වීරකැටියෙන් මතුවූ කෝටි 200ක කුඩු ඩුබායි සුද්දාගේ

270

වීරකැටිය අතුපොනේ ප්‍රදේශයේ නිවසක සඟවා තිබිය දී පොලිසිය මගින් ඊයේ (22දා) අලුයම සොයාගත් රුපියල් කෝටි 200කට අධික වටිනාකමෙන් යුත් හෙරොයින් බවට සැකකරන මත්ද්‍රව්‍ය තොගය සුද්දා නමින් හඳුන්වන මත්ද්‍රව්‍ය ජාවාරම්කරුට අයත් බව විමර්ශනවලින් හෙළිවී ඇත.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන සිටින තරුණයන් දෙදෙනාට මෙම හෙරොයින් තොගය එවා ඇත්තේ සුද්දා විසින් බවත් එය සඟවාගෙන සිටීම වෙනුවෙන් රුපියල් ලක්‍ෂ 50 ක මුදලක් ඔවුන්ට ගෙවීමට පොරොන්දු වූ බවත් විමර්ශනවලින් අනාවරණය වී තිබේ.

ඉතාම සූක්‍ෂම ලෙස කිලෝග්‍රෑම් එකේ පැකට්වල අතුරා තිබූ හෙරොයින් බවට සැකකරන පාර්සල් 101ක් පොලිසිය මගින් සොයාගත් අතර ඒවා රජයේ රස පරීක්‍ෂකවරයා වෙත භාර දී පරීක්‍ෂා කිරීමට කටයුතු කරන බව විමර්ශන නිලධාරීහු පවසති.

වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතාගේ උපදෙස් මත පෙරේදා (21දා) රාත්‍රී හදිසි මත්ද්‍රව්‍ය වැටලීමේ මෙහෙයුමක් ක්‍රියාත්මක කළ අතර මෙම හෙරොයින් සොයාගැනීමට හැකිවී ඇත්තේ එම මෙහෙයුමේ දීය. වීරකැටිය අතුපොනේ ප්‍රදේශයේ බේකරියක් සහිත නිවසක් වැටලූ වීරකැටිය පොලිසියේ ස්ථානාධිපතිවරයා ඇතුළු නිලධාරීන් එහි ගබඩා කර තිබූ මෙම හෙරොයින් පාර්සල් 101 සොයාගෙන තිබිණි.

එහිදී අත්අඩංගුවට ගත් සැකකාර තරුණයෝ දෙදෙනා අවුරුදු 23-24 වයසේ පසුවන අය වෙති. ඔවුන් පොලිසියට පවසා ඇත්තේ ඩුබායිහි සිටින සුද්දා නමින් හඳුන්වන අයකු දුරකථනයෙන් තමන්ට කතා කර අදාළ පාර්සල් නිවසේ සඟවා ගන්නා ලෙස උපදෙස් දුන් බවයි. ඒ සඳහා රුපියල් ලක්‍ෂ 50ක් ලබාදීමට පොරොන්දු වූ බවත් ඒ මුදලින් රුපියල් දහනව දහසක් මුලින් ලබාදුන් බවත් සැකකරුවන් ප්‍රකාශ කර ඇත.

පෙරේදා උදේ වරුවේ ලොරියක පැමිණි පුද්ගලයන් දෙදෙනකු මෙම පාර්සල් තොගය තම නිවස වෙත භාරදුන් බවත් ඔවුන් ලොරියේ බඳ කොටසේ ඉතාම සූක්‍ෂම ලෙස මෙම හෙරොයින් සඟවා ගෙන පැමිණ තිබූ බවත් අත්අඩංගුවට ගත් සැකකරුවන් වැඩිදුරටත් ප්‍රකාශ කර තිබේ. මෙම හෙරොයින් තොගය පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශය වෙත භාරගත් අතර සැකකරුවන් ද ඔවුන් භාරයට ගෙන දීර්ඝ ලෙස ප්‍රශ්න කරගනෙ යයි.

හෙරොයින් තොගය දකුණු මුහුදු තීරය ඔස්සේ රටට ගෙන එන්නට ඇති බවට පොලිසිය සැක පහළ කරයි.

දකුණු පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති කිත්සිරි ජයලත්, නියෝජ්‍ය පොලිස්පති නිශාන්ත සොයිසා මහත්වරුන්ගේ අධීක්‍ෂණයෙන් විමර්ශන පැවැත්වෙයි.

හේමන්ත රන්දුණු


advertistmentadvertistment