මේ වන විට අපගේ ආර්ථික අර්බුදය සමනය කර ගැනීම සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විස්තීරණ ණය පහසුකම් වැඩසටහනේ සැලකිය යුතු දුරක් අප පැමිණ ඇත. රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයාගේ පාලනයෙන් පසු පත් වූ අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයාගේ ජාතික ජනබලවේග රජය යටතේ ද මේ දිශානතියේ නව රජය ඉදිරියට ගමන් කරමින් සිටී. මේ සඳහා නව රජයේ කැපවීම ද අයිඑම්එෆ් එකේ ඇගයීමට ලක්ව ඇත. මේ අනුව අයිඑම්එෆ් එකඟතා සපුරමින් අපට තවත් දුරක් මේ මාර්ගයේ ගමන් කළ යුතුව ඇත. ඒ අනුව මේ වන විට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විස්තීර්ණ ණය පහසුකම මගින් සහාය දක්වන ශ්‍රී ලංකාවේ ආර්ථික ප්‍රතිසංස්කරණ වැඩසටහනේ සිව්වන සමාලෝචනය අවසන් කරමින් එම අරමුදලේ කාර්ය මණ්ඩලය සහ ශ්‍රී ලංකා බලධාරීන් ආර්ථික ප්‍රතිපත්ති පිළිබඳ කාර්ය මණ්ඩල මට්ටමේ එකඟතාවකට පැමිණ ඇත. එහෙත් මේ එකඟතාවට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධායක මණ්ඩලයේ අනුමැතිය හිමිවිය යුතුව ඇත. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධායක මණ්ඩලය මේ සිව්වන සමාලෝචනය අනුමත කිරීමෙන් පසුව ශ්‍රී ලංකාවට අයිඑම්එෆ් පස්වන ණය වාරිකය ලෙස ඇමෙරිකානු ඩොලර් මිලියන 344ක පමණ මූල්‍ය පහසුකමක් සඳහා ප්‍රවේශය හිමි වේ. විස්තීර්ණ ණය පහසුකම් වැඩසටහන යටතේ ශ්‍රී ලංකාව සඳහා ඇමෙරිකානු ඩොලර් බිලියන 3ක මුදලක් අනුමත වූයේ 2023 මාර්තු 20 දිනය. විධායක මණ්ඩලයේ සමාලෝචනය සම්පූර්ණ කිරීමෙන් පසුව ශ්‍රී ලංකාවට එ. ජ. ඩොලර් මිලියන 344ක් පමණ ලබා ගැනීමට ප්‍රවේශය හිමිවනු ඇති අතර, ඒ අනුව, මෙම පහසුකම යටතේ ජා. මූ. අරමුදල මගින් මේ දක්වා ලබාදුන් මුළු මූල්‍ය ආධාර ප්‍රමාණය එ. ජ. ඩොලර් මිලියන 1,722ක් පමණ වනු ඇත.
මේ අයිඑම්එෆ් ණය මුදලට අදාළ පස්වන වාරිකය අපට ලබාදීම සඳහා අප කළ යුතු ප්‍රධාන දේවල් (කොන්දේසි) දෙකක් ද එම අරමුදල විසින් මේ වන විටත් පවසා ඇත. ඉන් එක් ප්‍රධාන කාරණයක් වන්නේ විදුලිය මිලකරණයයි. මේ අනුව පසුගියදා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ශ්‍රී ලංකා මෙහෙයුම් ප්‍රධානී එවන් පැපජෝර්ජියෝ පවසා තිබුණේ මූල්‍ය අවදානම අවම කිරීම සඳහා ශ්‍රී ලංකාව හැකි ඉක්මනින් පිරිවැය ආවරණය වන විදුලිය මිලකරණය නැවත ස්ථාපිත කළ යුතු බවයි. එය ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විස්තීරණ ණය පහසුකම් වැඩසටහනේ සිව්වන සමාලෝචනය සම්පූර්ණ කිරීම සඳහා අත්‍යවශ්‍ය බව ද සඳහන් කර තිබේ. ශ්‍රී ලංකාවේ ආර්ථික ප්‍රතිසංස්කරණ වැඩසටහනේ සිව්වන සමාලෝචනය පිළිබඳ කාර්ය මණ්ඩල මට්ටමේ එකඟතාව අප වෙත ලබාදීමෙන් පසුව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් නිකුත් කළ නිවේදනයේ මෙසේ සඳහන් වේ.
“පහත සඳහන් කරුණු සපුරාලීම මත මෙම කාර්ය මණ්ඩල මට්ටමේ එකඟතාවය සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධායක මණ්ඩලයේ අනුමැතිය හිමි වනු ඇත.
(I) පිරිවැය ආවරණය වන විදුලිය මිලකරණය නැවත ස්ථාපිත කිරීම සහ ස්වයංක්‍රීය විදුලි මිල ගැළපුම් යාන්ත්‍රණයේ නිසි ක්‍රියාකාරීත්වය සහතික කිරීම සම්බන්ධ පූර්ව ක්‍රියාමාර්ග ක්‍රියාත්මක කිරීම සහ
(II) බහුපාර්ශ්වික හවුල්කරුවන්ගේ කැප වූ මූල්‍ය දායකත්වය සහ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ප්‍රමාණවත් ප්‍රගතිය තහවුරු කිරීම කෙරෙහි අවධානය යොමු කරන මූල්‍යන සහතික සමාලෝචනය සම්පූර්ණ කිරීම.
මේ නිසා අප වෙත අයිඑම්එෆ් පස්වන ණය වාරිකය ලබාගත හැකි වනු ඇත්තේ මේ කොන්දේසි ඉටු කිරීමෙන් පසුවය.
ශ්‍රී ලංකාව හැකි ඉක්මනින් පිරිවැය ආවරණය වන විදුලිය මිලකරණය නැවත ස්ථාපිත කළ යුතු බවට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් සිදු කර ඇති ප්‍රකාශය පැහැදිලි කරමින් ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු මහතා පසුගියදා මාධ්‍යයට පවසා තිබුණේ මේ වන විටත් ලංකාව ඒ සඳහා එකඟ වී කටයුතු කරමින් සිටින බවයි. එම එකඟ වීමට අනුව කාර්තුමය වශයෙන් සිදුවන විදුලි බිල ගැළපීම් තුළ ඇති වූ ගැටලුවක් නිසා මෙම වසරේ (2025) දෙවන කාර්තුවේ විදුලි බිල ගැළපීම සිදු කිරීමට නොහැකි වූ බවත් එළඹෙන ජූනි මාසය වන විට මෙය නිවැරදි කිරීමට කටයුතු කරන අතර ඒ සම්බන්ධව මේ වන විටත් මූල්‍ය අරමුදල සමග එකඟතාවට පැමිණ ඇති බවත් ඔහු පවසා සිටි බව මාධ්‍ය වාර්තා කර තිබේ.
‘විදුලි බිල ගණනය විය යුත්තේ පිරිවැය ආවරණය කර ගැනීමට. ඒක තමයි structural benchmark එක. අපි ඒකට එකඟ වෙලා තියෙන්නේ. ඒකට සූත්‍රයක් හදලා තියෙන්නේ. ඒ සූත්‍රයේ දී විදුලිය ජනනය වෙන්නේ මූලාශ්‍ර ගණනාවකින් නිසා ඒ වගේම ඒ මූලාශ්‍රවල විදුලි බිල ගණනය කිරීමේ පිරිවැය ඉදිරියේ දී සහ පවතින කාලගුණ තත්ත්වයන් මත වෙනස් වන නිසා ඒ සූත්‍රය තියෙන්නේ ඇස්තමේන්තු කරන ලද කාල පරිච්ඡේදයක ජනනය කරන ආකාරයත් ඊට පසුව තිබිච්ච ලාභත් ගළපලා හදන්න ඕන එකක්. එතකොට අපි මේ මූලික structural benchmark එකට එකඟයි. ගැටලුවක් මේක ඇතුළේ කියන්නේ නැහැ. හැබැයි ඒ ගැළපීම කරලා මිල සංශෝධනය කිරීමට අපි කියනවා continuance structural benchmark එකක් කියලා. දැන් අපි සූත්‍රයට එකඟ වෙනවා. ඒ සූත්‍රය අනුව කොහොම ද ක්‍රියාත්මක වෙන්නේ මේක. අඛණ්ඩතාවය මෙතන තියෙන්නේ කාර්තුමය වශයෙන්. එතකොට කාර්තුමය වශයෙන් තමයි විදුලි බිල ගැළපීම් සිදු කළ යුතු වන්නේ. කාර්තුමය වශයෙන් ගැළපීම් සිදු කරපුවම මේ සූත්‍රයේ තියනවා දත්ත ගන්න ඕන මාස 6 කට. මේක ඇත්තටම කාර්තුමය වශයෙන්ට වඩා අවුරුද්දකට වගේ ගියා නම් හොඳයි. විදුලිබිල වගේ දෙයක් මාස් පතා හෝ කාර්තුමය ලෙස වෙනස් කරන්න ගත්තොත් නිෂ්පාදන කාර්යයට සෘජුවම සම්බන්ධ වෙන නිසා ඒ දත්තවල එහා මෙහා වීම් අනුව නිෂ්පාදන පිරිවැය වෙනස් වීමකුත් වෙන්න පුළුවන්. නමුත් දැන් අපි මේ structural benchmark එක ඇතුළේ ඉන්නේ. ඒ නිසා කාර්තුමය වශයෙන් යන්න වෙනවා. අපි පැහැදිලි කළා ගිය වතාවෙ මූලික සාකච්ඡාවේ දී මේ කාර්තුමය ලෙස යන එකේ ගැටලුවක් වෙලා තියනවා කියල. ඒත් ඒකට දැන් එකඟ වෙලා තියනවා. පසුගිය ජනවාරි මාසයේ සිද්ධ කරපු සියයට 20 ක අඩු කිරීමට පස්සේ ඊළඟ කාර්තුව වෙන්නේ ඊළඟ අප්‍රේලවල. හැබැයි ඒ කාර්තුවට අදාළ දත්ත ටික විදුලිබල මණ්ඩලෙන් මහජන උපයෝගිතා කොම්සමට ලබා දුන්නට පස්සේ ඒ පුරෝකථනයක් විදිහට පැහැදිලි කර ගැනීම් සඳහා විගණනයන්ට යන්න ඕන. මොකද මහජන උපයෝගිතා කොමිසම ස්වාධීනයි. එතකොට ඒගොල්ලෝ සාකච්ඡා කරලා විදුලිබල මණ්ඩලයත් එක්ක බලලා අප්‍රේල් මාසයේ දී එකඟතාව වෙනස් කර ගැනීමට බැරි වීම තියෙන්නේ. ඒකෙන් අදහස් කරන්නේ නැහැ cost reflective එක එහෙම නැත්තම් ගිය පිරිවැය ආවරණය කරගන්නේ නැහැ කියන එක. මේ තියෙන්නේ දත්ත සාකච්ඡා කරලා එකඟතාවකට එන්න බැරිවීම නිසා ඒ කාරණය අපි අයිඑම්එෆ් එකට කිව්වා. යම් කාලයක් ලබා දෙන්න ඊළඟ කාර්තුව වෙද්දි ඒ කියන්නේ ජූනි මාසයේ දී මේක අනිවාර්යෙන්ම, උපකල්පනවල යම් ගැටලුවක් තියනවනම් ඒවත් විසඳගෙන නිසි පරිදි ඉදිරියට යමු කියලා. ඉතින් ඒ එකඟතාවට ඒගොල්ලොත් ආවා. ඒ අනුව මේ වාර්තාවේ ලියලා තියෙන්නේ cost reflective එක තවම නැහැ කියලා. එහෙම තියෙන්නේ අප්‍රේල් මාසයේ ඒක නොකරපු එක. එහෙම නැතුව පිරිවැය ආවරණය කරලා නැහැ කියන එක නෙවෙයි. ඒක වැරදි විදිහට තමයි සමාජගත වුණේ.’
ඇමැති අනිල් ජයන්ත පවසන පරිදි මේ ගැළපීම සිදුවන්නේ ජුනි මාසයේ නම් අයිඑම්එෆ් පස්වන ණය වාරිකය ලැබීම ප්‍රමාද වනු ඇත. එසේම මේ එකඟතාව අනුව අපට විදුලි නිෂ්පාදන පිරිවැය විදුලි බිල මගින් ආවරණය කර ගැනීමට අනිවාර්යෙන්ම සිදුවෙනු ඇත. මේ අනුව බොහෝ මාධ්‍ය වාර්තා පළ වී ඇත්තේ නැවත විදුලි බිලේ වැඩිවීමක් සිදුවනු ඇති බවටයි. මෙය විදුලි පාරිභෝගික ජනතාව මෙන්ම කර්මාන්ත හා ව්‍යාපාර අංශ යනාදිය අකමැති කාරණයක් වුවත් අපට අයිඑම්එෆ් වැඩසටහන අනුව ඉදිරියට යෑමට නම් එම කොන්දේසි අනුව කටයුතු කිරීමට සිදුවීම අනිවාර්යය කරුණකි. ඒ නිසා පසුගිය දේශපාලන වේදිකාවේ විදුලි බිල අඩු කිරීම ගැන මොනවා කීවත්, පවතින අයිඑම්එෆ් වැඩසටහන සමග ආර්ථිකය යථා තත්ත්වයට පත් කර ගැනීමට ඉදිරියට යනවා නම් ඒ අනුව කටයුතු කිරීමට සිදුවීම වැළක්විය නොහැකිය. මේ ගැන අයිඑම්එෆ් නිවේදනයේ ඇති මේ සඳහන මගින් ද තවදුරටත් පැහැදිලි වේ.
‘වැඩසටහනේ ක්‍රියාකාරීත්වය සමස්තයක් ලෙස ශක්තිමත්ව පවතී. මූලික දත්ත මත පදනම්ව සලකා බලන කල, දැනට දත්ත ලබාගත හැකි බොහෝ ප්‍රමාණාත්මක ඉලක්ක මාර්තු මස අවසානය වන විට සපුරා ඇති බව පෙනේ. අප්‍රේල් මස අග වන විට බොහෝ ව්‍යුහාත්මක මිනුම් දඬු සපුරා හෝ ප්‍රමාදයක් සහිතව ක්‍රියාත්මක කර හෝ තිබේ. කෙසේ වෙතත්, පිරිවැය ආවරණය වන විදුලි මිලකරණය පිළිබඳ අඛණ්ඩ ව්‍යුහාත්මක මිණුම් දඬු මෙතෙක් සපුරා නොමැත. උද්ධමනය මුදල් ප්‍රතිපත්ති උපදේශන ඉලක්ක මට්ටමට වඩා පහළින් පවතී.
මේ අනුව අයිඑම්එෆ් එක කියන ප්‍රධාන කරුණක් වන්නේ ණය වැඩසටහනේ සිව්වන සමාලෝචනය අනුමත කිරීම සඳහා පිරිවැය ආවරණය වන විදුලි මිලකරණය පිළිබඳ ව්‍යුහාත්මක මිනුම් දඬු සපුරාගත යුතු බවයි. ඒ නිසා මෙය ඉටු කරන තෙක් අපට අයිඑම්එෆ් මීළඟ ණය වාරිකය ලැබීමේ ප්‍රමාදයක් සිදුවනු ඇත. මෙය අපගේ අයිඑම්එෆ් වැඩසටහනට අදාළ අපගේ අභ්‍යන්තර කාරණයකි. ඒ සමගම අපට ලෝක ආර්ථික පරිසරයේ වෙනස්වීම් නිසා ඇතිව තිබෙන නව අභියෝගවලට මුහුණ දීමට ද සිදුව ඇත. එය අපගේ ආර්ථික අර්බුදයෙන් ගොඩ ඒමේ උත්සාහයට ද අහිතකර ලෙස බලපානු ඇත. ඒ නිසා මේ අලුත් ලෝක ආර්ථික පරිසරයට මුහුණ දීම සඳහා අපගේ ප්‍රතිපත්ති පෙර සූදානම් වීම ඉතා වැදගත් වනු ඇත. මේ ගැන මූල්‍ය අරමුදලේ නිවේදනයේ මෙසේ සඳහන් වේ.
‘මෑත කාලීනව ඇති වී තිබෙන බාහිර කම්පන සහ වර්ධනය වෙමින් පවතින ප්‍රවණතා මගින් තවමත් ආර්ථික අර්බුදයෙන් යථා තත්ත්වයට පත් වෙමින් පවතින ශ්‍රී ලංකා ආර්ථිකයට සැලකිය යුතු අවිනිශ්චිතතා ඇති කරයි. මෙම ගෝලීය අවිනිශ්චිතතා මධ්‍යයේ, සීමිත රාජ්‍ය මූල්‍ය අවකාශය ආරක්ෂා කර ගැනීම සහ කම්පන ඇති වුවහොත් ඒ සඳහා සුදුසු ප්‍රතිචාර දැක්වීම සඳහා තිරසාර ලෙස ආදායම් ඒකරාශී කිරීමේ ප්‍රයත්නයන් සහ විචක්ෂණශීලීව අයවැය ක්‍රියාත්මක කිරීම ඉතා වැදගත් වේ. රාජ්‍ය මූල්‍ය අවදානම් අවම කිරීම සහ විදුලි යටිතල පහසුකම් සඳහා සුදුසු ආයෝජන සිදු කිරීම සඳහා පිරිවැය ආවරණය වන විදුලි මිලකරණය ක්‍රියාත්මක කිරීම අත්‍යවශ්‍ය වේ. වර්ධනය සඳහා ඉඩ සලසන අතරම, රාජ්‍ය මූල්‍ය පිරිවැය සහ දූෂණ අවදානම් අවම කිරීම සඳහා බදු නිදහස් කිරීමේ රාමුව ශක්තිමත් කිරීම සහ අනෙකුත් වැදගත් ව්‍යුහාත්මක ප්‍රතිසංස්කරණ සම්බන්ධයෙන් ප්‍රගතියක් ලබා ගැනීමට බලධාරීන් දිරිමත් කරනු ලැබේ.’
මෙතක් ශ්‍රී ලංකාවේ ආර්ථික ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය සාර්ථක ප්‍රතිඵල ලබා දී ඇති බව කියන ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ඉදිරි කාලයේ දී ද මේ ප්‍රතිසංස්කරණවල ගම්‍යතාව පවත්වාගෙන යෑමේ වැදගත්කම අවධාරණය කර ඇත. මෙය මෙතෙක් ආර්ථිකය යථා තත්ත්වයට පත් කර ගැනීම සඳහා අත්කරගත් ප්‍රගතිය රැක ගනිමින් ඉදිරියේ දී වඩා ඉහළ ආර්ථික වර්ධනයකට ගමන් කිරීමට ද උපකාරී වනු ඇත. ලෝක බැංකුව කියන පරිදි අපේ සියයට 25 ක් වන දුප්පත්කමේ ප්‍රතිශතය මේ වන විට තවත් වර්ධනය වී ඇත. එය ජනතාවගෙන් තුනෙන් එකක් එනම් සියයට 33 ක් පමණ දක්වා වර්ධනය වනු ඇති බවද ලෝක බැංකුව නිකුත් කළ නවතම වර්තාවක සඳහන්ව ඇත. මේ නිසා අප කෙතරම් ආර්ථික ස්ථාවරත්වය ගැන කතා කළත් ජනතාවගෙන් විශාල පිරිසක් ජීවත් වන්නේ ඉතා අමාරුවෙන් වන නිසා මේ දුප්පත්කමේ බරපතළ ප්‍රශ්නයට විසඳුම් දීම ද හෙට දවසේ ප්‍රධාන ප්‍රමුඛතාවක් වනු ඇත.
ශ්‍යාම් නුවන් ගනේවත්ත
[email protected]