විධිමත් තොරතුරු නැති 1000ක් යුද්ධයට ඇවිත්: රුසියාවට ගිය සජබ මන්ත්‍රීවරු සොල්දාදුවන් ගැන වාර්තාවක් දෙති

233

රුසියාවට ගොස් සිටින සමගි ජන සන්ධානයේ ජේ.සී. අලවතුවල, සුජිත් සංජය පෙරේරා සහ නීතිඥ වසන්ත යාපාබණ්ඩාර යන මන්ත්‍රී කණ්ඩායම 04 වැනිදා රුසියානු ශ්‍රී ලංකා තානාපති කාර්යාලය වෙත ගොස් රුසියානු යුක්‍රේන යුද්ධයට මැදිව සිටින ශ්‍රී ලාංකික සොල්දාදුවන් පිළිබඳව වාර්තාවක් ඉදිරිපත් කළහ.

එහි සඳහන් වන ආකාරයට දැනට විධිමත් තොරතුරු නොමැති වුවත් 1000 කට ආසන්න ශ්‍රී ලාංකික සෙබළුන් පිරිසක් රුසියානු යුක්රේන යුද්ධයට සම්බන්ධව ඇති බව එම මන්ත්‍රීවරු සඳහන් කරති. ඒ අතර දැනට සොල්දාදුවන් 220ක පිරිසක් ශ්‍රී ලංකාව වෙත නැවත යෑමට අවශ්‍ය බවට තමන්ට තොරතුරු ලබාදී ඇති බවත් එම මන්ත්‍රීවරු සඳහන් කළහ. එමෙන්ම රෝහල්ගත යුද සෙබළුන්ට අවශ්‍ය වෛද්‍ය ප්‍රතිකාර සහ අනෙකුත් පහසුකම් ලබාදීම පිළිබඳවත්, අතුරුදන් වූ හෝ මියගිය හෝ සොල්දාදුවන්ට අදාළ වන්දි මුදල් ඔවුන්ගේ ඥාතීන් වෙත ගෙවීම පිළිබඳවත්, මෙම සොල්දාදුවන්ගේ ගිවිසුම් කඩ කිරීම යටතේ තැරැව්කරුවන්ගේ ග්‍රහණයට ලක්ව ඇති සොල්දාදුවන් පිළිබඳවත් සාධාරණව මිත්‍රපාක්ෂික රටක් ලෙස රුසියානු රජයේ අවධානයට යොමු කරන ලෙස එම මන්ත්‍රීවරුන් පිරිස තානාපතිවරයාගෙන් ඉල්ලීමක් කර ඇත. මන්ත්‍රීවරු තිදෙනා රුසියානු ශ්‍රී ලංකා තානාපතිවරයා සමග දීර්ඝ වේලාවක් සාකච්ඡා කළ අතර රුසියානු රජයේ අවධානය මේ පිළිබඳව ලබාගෙන රාජ්‍යතාන්ත්‍රික ආකාරයට එම සෙබළුන් යුද භූමියෙන් ඉවත් කරගැනීමටත්, නැවත ලංකාවට ගෙන ඒමටත් අදාළ කටයුතු කඩිනමින් ඉටුකර ගැනීම පිළිබඳව තානාපතිවරයාගේ විශේෂ අවධානයට යොමු කළහ.

තවද එම මන්ත්‍රීවරු 03 දා රුසියාවේ මොස්කව් නුවරට කිලෝමීටර 800ක් ඈතින් පිහිටි සෙන් පීටර්ස්බර්ග් නුවර S.M Kirov Military Medical Academy රෝහල වෙත ගොස් ප්‍රතිකාර ලබන ශ්‍රී ලාංකික සොල්දාදුවන්ගේ සුවදුක් විමසා බැලීමට කටයුතු කළහ.

රුසියානු යුක්රේන යුද්ධයට මැදිව සිටින ශ්‍රී ලාංකික සොල්දාදුවන් පිළිබඳව එම මන්ත්‍රීවරුන් කළ සොයා බැලීමේදී සොල්දාදුවන් 5ක් පමණ අතුරුදන් වී හෝ මියගොස් ඇති බවත්, නිවෙස් සමග සම්බන්ධතා නොපවත්වන 70කට ආසන්න පිරිසක් ද සිටින බවත් හඳුනාගෙන ඇත.

advertistmentadvertistment
advertistmentadvertistment