පරිසරයට මුදා හැරෙන කාබන්ඩයොක්සයිඩ් වායුව විමෝචනය වේගවත් වන බැවින් වායු සමතුලිතතාවය පවත්වාගෙන යෑමට අලුතින් වන ගහනය ඉහළ නැංවීමට පියවර ගත් බව ක්ලීන් ශ්‍රී ලංකා ජාතික වැඩ සටහනේ අතිරේක ලේකම් ඉංජිනේරු එස්.පී.සී. සුගීෂ්වර මහතා පැවැසීය.
ඒ සඳහා මෙරට ඇඟලුම් කර්මාන්ත හිමියන්ගේ සංගමය අලුතින් වන වගාව සඳහා එක්කර ගත් බවත් එහි මූලික අදියර යටතේ අම්පාර දිස්ත්‍රික්කයේ අක්කර දහසක් වන වගාව සඳහා තෝරාගෙන ඇති බවත් හෙතෙම කීය.
වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව, ඉඩම් කොමසාරිවරයා සහ රජයට අයත් ඉඩම් වන වගාව සඳහා ලබාදීමට පියවර ගෙන තිබෙන බවත් ඉඩම්වල අයිතිය අදාළ පාර්ශ්වය යටතේ පවතින බවත් වන වගාව, නඩත්තුව පමණක් ඇඟලුම් කර්මාන්ත හිමියන්ගේ සංගමය විසින් පවත්වාගෙන යන බවත් සුගීෂ්වර මහතා පැවැසීය.
දිවයිනේ ප්‍රධාන ජලාශය වන මහවැලි ජලාශය සහ සෙසු ජල මූලාශ්‍ර ආශ්‍රිත වන ගහනය ඉහළ නැංවීමට සැලසුම් කර ඇති බවත් ඊට සම්පත්දායකයින් හඳුනා ගැනීම නුදුරේදී සිදු කිරීමට පියවර ගෙන තිබෙන බවත් සමාජ වගකීමක් ලෙස මෙම වැඩසටහන දිවයින පුරා ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇති බවත් ඔහු වැඩිදුරටත් කීවේය.
නිමල් ගුණතිලක