට ලැබෙයි, මහේන්ද්‍රටත් මලයාලම් චිත්‍රපටයක රඟපාන්නට අවස්ථාව ලැබුණා කියලා.
ඔබ බොහෝ වේලාවට සිනමා නිර්මාණ සිදු කරන්නේ, ලෝක වෙළඳපොළ ඉලක්ක කරගෙන වීමට විශේෂ හේතුවක් තියෙනවද?
දශක කිහිපයක් ඉන්දියානු ශිල්පීන් සමග වැඩ කිරීමෙන් ඇති වූ සුහදතාව මත තමයි මලයාලම් චිත්‍රපටයක් කිරීමට මට ආරාධනා ලැබුණේ. ඉතින් එය ලොවපුරා ප්‍රදර්ශනය වුණා. ඒ වගේම ඉන්දියානු තාක්ෂණයත් අපට වඩා ඉදිරියෙන් ඉන්නවා, ප්‍රාග්ධන ශක්තිය අතිනුත් අපිට වඩා ඉදිරියෙන් ඉන්නවා. ඒ තියෙන ශක්තිය භාවිතා කරමින් ලෝක වෙළෙඳපොළට නිර්මාණ බිහිකිරීම තමයි මගේ අරමුණ වන්නේ.
තාක්ෂණය සම්බන්ධයෙන් අපේ රටේ සිනමාව අද වන විට කොතැනද තියෙන්නේ?
අපේ රටේ තාක්ෂණය සම්බන්ධයෙන් ගත්තොත්, අපේ තාක්ෂණය ඇත්තටම මුදල් වියදම් කළ හැකිනම්, ආම්පන්න තියෙනවා ඕනෑතරම්. කැමරා ආම්පන්න ආදිය එදාට වඩා අද අපේ රටේ දියුණු වෙලා තියෙනවා. ඒ වගේම ප්‍රදර්ශනය ගත්තොත් හැබැයි මම විශ්වාස කරනවා අපේ සිනමා ශාලා සියල්ලම රජය විසින් අනුමත කරන ලද ප්‍රමිතිය වන 2K ප්‍රමිතියට ළඟා වී නැහැ කියලා. ඩිජිටල් ප්‍රදර්ශනයක් තිබුණට රටෙහි සිනමා ශාලා ප්‍රමිතිය අසමානයි. ඉතින් මේ අසමානතාවය තුළනය කිරීමට නම් කිසියම් විදිහක ආධාර ලැබිය යුතුයි. නැතිනම් සහන ලැබිය යුතුයි, කියලා තමයි මම කියන්නෙ.
පාරමී කෞෂිකා