විදුලි බිල අද සිට සියයට 22.5 කින් පහළට

200

විදුලි ගාස්තු අද (16දා) සිට ක්‍රියාත්මක වන පරිදි සියයට 22.5 කින් අඩු කිරීමට මහජන උපයෝගිතා කොමිසම තීරණය කර ඇත.

මේ වසරේ (2024) දෙවැනි විදුලි ගාස්තු සංශෝධනය සඳහා ලංකා විදුලිබල මණ්ඩලය ඉදිරිපත් කළ යෝජනාව අධ්‍යයනය කිරීමෙන් අනතුරුව එම කොමිසම මේ තීරණය ගෙන ඇත. ඒ සම්බන්ධයෙන් පැවැත්වූ මහජන උපදේශනයේදී ඉදිරිපත් වූ යෝජනා හා අදහස් සැලකිල්ලට ගැනීමෙන් අනතුරුව කොමිසම ඊයේ සිය තීරණය මෙලෙස ප්‍රකාශයට පත් කළේය.

ඒ අනුව ගෘහස්ථ, ආගමික ස්ථාන, හෝටල්, කර්මාන්ත, පොදු කාර්ය හා රාජ්‍ය ආයතන යන සියලු පාරිභෝගික කාණ්ඩවල විදුලි ගාස්තු අද සිට අඩු කෙරේ.

ලංකා විදුලිබල මණ්ඩලය සිය යෝජනාව මගින් සමස්ත විදුලි ගාස්තු අඩුවීම සියයට 10කට සීමා කර තිබුණ ද, කොමිෂන් සභාව විසින් සමස්ත ගාස්තු අඩුකිරීම සියයට 22.5 ක් දක්වා ඉහළ දමා තිබේ.

ගෘහස්ථ පාරිභෝගික කාණ්ඩයේ විදුලි බිල සමස්තයක් ලෙස සියයට 26.8 කින් අඩු වී ඇත. ගෘහස්ථ පාරිභෝගික කාණ්ඩයේ ඒකක 30 ට අඩු ඒකකයක මිල රු.8 සිට 6 දක්වා ද, 31 සිට ඒකක 60 දක්වා ඒකකයක මිල රු.20 සිට 9 දක්වා ද, ඒකක 60 ට වැඩි කාණ්ඩයේ ඒකක 0 සිට ඒකක 60 දක්වා ඒකකයක මිල රු.25 සිට 15 දක්වා ද, ඒකක 61 සිට ඒකක 90 දක්වා ඒකකයක මිල රු.30 සිට 18 දක්වා ද, ඒකක 91 සිට ඒකක 120 දක්වා ඒකකයක මිල රු.50 සිට රු.30 දක්වා ද, ඒකක 121 සිට ඒකක 180 දක්වා ඒකකයක මිල රු.50 සිට 42 දක්වා සහ ඒකක 180 ට වැඩි පරිභෝජනය සඳහා ඒකකයක මිල රු.75 සිට 65 දක්වා ද අඩු වේ. එසේම මාසික ගාස්තු ද අඩු වී ඇත.

ආගමික ස්ථානවල අඩු විදුලි පරිභෝජනයක් සහිත කාණ්ඩ සඳහා මෙතෙක් අය කළ රුපියල් 8 සහ 9 බැගින් වූ ඒකක මිල රුපියල් 6 දක්වා ද, රුපියල් 18ක් වූ ඒකක මිල රුපියල් 10 දක්වා ද රුපියල් 32ක් වූ ඒකක මිල රුපියල් 20 දක්වා ද රුපියල් 43ක් වූ ඒකක මිල රුපියල් 30 දක්වා ද අද සිට අඩු කර තිබේ. ආගමික ස්ථානවලින් අය කළ මාසික ස්ථාවර ගාස්තු ද සියලු කාණ්ඩ සඳහා අඩුකර තිබේ.

කර්මාන්තශාලා සහ හෝටල් කාණ්ඩයේ කිලෝ වොට් 42ට අඩු කොන්ත්‍රාත් ඉල්ලුමක් ඇති උප කාණ්ඩය සඳහා මෙතෙක් පැවති රුපියල් 37 රුපියල් 30.50ක් දක්වා සහ රුපියල් 25.50ක් වූ ඒකක මිල පිළිවෙළින් රුපියල් 30.50, රුපියල් 18ක් දක්වා අඩු කිරීමට මහජන උපයෝගිතා කොමිෂන් සභාව තීරණය කර ඇත. එම පාරිභෝගික කාණ්ඩ දෙක සඳහා අදාළ වන මාසික ගාස්තු සංශෝධනය කර නැත.

නව ගාස්තු සංශෝධනයේ දී රාජ්‍ය ආයතන හා පොදු කාර්ය අංශ සඳහා මෙතෙක් පැවති රුපියල් 55, රුපියල් 45 සහ රුපියල් 37 බැගින් වූ ඒකක මිල පිළිවෙළින් රුපියල් 46.75ක්, රුපියල් 38.25ක් සහ රුපියල් 31.45ක් දක්වා අඩුකර තිබේ. එම පාරිභෝගික කාණ්ඩ දෙක සඳහා අදාළ වන මාසික ගාස්තු සංශෝධනය කර නැත.

නව ගාස්තු සංශෝධනය සමග ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව විසින් ලංකා විදුලි බල මණ්ඩලයට කොන්දේසි පනවා ඇති අතර ඒ අනුව විදුලි පාරිභෝගිකයින් ඉල්ලා සිටින විට දී විදුලි බිල්පත් නිකුත් කළ යුතු බව ද එමෙන්ම විදුලි ජනනය සඳහා ඉන්ධන මිලදී ගැනීමේ ලංකා ඛනිජ තෙල් සංස්ථාව සමග ගිවිසුම්වලට එළැඹීමට පියවර ගන්නා ලෙස ද කොන්දේසි පනවා ඇත.
ශ්‍යාම් නුවන් ගනේවත්ත


advertistmentadvertistment