සැකපිට වනාතමුල්ලේ 4 දෙනෙක් අත්අඩංගුවට
කොළඹ වෙසක් සිරි නැරඹීමට යමින් සිටි තරුණයන් සිව්දෙනකු හා ස්ථිර පදිංචියක් නොමැති පුද්ගලයකු අතර දෙමටගොඩ ගුවන් පාලම යටදී ඇතිවූ බහින්බස්වීමක් දුරදිග යෑමෙන් තරුණයන් විසින් එම 38 හැවිරිදි පුද්ගලයාට පොලුවලින් හා අතින් පයින් පහරදී ඝාතනය කර ඇතැයි දෙමටගොඩ පොලිසිය පවසයි.
මෙම ඝාතනය පෙරේදා (13දා) රාත්‍රි සිදුවී ඇතැයි ද පොලිසිය කියයි.
මෙම ඝාතනය සම්බන්ධයෙන් බොරැල්ල වනාතමුල්ල පදිංචි අවුරුදු 19ත් 22ත් අතර වයසේ පසුවන සැකකාර තරුණයන් සිව්දෙනා අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි.
රාත්‍රී ජංගම සංචාරයක යෙදී සිටි පොලිස් නිලධාරීන් කණ්ඩායමක් එම ස්ථානයට ගොස් තුවාල ලබා වැටී සිටි පුද්ගලයා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කිරීමට පියවර ගත්ත ද ඔහු ඒ වනවිටත් මියගොස් සිටි බව පොලිසිය කියයි.
ඝාතනයට ලක්වූ පුද්ගලයා පෞද්ගලික සමාගමක කුලී වැඩ කරමින් ජීවත් වූ පුද්ගලයකු බව පොලිසිය පවසයි.
මෙම තරුණයන් පිරිස දෙමටගොඩ ගුවන් පාලම යටින් ගමන් කරමින් සිටියදී ඝාතනයට ලක්වූ පුද්ගලයා අදාළ තරුණයන්ට අසභ්‍ය වචනයෙන් බැණවැදී තිබේ. එහිදී අදාළ තරුණයන් ද ඔහුට බැණවැදී ඇත. එහිදී දෙපාර්ශ්වය අතර ඇතිවූ බහින්බස්වීම දුරදිග යෑමෙන් පසු අදාළ තරුණයන් පොලුවලින් හා අතින් පයින් ඔහුට පහරදී ඇතැයි හෙළිවූ බව පොලිසිය කියයි.
දෙමටගොඩ පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්‍ෂක කපිල බණ්ඩාර මහතාගේ උපදෙස් මත අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්‍ෂක විජිතානන්ද මහතාගේ මෙහෙයවීමෙන් පොලිස් සැරයන් සමරජීව (2830), පොලිස් කොස්තාපල්වරුන් වන තුවාන් (31996), ගුණතිලක (94129) යන නිලධාරීහු වැඩිදුර පරීක්‍ෂණ සිදු කරති.
ප්‍රදීප් ප්‍රසන්න සමරකෝන්