විජයග්‍රහණයේ සැමරුම අභිමානවත් ව අවසන් කෙරේ

80

“ගැටුම් නැති වෛරය නැති රාජ්‍යක් අපි නිර්මාණය කළ යුතුයි. එතන තමයි අපිට පූර්ණ නිදහසත්, මව්බිමේ ශක්තිමත් ස්වෛරීභාවයත් නිර්මාණය වෙන්නේ. ” යනුවෙන් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසයි. “අපි ඇති තරම් ලේ හලලා තියෙනවා. මේ මහ පොලොව තෙත් වෙනකන් ලේ හලපු ජාතියක් අපි, ගංගා රුධිරයෙන් ගලාගෙන යන තරමට ලේ හලපු ජාතියක් අපි, අම්මලා තාත්තලාගේ දෙමාපියන්ගේ කඳුළු ගංගා පිරෙන තරම් කඳුලු හලපු ජාතියක් අපි, යුද්ධයේ බිහිසුණුතම වේදනාවන්ට, බිහිසුණුම වේදනාවන්ගේ අත්දැකීම් ලබපු මිනිස්සු අපි, ඒවා අත්දැකීම් නම් යළි එවැනි තත්ත්වයක් ඇති වීම වැලැක්වීමට කටයුතු කළ යුතුයි ” අද (19) පැවැති ජාතික රණවිරු සැමරුමට සහභාගී වෙනමින් ජනාධිපතිවරයා එසේ පැවසුවේ ය .රටක පූර්ණ ජයග්‍රාහකයින් නොමැති බවත් පූර්ණ ජයග්‍රාහකයින් බවට පත්විය හැකි වන්නේ මෙරට නීතිය හා සාමය පූර්ණ වශයෙන් ස්ථාපි කිරීමෙන් පමණක් බවද ජනපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේය. එහිදී අදහස් දැක්වූ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා, ” අපි පූර්ණ ජයග්‍රාහකයෝ නෙමේ. අපි පූර්ණ ජයග්‍රාහකයෝ බවට පත් විය හැකි වන්නේ මේ රටේ සාමය නිර්මාණය කිරීමෙන් පමණයි. ඒ නිසා ගෝරණාඩුවට බිය නොවී සාමය වෙනුවෙන් ගත හැකි සෑම පියවරක්ම ගන්න අපි ලෑස්තියි. යළි යුද්ධයක් පිළිබඳ බියක් ඇති නොවන සමාජයක් අපි නිර්මානය කළ යුතුයි. මා දන්නවා එය ඉතා දුෂ්කර ව්‍යායාමයක්. නමුත් අපි කෙසේ හෝ සාර්ථක කළ යුතු ව්‍යායාමයක්. උතුරෙත් දකුණෙත් බලය වෙනුවෙන් ජාතිවාදය නැවත කැරළි ගහන්න පටන් අරගෙන තියෙනවා. සැබෑ මාතෘ භූමියේ නිදහස නම් , අපිට යුද්ධය අවසන් කිරීමෙන් මාතෘ භූමියේ පූර්ණ නිදහස අත්පත් කරගන්න සමත් වෙලා නැහැ. මාතෘ භූමියේ පූර්ණ නිදහස යනු කුමක්ද ? අදත් මේ වර්ෂාව පතිත වෙන්න පටන් ගන්නකොට අපිට බියජනක තත්ත්වයක් එනවා නාය යාමට අවදානම් වූ කළාපයක ගෙවල් 4900ක් තියෙනවා. එතැනින් මොන කලාපයක නාය යාමේ අවදානමක පවතීද යන්න බයක් තියෙනවා අපි නිදහස්ද ?, අදත් ලෝකේ කුමන තැන හෝ ගැටුමක් ඇති වුවහොත් අපේ රටේ ආර්ථිකයට කොයිතරම් බලපෑමක් කරයිද කියලා අපිට බියක් තියෙනවා අපි නිදහස්ද?, අපි ආර්ථික වශයෙන් බංකොලොත් වූ රාජ්‍යයක කොහෙද අපිට නිදහසක් තියෙන්නේ ? කොහෙද අපිට ස්වෛරී භාවයක් තියෙන්නේ. අද අපි ආර්ථිකමය ස්වෛරීභාවය අහිමි කරගත්ත රාජ්‍යයක් ඒක ඇත්ත. අපිට අපේම වූ ආර්ථිකමය තීරණ ගැනීම සඳහා ශක්තියක් නොමැති ජාතියක්. ඒ නිසා මේ මාතෘ භූමිය ලෝකයේ ඉදිරිපිට අභිමානවත් රාජ්‍යයක් බවට පරිවර්ථනය කරන්න නම් මේ ආර්ථික පරිවර්ථනය අපි අත්පත් කරගත යුතුයි. නීතියේ විධානයේ ආධිපත්‍ය කුමන දුෂ්කරතා මත හරි මේ රාජ්‍යයේ ස්ථාපිත කළ යුතුයි. මේ රටේ රාජ්‍ය පාලනය පිළිබඳව ලෝකය ඉතාමත් ප්‍රශංසා මුඛයෙන් කතා කළ යුතුයි. අපේ රටේ අපරාධ, කුඩු, වසංගතවලින් තොර රාජ්‍යයක් අපි නිර්මාන්‍ය කළ යුතුයි, ගැටුම් නැති වෛරය නැති රාජ්‍යක් අපි නිර්මාණය කළ යුතුයි. එතන තමයි අපිට පූර්ණ නිදහසත්, මව්බිමේ ශක්තිමත් ස්වෛරීභාවයත් නිර්මාණය වෙන්නේ..” 16 වැනි විජයග්‍රහණ සමරුව අභිමානවත් ලෙස චාම් ව පැවැත්විණි.


advertistmentadvertistment