වක්‍රලේඛ නොබලා විපතට පත් ජනතාවට සහන දෙන්න – සජිත් රජයෙන් ඉල්ලයි

17

ජීවන වියදම වැඩි වී ඇති මොහොතක පැරණි චක්‍රලේඛවල සඳහන් මුදල් ප්‍රතිපාදන පාදක කර ගනිමින් ආපදා සහන ලබාදෙනවා වෙනුවට ප්‍රායෝගික ලෙස සහන ලබා දෙන්නැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (04 දා) ඉල්ලීමක් කළේය.

ලක්ෂ සංඛ්‍යාත ජනතාව ගංවතුර නිසා ආපදා රැසකට මුහුණ දී ඇති බවත් මේ ජනතාව වෙනුවෙන් දිවා රෑ නොබලා සේවය කරන දිස්ත්‍රික් හා ප්‍රාදේශීය ලේකම් කාර්යාල, පොලිසිය, සෞඛ්‍ය අංශ සහ ආරක්ෂක අංශවලට සිය ප්‍රණාමය පුදකරන බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

එසේම ආපදාවට පත් ජනතාවට ලබා දෙන සහන කඩිනමින් සැපයිය යුතු බවත් බොහෝ දෙනකුට ආහාර ඇඳුම් පවා අහිමි වී ඇති නිසා විධිමත් වැඩසටහනක් කඩිනමින් ක්‍රියාත්මක විය යුතු බවත් ලැබී ඇති තොරතුරු අනුව දිස්ත්‍රික් ලේකම් කාර්යාලවලට අමතර ප්‍රතිපාදන ලක්ෂ 10ක් යැව්වත් එය ප්‍රමාණවත් නොවන බවත් හෙතෙම කීය.

රට බංකොලොත් වූ කාලයේ දී ආපදා කළමනාකරණ අමාත්‍යාංශය මගින් 2022.05.16 යන නමින් යුත් විපතට පත්වූවන්ට සහන දෙන චක්‍රලේඛයක් නිකුත් කර ඇති බවත් ඉන් පසුව සිදු වූ ආර්ථික කඩාවැටීමෙන් බඩුමිල වැඩි වී ඇති නමුත් මෙම චක්‍රලේඛය හරහා එක් පුද්ගලයකුට දෛනිකව පිසූ ආහාර සඳහා රු. 450ත්, එක් පුද්ගලයකුට සතියකට වියළි ආහාර සඳහා රු. 1350ක් හා සාමාජිකයන් 2ක් සිටින පවුලකට රු.1800ක් සාමාජිකයන් 3කට රු.2100ක්, සාමාජිකයන් 4 දෙනකු සිටින පවුලකට රු.2400ක් හා සාමාජිකයන් 5 දෙනකුගෙන් යුත් පවුලකට රු.2700ක් වෙන් කර ඇති බවත් සාමාජිකයන් 2ක් සිටින පවුලක එක් පුද්ගලයකුට සතියකට රු.900ක් වෙන් වන බවත් සාමාජිකයන් 5 දෙනකු සිටින පවුලක එක් අයකුට සතියකට වෙන්වන්නේ රු.540ක් බවත් මෙම මුදල් වත්මන් ජීවන වියදමත් සමග ගැළපෙන්නේ නැති බැවින් මෙය වහා වෙනස් විය යුතු බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

අකිත පෙරේරා, රනිල් ධර්මසේන

advertistmentadvertistment
advertistmentadvertistment