කිරිබත්ගොඩ නගරයේ රජයේ ඉඩමකට කූට ලේඛන සකස් කිරීමේ නඩුවට අදාළව අධිකරණය මගහැරීම නිසා විවෘත වරෙන්තු නිකුත් කොට තිබූ එම නඩුවේ හයවන සැකකරු වන හිටපු රාජ්‍ය ඇමැති ප්‍රසන්න රණවීර මහතා නීතිඥයකු මාර්ගයෙන් ඊයේ (07 දා) මහර මහෙස්ත්‍රාත් අධිකරණයට හාර විය.
ජ්‍යෙෂ්ඨ නීතිඥ අමිල පල්ලියගුරු මහතා මාර්ගයෙන් අධිකරණයට භාරවූ හිටපු රාජ්‍ය ඇමැති ප්‍රසන්න රණවීර මේ මස 19 දා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට මහර අංක 01 අධිකරණයේ මහෙස්ත්‍රාත් කාංචනා ද සිල්වා මහත්මිය නියම කළාය.
තවද බන්ධනාගාරය තුළදී ඔහුගෙන් ප්‍රකාශයක් ලබා ගැනීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මූල්‍ය අපරාධ විමර්ශන අංශයට අවසර දුන් මහෙස්ත්‍රාත්වරිය සැකකරුගේ ආරක්ෂාව සම්බන්ධයෙන් අවධානය යොමු කරන ලෙස බන්ධනාගාර අධිකාරිවරයාට නියෝග කළාය.
මහෙස්ත්‍රාත්වරිය එසේ නියෝග කළේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මූල්‍ය අපරාධ විමර්ශන අංශය විසින් හිටපු රාජ්‍ය ඇමැතිවරයාගෙන් ප්‍රකාශයක් ලබා ගැනීමට හා ඔහුගේ ආරක්ෂාව සම්බන්ධයෙන් ජ්‍යෙෂ්ඨ නීතිඥ අමිල පල්ලියගුරු මහතා විසින් කරන ලද ඉල්ලීම් අනුවයි.
මේ වනවිට මේ නඩුවට අදාළව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මූල්‍ය අපරාධ විමර්ශන අංශය මගින් අත්අඩංගුවට ගත් නවීන් වීරකෝන්, හිටපු ඇමැති මර්වින් සිල්වා, කැලණිය ප්‍රාදේශීය සභාවේ හිටපු උප සභාපති වෛද්‍ය ජයන්ත සිංහබාහු කබ්රාල් හා හිටපු ඇමැති මර්වින් සිල්වාගේ පාර්ලිමේන්තු කටයුතු හිටපු ලේකම් දොන් සරත් කුමාර එදිරිසිංහ නොහොත් සිංගප්පූරු සරත් යන සිව්දෙනා රක්ෂිත බන්ධනාගාරගත කර සිටිති. මෙහිදී හයවන සැකකාර හිටපු රාජ්‍ය ඇමැති ප්‍රසන්න රණවීර වෙනුවෙන් පෙනී සිටි ජ්‍යෙෂ්ඨ නීතිඥ අමිල පල්ලියගුරු මහතා අධිකරණයට කරුණු දක්වමින් මෙසේ සඳහන් කළේය.
“මේ සැකකරු තමා අත්අඩංගුවට නොගන්නා ලෙස ඉල්ලා අභියාචනාධිකරණයට රීට් අයදුම්පතක් ඉදිරිපත් කර තිබුණා. එහි නියෝගය අප්‍රේල් මස 28 දා ලබා දෙන බවට පවසා තිබුණා. මේ අනුව මා පසුගිය නඩු දිනයක මෙම අධිකරණයට පැමිණ එම නියෝගයෙන් පසුව සැකකරු මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කරන බවට පොරොන්දු වුණා. නමුත් ඉකුත් 05 වැනිදා පැවැති නඩු දිනයට ඔහු ඉදිරිපත් කිරීමට නොහැකි වුණේ අභියාචනාධිකරණය විසින් ලබා දුන් තීන්දුවේ සම්පූර්ණ පිටපතක් එදිනට ලබා ගැනීමට නොහැකි වූ නිසයි. එම තීන්දුවේ පිටපතක් තවමත් අපට ලබා ගැනීමට හැකි වී නෑ. ඒත් මවිසින් අද මෝසමක් මාර්ගයෙන් සැකකරු අධිකරණයට ඉදිරිපත් කරනවා. අද මා ඔහුට අධිකරණයෙන් ඇප ඉල්ලන්නේ නැහැ. ඔහුට ඇප ලබා ගැනීමට ඉදිරියේදී ඇප අයදුම්පතක් ඉදිරිපත් කරනවා.
මෙය ඉකුත් 2011 වසරේ සිදු වූ සිදුවීමක්. ඒ සම්බන්ධව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කරුණු ඉදිරිපත් කර තිබෙනවා. නීතිපති උපදෙස් අනුව මේ නඩුව පවරා තිබෙන්නේ පොදු දේපළ පනත යටතේයි. නමුත් මේ හයවන සැකකරුට විරුද්ධව සාක්කි නැහැ. ඒ නිසා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ලබා දී තිබෙන සාක්කිකරුවන්ගේ ප්‍රකාශවල සාක්කි සම්පීඩන වාර්තාවක් අපට ලබා දීමට එම දෙපාර්තමේන්තුවට නියෝග කරන ලෙස අධිකරණයෙන් ඉල්ලා සිටිනවා. ඒ වගේම සැකකරුගේ ආරක්ෂාව සම්බන්ධව අවධානය යොමු කරන ලෙස ද අධිකරණයෙන් ඉල්ලා සිටිනවා.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මූල්‍ය අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති පී. විජේතුංග මහතා කරුණු දක්වමින් සැකකරුගේ ප්‍රකාශයක් බන්ධනාගාරය තුළදී ලබා ගැනීමට අවසරය දෙන ලෙසට අධිකරණයෙන් ඉල්ලා සිටියේය. දෙපාර්ශ්වයේම කරුණු කෙරෙහි අවධානය යොමු කළ මහෙස්ත්‍රාත්වරිය අධිකරණයට භාර වූ සැකකරු මේ නඩුවේ හයවන සැකකරු ලෙස නම් කරන බවත් ඔහුට ඇප ලබා ගැනීම සඳහා සුවිශේෂී කරුණු ඉදිරිපත් නොවූ බවත් ඒ අනුව ඔහු මේ මස 19 දා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන බවත් ඔහුගේ ප්‍රකාශයක් බන්ධනාගාරයේදී ලබා ගැනීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට අවසරය දෙන බවත් සැකකරුගේ ආරක්ෂාව සම්බන්ධව බන්ධනාගාර අධිකාරිවරයාගේ අවධානය යොමු කරන ලෙසත් නියෝග කළාය.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මූල්‍ය අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක පී. විජේතුංග හා පොලිස් සැරයන් ඩෙන්සිල් යන නිලධාරීහු පැමිණිල්ල මෙහෙයවූහ. සැකකාර හිටපු රාජ්‍ය ඇමැතිවරයා වෙනුවෙන් ජ්‍යෙෂ්ඨ නීතිඥ අමිල පල්ලියගුරු මහතා සමග නීතිඥයින් වන යසින්ත කපුවැල්ල, ප්‍රියන්ත රාජපක්ෂ, පුෂ්පලා සත්‍යවංශනි, ලඛිත වාකිශ්ෂආරච්චි හා සුභාත් ද සිල්වා යන මහත්ම මහත්මීහු පෙනී සිටියහ.
දෙල්ගොඩ -ඩබ්ලිව්. ඩී. විතාන, කැලණිය -මංගලා මදුරප්පෙරුම හා බියගම-සුදත් පුබුදු කීර්ති