විවෘත නෙට්බෝල් තරගාවලිය ජනවාරි 13 සහ 14 කොළඹදී

65

ශ්‍රී ලංකාවේ පැරණිතම නෙට්බෝල් තරගාවලිය ලෙස සැලකෙන බස්නාහිර පළාත් නෙට්බෝල් සංගමය විසින් මෙහෙයවනු ලබන ඊවා විවෘත නෙට්බෝල් තරගාවලිය ලබන ජනවාරි 13 සහ 14 යන දිනවල කොළඹ කොම්පඤ්ඤවීදිය ගුවන් හමුදා ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට කටයුතු යොදා ඇත.

තරගාවලිය සඳහා 27 වැනි වරටත් අඛණ්ඩව අනුග්‍රහය දැක්වීමට ICL Brands (Pvt) Ltd ඉදිරිපත් වී ඇත.

මෙම තරගාවලිය සංවිධානය කිරීමේදී ගත වූ වසර 26 දැක්වූ සාර්ථකත්වය මත තවදුරටත් ඊවා අනුග්‍රහය පිරිනැමීමට පියවර ගත් බව අනුග්‍රාහක ICL ආයතනයේ සමූහ අධ්‍යක්ෂ අනිල් ද සිල්වා මහතා ඒ පිළිබඳව පැවැති මාධ්‍ය හමුවේදී සඳහන් කළේය.

මෙම තරගාවලිය සඳහා ශ්‍රී ලංකාවේ සිටින පාසල් මට්ටමේ සිට ජාතික මට්ටම දක්වා වූ සුපිරි ක්‍රීඩිකාවන් සියල්ල සහභාගී වන හෙයින් නෙට්බෝල් ක්‍රීඩිකාවන්ගේ දක්ෂතා හඳුනා ගැනීමේ අවස්ථාවක් ශ්‍රී ලංකා නෙට්බෝල් පරිපාලනයට හිමිවන බව බස්නාහිර පළාත් නෙට්බෝල් සංගමයේ සභාපති සන්ධ්‍යා ජයසූරිය මහත්මිය පැවසුවාය.

මෙම තරගාවලියේ ශූරතා සහ අනුශූරතා කුසලානවලට අමතරව සෑම තරගාවලියකම විශේෂ දක්ෂතා සඳහා කුසලාන පිරිනැමීමටත් ඊට අමතරව Netball King and Queen තෝරා ගැනීමටත් නියමිතව ඇති බවත් ඇය පවසා සිටියාය.

මේ අතර පාසල් තරගාවලියේදී දස්කම් දක්වන නෙට්බෝල් ක්‍රීඩිකාවන්ට පළමු වරට ඉදිරි වසරක කාලයක් නෙට්බෝල් ක්‍රීඩා කටයුතු සඳහා සම්පත් දායකත්වය දැක්වීමට ද මෙවර ICL Brands Pvt Ltd තීරණය කොට ඇත.

අවසන් වරට පැවැති 2022 තරගාවලිය සඳහා කණ්ඩායම් 142 ක් සහභාගි වූ අතර ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක නෙට්බෝල් තරගාවලියක වැඩිම සහභාගීත්වය එය ලෙසද හැඳින්වේ.

තරගාවලිය ඔවුන්ගේ අදාළ සංගම්වලට අනුබද්ධ සියලුම ක්‍රීඩා සමාජ, වෙළඳ සමාගම්, රාජ්‍ය ආයතන, බැංකු, විශ්වවිද්‍යාල සහ පාසල් (දේශීය හා ජාත්‍යන්තර) සඳහා විවෘත වේ.

තරගාවලිය කාණ්ඩ 4 කින් ක්‍රීඩා කෙරේ. ‘ඒ‘ කොටස (විවෘත පිරිමි සහ කාන්තා), ‘බී‘ කොටස (විවෘත කාන්තා පමණක්), පාසල් අංශය (වයස අවුරුදු 15, න් පහළ, 17 න් පහළ, 19 න් පහළ) සහ ප්‍රවීණයන්ගේ (40ට වැඩි කාන්තාවන්.

තරගාවලියට ඇතුළත් කිරීම් 2024 ජනවාරි 5 අවසන් වන අතර ඒ පිළිබඳව විමසීම් 076-9122778 සොරායායන අංකයෙන්ද, ප්‍රවේශ පත්‍ර නිමලිකා තුෂාන්ති, 076-1717286 යන අංකයෙන්ද ලබා ගත හැක.

අයිසීඑල් සමූහ අධ්‍යක්ෂ අනිල් ද සිල්වා මහතා විසින් ඊවා ශූරතා කුසලාන බස්නාහිර පළාත් නෙට්බෝල් සංගමයේ සභාපති සන්ධ්‍යා රාජපක්ෂ මහත්මිය වෙත භාරදුන් අවස්ථාව.
කුෂාන් සුබසිංහ

advertistmentadvertistment
advertistmentadvertistment