විදුලි පනතට එරෙහිව අත්සන් ලක්‍ෂයක්

73

යෝජිත නව විදුලිබල පනත් කෙටුම්පතට එරෙහිව අත්සන් දස ලක්ෂයක පෙත්සමක් අත්සන් කර එය ජනාධිපති සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 225 දෙනා වෙත යොමු කිරීමට විදුලිය පාවිච්චි කරන්නන්ගේ සංගමය තීරණය කර ඇත.

ඒ අනුව එම පෙත්සමට අත්සන් ගැනීම හෙට (13දා) සඳුදා පෙරවරු නවයයි තිහේ සිට කොළඹ කොටුව දුම්රිය පොළ ඉදිරිපිට දී සිදු කෙරෙන බව එම සංගමයේ ලේකම් සංජීව ධම්මික මහතා ‘දිවයින ඉරිදා සංග්‍රහය’ට පැවසීය.

යෝජිත පනත විදුලි පාරිභෝගිකයන්ගේ අයිතිවාසිකම් උල්ලංඝනය කරන එකක් බවත් එය රටේ ස්වාධිපත්‍ය බලයට හානියක් වන බවත් හෙතෙම කීවේය.

දැනට ක්‍රියාත්මක විදුලි බල පනත මගින් ගාස්තු අය කරන්නේ පිරිවැය මත පදනම්ව වුවත් යෝජිත නව පනත මගින් සමාගම්වලට සාධාරණ ලාභ ලබා ගැනීමේ අවස්ථාවක් ඇති කර තිබෙන බවත් එය පාරිභෝගිකයන් ගසා කෑමට පාර කැපීමක් බවත් ඔහු කීවේය. විදුලි පාරිභෝගිකයන්ට අයත් රුපියල් බිලියන 14 කට ආසන්න තැන්පතු පොලිය සම්බන්ධයෙන් ගන්නා ක්‍රියාමාර්ග පිළිබඳව ද නව පනතේ කිසිම සඳහනක් නැතැයි ද සංජීව ධම්මික මහතා පැවසීය. එබැවින් නව පනත් කෙටුම්පතට එරෙහිව අධිකරණ ක්‍රියාමාර්ග ගැනීමට ඇති හැකියාව පිළිබඳව ද තම සමිතිය මගින් සොයා බලන්නේ යැයි ද හෙතෙම වැඩිදුරටත් කීවේය.

අනුරාධ හිරිපිටියගේ


advertistmentadvertistment