විස්සයි විස්සට ඇමෙරිකා ගිය ශ්‍රී ලංකා කණ්ඩායමට අකරතැබ්බ

665

අමෙරිකාවේ පැවැත්වෙන විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය සඳහා ගිය ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට අඩු සැලකිල්ලක් දක්වන බව වාර්තාවේ.ඊට හොඳම නිදසුන වන්නේ ෆ්ලොරීඩා නුවර සිට නිව්යෝර්ක් දක්වා පැමිණි විශේෂ ගුවන් යානය ප්‍රමාද වීම හේතුවෙන් ශ්‍රී ලංකා, අයර්ලන්ත සහ දකුණු අප්‍රිකා ක්‍රීඩකයින් දැඩි අපහසුතාවට පත්වීමය.අදාළ විශේෂ ගුවන් යානය ෆ්ලෝරීඩා නුවරින් පිටත්වීමට නියමිතව තිබූ වේලාවට වඩා පැය 7කට වැඩි කාලයක් ප්‍රමාද වූ බව වාර්තා වේ.ශ්‍රී ලංකා, අයර්ලන්ත සහ දකුණු අප්‍රිකා කණ්ඩායම් ෆ්ලොරීඩා හිදී පැවති පුහුණු තරගවලින් අනතුරුව ලෝක කුසලාන මූලික වටයේ තරගවලට සහභාගීවීම සඳහා නිව්යෝර්ක් නුවර වෙත පැමිණීමට නියමිතව තිබුණි.ඔවුන්ට නිව්යෝර්ක් නගරය වෙත පැමිණීමට විශේෂ ගුවන් යානයක් වෙන්කර තිබුනද එම ගුවන් යානය පැය 7කට වැඩි කාලයක් ප්‍රමාද වීම හේතුවෙන් ක්‍රීඩකයින් දැඩි අපහසුතාවකට පත්ව තිබේ.එම සම්පූර්ණ කාලයම ක්‍රීඩකයින් රැඳී සිට තිබෙන්නේ ෆ්ලොරීඩා ගුවන් තොටුපොළ තුළය.ඒ අනුව මැයි 31 වැනිදා සිකුරාදා රාත්‍රී 8ට නිව්යෝර්ක් වෙත ළඟාවීමට නියමිතව සිටි ක්‍රීඩකයින් නිව්යෝර්ක් වෙත පැමිණ ඇත්තේ ජුනි 1 වැනිදා සෙනසුරාදා අලුයම 5ටය. ශ්‍රී ලංකා කණ්ඩායමට නිව්යෝර්ක් හිදී සෙනසුරාදා උදෑසන පැවැත්වීමට සැලසුම්කර තිබූ පුහුණු සැසිය අවලංගු කර එම සැසිය සෙනසුරාදා සවස පැවැත්වීමට ඒ අනුව සිදුවිය.එසේම උදෑසන සැලසුම් කර තිබූ පිතිකරණ සැසිය වෙනුවට සහභාගීවීමට හැකිව ඇත්තේ පන්දු රැකීමේ සැසියකට පමණි. ශ්‍රී ලංකා කණ්ඩායම නිව්යෝර්ක් හි නවාතැන්ගෙන සිටින හෝටලයේ සිට තරග පැවැත්වෙන නසාවු ක්‍රීඩාංගණයට බසයෙන් ඒමට පැය එක හමාරක පමණ කාලයක් ගත වේ. ශ්‍රී ලංකා ක්‍රීඩකයින්ට එය දැඩි අවාසියක් වී තිබේ.ගුවන්ගමන් ප්‍රමාදය සහ තරගාවලියේ සංවිධාන කටයුතුවල තිබෙන අඩුපාඩු සම්බන්ධයෙන් ශ්‍රී ලංකා, අයර්ලන්ත සහ දකුණු අප්‍රිකා කණ්ඩායම් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයට පැමිණිල්ලක්ද ඉදිරිපත්කර තිබේ.

advertistmentadvertistment
advertistmentadvertistment