වාහන ගෙන්වන වැඩපිළිවෙළ සැකසීමට නව කමිටුවක්

40

ඉදිරියේදී වාහන ආනයන කටයුතු සිදුකරන ආකාරය පිළිබඳ වැඩපිළිවෙළ සැකසීම සඳහා නව කමිටුවක් පත්කළ බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පැවසීය.

එම නිශ්චිත වැඩපිළිවෙළ සැකසීම සඳහා මුදල් අමාත්‍යාංශයේ වෙළෙඳ හා ප්‍රතිපත්ති දෙපාර්තමේන්තුව, මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව, මහ බැංකුව, වාහන ආනයන කිරීමේදී නව හා පාවිච්චි කරන ලද මෝටර් රථ ගෙන්වන කණ්ඩායම් දෙකේ නියෝජිතයින්, වාහන එකලස් කරන්නන්ගේ සංගමයේ නියෝජිතයින්, කර්මාන්ත අමාත්‍යාංශය, පරිසර අමාත්‍යාංශය ආදී වාහන ආනයනය කිරීමේදී බලපෑම් ඇති වන සියලු කණ්ඩායම් ඇතුළත් වන පරිදි කමිටුව පත් කළ බවද අමාත්‍යාවරයා කියයි. මාධ්‍ය වෙත අදහස් දක්වමින් අමාත්‍යවරයා ඊයේ (16දා) මේ බව ප්‍රකාශ කළේය.

මෙරට මූල්‍ය කටයුතු සම්බන්ධයෙන් මග පෙන්වන්නකු බවට පත්ව ඇති ජාත්‍යන්තර මුල්‍ය අරමුදල සමඟ බොහෝ මූල්‍යමය කාරණා පිළිබඳව සාකච්ඡා කොට එකඟතාවන්ට පැමිණීම සිදුකරන බව ද අමාත්‍යවරයා සඳහන් කළේය.

වාහන ආනයනය රටේ විදේශ සංචිතවලට සෘජුවම බලපාන කරුණක් බැවින් වාහන ආනයන සීමා ලිහිල් කරන මාර්ග සිතියම රජය ජාත්‍යන්තර මූල්‍ය වෙත ඉදිරිපත් කළ බවද අමාත්‍යවරයා එහිදී පැවසීය.

එසේම මෙම වාහන ආනයන සීමා ලිහිල් කිරීමේදී පොදු ජනතාවගේ ප්‍රවාහන අවශ්‍යතා සඳහා යොදාගන්නා වාහන, භාණ්ඩ ප්‍රවාහනය සඳහා යොදාගන්නා වාහන, මහජනතාව විකල්ප ලෙස යොදාගන්නා යතුරුපැදි හා මෝටර් රථ හා එයිනුත් පසුව සුඛෝපභෝගී රථවාහන සීමා ලිහිල් කරන බව අමාත්‍යවරයා කියා සිටි අතර විද්‍යුත් වාහන ආනයනය කෙරෙහි එහිදී විශේෂ අවධානය යොමු කරන බවද සඳහන් කළේය.

ශ්‍යාම් නුවන් ගනේවත්ත

advertistmentadvertistment
advertistmentadvertistment