චාමර සහ නිලූකගේ ගමනත් නවතියි

181

මෙවර ඔලිම්පික් ක‍්‍රීඩා උළෙලෙහි තෙවැනි දිනය වූ ඊයේ (26දා) කිලෝ ග‍්‍රෑම් 73 ට අඩු බර පන්තිය යටතේ ජූඩෝ තරගයට ඉදිරිපත් වූ ශ‍්‍රී ලංකා කණ්ඩායම් නායක චාමර නුවන් ධර්මවර්ධන ට පරාජයේ අමිහිර අත්විඳින්නට ද සිදුවිය.

පසුගිය ‘‘රියෝ’’ ඔලිම්පික් ක‍්‍රීඩා උළෙලේදී ලත් සාර්ථකත්වයේ ප‍්‍රතිඵලයක් ලෙස වාසියක් ද සමගින් ක‍්‍රීඩකයන් 32 ගේ වටයට සුදුසුකම් ලැබූ චාමර නුවන් ධර්මවර්ධන මෙවර තරගාවලියට අවතීර්ණ වෙමින් මුහුණ දුන් පළමු තරගය ද මෙය විය.

Nilukaජිබූටි දේශය නියෝජනය කළ ‘‘ඇඩන් ඇලෙක්සැන්ඩර්’’ හමුවේ උපක‍්‍රමශීලී වීමට තරම් පරිණත බවක් චාමර නුවන් ධර්මවර්ධන වෙතින් මෙම තරගයේදී දිස් නොවීම කැපී පෙනුණි.

තරගය ඇරඹී 29 වැනි තත්පරය තුළදීම අදාළ ජයග‍්‍රහණය සටහන් කර ගැනීමට ජිබූටි ක‍්‍රීඩකයා සමත් වූ අතර එය ඔහුගේ ආක‍්‍රමණශීලී ක‍්‍රීඩා රටාවේ ප‍්‍රතිඵලයක් ලෙස සටහන් කළ හැකිය.

ජගත් ශ්‍රේණිගත කිරීම අනුව 56 වෙනි ස්ථානයේ පසුවන අයර්ලන්තයේ එන්. නුගුයෙන් සමග ඊයේ (26දා* රාත‍්‍රියේදී තම දෙවන තරගයට ඉදිරිපත් වූ බැඞ්මින්ටන් ක‍්‍රීඩක නිලූක කරුණාරත්නට වට 02 – 00 ක පරාජයක් හිමිවිය.

මෙම තරගයට අවතීර්ණ වෙමින් මුහුණ දුන් පළමු වටයේදී ලකුණු 21-16 ක් ලෙස ද දෙවන වටයේදී ලකුණු 21 – 14 ක් ලෙසද පසු බැසීමට නිලූක කරුණාරත්නට සිදු විය.

චීන තායිපේ ක‍්‍රීඩක ටිෂූ වෙයි වෑංග් හමුවේ පළමු තරගයෙන්ද පරාජය ලැබීම හේතුවෙන් ඉදිරි වටයට යෑමේ බලාපොරොත්තුව ඒ අනුව නිලූක කරුණාරත්නට අහිමි විය.

මෙරට අංක එකේ බැඞ්මින්ටන් ක‍්‍රීඩකයා ලෙස කිරුළු දරා සිටින නිලූක කරුණාරත්න පිට පිටම සහභාගි වූ තෙවන ඔලිම්පික් ක‍්‍රීඩා උළෙල මෙය විය.

අනුරුද්ධ හේරත් බණ්ඩාර

advertistmentadvertistment
advertistmentadvertistment