දාඨාවංශයට අනුව ශ්‍රී දන්තධාතූන් වහන්සේ ලංකාවට වැඩමවන්නේ ඉන්දියාවේ දන්තපුරයේ සිටයි. දන්තපුරයේ පිහිටීම පිළිබඳව ඉන්දියානුවන් තුළ මෙන්ම බොහෝ ඉතිහාසඥයන් තුළ ද විවිධ මත පවතී. ඉන්දියානු ඉතිහාසය හා භූගෝල විද්‍යා ලේඛනාගාරයන්ගේ දත්තවලට අනුව (archive org) “දන්තපුර” පිහිටා ඇත්තේ රාජමන්ද්‍රී (ආන්ද්‍රා ප්‍රදේශය) ආශ්‍රිතව බව හඳුනා ගෙන ඇත. මේ හා සමාන මතයක් මහා පුරාවිද්‍යාඥ ආචාර්ය කනිංහැම් විසින් ද පෙන්වා දී තිබේ.

මීට අමතරව ආන්ද්‍රා ප්‍රදේශයේ ශ්‍රී කාකුලම් හි “දන්තූර්” මෙම දන්තපුරයම බව ආන්ද්‍රා ප්‍රදේශයේ පුරාවිද්‍යාඥයෙකු වන මහාචාර්ය සුබරාවෝ පෙන්වා දෙයි.

සිල්වන් ලෙවී නම් ටොලමිගේ සිතියම් පරීක්ෂා කළ පුරාවිද්‍යාඥ හඳුන්වන දන්තපුරය යනු ඩාන්ටන් ලෙස මීඩිනාපූර් දිස්ත්‍රික්කයේ කසායි කඳු බෑවුමේ පිහිටි නුවර බවයි. වඩාත්ම කතාබහට ලක් වන එස්. ක්‍රිෂ්ණසාමි අලියංගර්ගේ දත්ත අනුව දන්තපුරය වන්නේ ඔරිස්සාහීපූරි හි පවතින දන්තපුරය මෙම ඓතිහාසික දන්තපුරය බවයි.

කෙසේ නමුදු දන්තපුරය පිහිටා තිබෙන්නේ කාලිංගයේ බවත්, එය එකළ කාලිංගයේ අගනුවර බවත් මේ සියලු දෙනා එක ලෙස පිළිගනිති. කාලිංගයේ අගනුවර විටෙක පුරාණ සිංහපුරය වූ අතර වම්සිධාරා නදිය ආසන්නයේ දන්තපුරය තිබිය හැකි බවට පුරාවිද්‍යාඥයකු වූ ඒ. ඩබ්ලිව්. ඕල්ඩි නම් යෝජනා කරයි.

ශ්‍රී දළදාව වැඩහුන් දන්තපුර

මේ සියලු ස්ථාන අතුරින් වඩාත්ම සාක්ෂි අදටත් ජීවමාන වන්නේ අමරාවතී නගරයේ ශ්‍රී කාකුලම් හා රාජමන්ද්‍රි නගරයන්ට ආසන්නයේ පිහිටි දන්තපුරයයි. දාඨාවංශයට අනුව අප මහා ගෞතම බුදුරජාණන් වහන්සේ සම්බුද්ධ පරිනිර්වාණයෙන් පසු ආදාහනය කළ ආකාරය පිළිබඳව සවිස්තරාත්මකව දැක්වේ.

එහිදී රන්දෙන තුළ ඉතිරි වූ ප්‍රධාන ධාතූන් 7ක් නම් කරනු ලබයි.

එය දාඨාවංශයේ සඳහන් වන්නේ මෙසේය. මල්ලකුමාරවරුන්ගේ ප්‍රධානත්වයෙන් අලංකෘත වූ දෙන දැවීමට උත්සාහ කළ ද එය සිදු කිරීමට නොහැකි විය. මහා කස්සප මහතෙරුන් වැඩ බුදුරදුන්ගේ පාද නියමිත ලෙස ආවරණය කොට උන්වහන්සේ ශීර්ෂය අසල රැඳී වන්දනාමාන කරන්නට විය. ඒ මොහොතේ අහසින් පැමිණි ගිනි ජාලාවකින් දෙන දැවීම ආරම්භ විය. ගින්නෙන් දුම් හෝ අළු නොතිබිණ. අහසින් බැස එන ජල ධාරා, පොළවෙන් සෑම පැත්තෙන්ම නැඟී මෙම ගින්න නිවා දැමීය.

ශ්‍රී දළදාව වැඩහුන් දන්තපුර

(දා. වං 2/ 44 45)

බුදුරදුන්ගේ කැමැත්තෙන් විසිරී ගිය මුතු හා රන් රිදියෙන් වර්ණවත් වූ ධාතූන් වහන්සේ ඉතිරි විය. මින් ධාතූන් 7ක් පැහැදිලිවම හඳුනාගත හැකි විය.

  1. ලාලාට ධාතුව (1)
  2. කරපටි අස්ථි දෙක (2)
  3. බුදුරදුන්ගේ දන්ත ධාතූන් (4)

(දා. වං 22/49)

මේ අතර සාරිපුත්ත තෙරුන්ගේ ගෝල භික්ෂුවක් වූ මහා සෘදිසම්පන්න “සරභි” නම් රහතන් වහන්සේ මෙම ධාතු අතරින් පැහැදිලිව මතු නොවූ ග්‍රීව ධාතුව ඉවත් කර එය මහියංගනයට රැගෙන මහියංගන ථූපයේ තබා ආවරණය කර ස්මාරකයක් සෑදුවේය. (දා. වං 2/51)

මේ අතර මහා කාරුණික බවෙන් අගතැන්පත් වූ ඛේමා දේවීන් වහන්සේ විසින් වම් දළදා වහන්සේ දෙන අසලින් ලබා ගත්තාය. මේ අවස්ථාවේදී සර්ඥ ධාතු ලබා ගැනීමට විවිධ පෙදෙස්වල සිට පැමිණි රජවරු 8 දෙනකු ආරවුලක් ඇති කර ගනු පෙනිණි. මෙයට මැදිහත් වූ “ද්‍රණ” බමුණා ඉතිරි ධාතු කොටස් 8කට වෙන්කර රජවරුන්ට බෙදා දෙන ලදී. (දා. වං 2/54)

මෙම රජවරු තම තමන්ගේ පෙදෙස්වල මේ සඳහා ස්මාරක ඉදිකර වැඳුම් පිදුම් කිරීමට ඇරඹිණ. ඛේමා දේවීන් ලබාගත් වම් දළදා වහන්සේ දන්තපුරයේ කාලංග රජු වන බ්‍රහ්මදත්ත රජුට ලබා දී තිබේ. (දා. වං 2/59 )

බ්‍රහ්මදත්ත රජු දන්තධාතූන් වහන්සේ තැන්පත් කිරීම උදෙසා තැනූ මාළිගය දාඨාවංශයේ මෙසේ සඳහන් වේ.

“මෙම මාළිගය රත්‍රන්වලින් සැදූවකි. මුතුමාල දසත එල්ලා තිබිණ. සිය ගණන් කාමරයන් පැවතිය ද ඉහළින්ම වූ කාමර මැණික්වලින් පුරවා තිබිණ. එහි දීප්තිය ඇස් නිලංකාර කරන්නට විය. එම කාමරය තුළ වූ රන් ආසනය මත ශ්‍රී දළදාව තැන්පත් කරන ලදී. බ්‍රහ්මදත්ත රජු දිවා රාත්‍රී දන්තධාතූන් වහන්සේට පුද පූජා කළේය. ඔහු මහා කුසල් සම්භාරයක් රැස් කර ගත්තේය. ඔහුගෙන් පසු ඔහුගේ පුතු කසී රාජා ද එලෙසම මෙම කටයුතු කරගෙන ගියේය. පසුව සුනන්ද රජු ද ඇතුළු බොහෝ රජදරුවෝ දන්ත ධාතූන් වහන්සේට පුද සත්කාර කරනු ලැබිණ. (දා. වං 2/61, 71)

ඉන් පසු රාජත්වයට පැමිණි ගුහසීව රජ සමය දන්ත ධාතූන් වහන්සේට සත්කාර කිරීමට බාධක පැමිණි සමයයි. ඊට හේතුව වූයේ නිගන්ඨයන්ගේ අකාරුණික ක්‍රියා පිළිවෙතයි. දන්තධාතූන් වහන්සේට පුද සත්කාර කිරීමට නොයිවසූ නිගණ්ඨයන් හට මහජනයා විසින් දන්තධාතූන් වහන්සේට උදෙසා පවත්වන පුද පූජා දරාගත නොහැකිවිය.

ශ්‍රී දළදාව වැඩහුන් දන්තපුර

කාලිංගය පුරා කොඩි වැල් දමා සරසා තිබිණ. එහිදී නර්තනාංග මෙන්ම සුවඳවිලවුන් පිරවූ බඳුන් ද රැගත් බැතිමතුන් මහත් හරසරින් වන්දනාමාන කරනු පෙනිණ. රජු මේ පිළිබඳව තම අමාත්‍යවරුන්ගෙන් විමසූ විට ඔහු බුදුරදුන්ගේ ගුණ ඉදිරිපත් කළේය. ගෞතම බුදුරදුන්ගේ දහම පිළිබඳ අවබෝධයක් ලබා මිත්‍යා දෘෂ්ටික බවින් මිදුණු අතර බුදුදහම කෙරෙහි වූ ගෞරවය මත යළිත් දන්තධාතූන් වහන්සේට පුදසත්කාර කිරීමට ඉදිරිපත් විය. ඉන් නිගණ්ඨයන් දැඩි ලෙස කෝප වූ අතර පාඨලීපුත්ත අගනගරය සිටි ප්‍රධාන රජු පාණ්ඩු වෙත මෙය දැන්වීය.

“ඔබේ අසල්වැසියා වන ගුහසීව රජු උත්තරීතර දෙවිවරුන්ට අපහාස කරමින් මියගිය අයෙකුගේ ඇට කටු වන්දනා කරනු ලබයි. මේ සඳහා සුදුසු පියවරක් ගන්න” දරාගත නොහැකිවිය. (දා. වං 2/81,96 )

මෙය ඇසූ පණ්ඩු රජු තම යුව රජෙක් වූ චෛතන්‍ය හට මේ පිළිබඳව ගවේෂණ්‍ය කිරීමට අණ කරන ලදී. ඒ අනුව චෛතන්‍ය යුධ සේනාවක් ද පිරිවරා කාලිංගයේ දන්තපුරවරය වෙත පැමිණියේ කාලිංග රජු ඔහුගේ පැමිණීම අසා ඔහු හරසරින් පිළිගනු ලැබූ අතර අලි ඇතුන් පවා ත්‍යාග ලෙස ලබා දෙනු ලැබීය. චෛතන්‍ය රජු රාජධානියට ඇතුල්වත්ම දුටුවේ බිත්ති කුලුනු මෙන්ම මාළිගාව අලංකාරව සරසා ඇති ආකාරයයි. විශේෂයෙන්ම දාන ශාලා දැකීම තුළ ඔහු මවිතයට පත් විය. ඔහු සියල්ල නරඹා පණ්ඩු රජුගේ පණිවුඩය ගුහසීව රජුට දැනුම් දුන්නේය. ගුහසීව රජු මෙලෙස පුද පූජා කිරීමට ඔහු කුමක්දැයි විමසා සිටින විට ගුහසීව රජු විසින් ගෞතම මුණිඳුන් පෙර ආත්මභාවයන් හි සිට පෙරුම් පිරූ ආකාරය, සිදු කරන ලද පරිත්‍යාග, කැපවීම ආදිය සියලු විස්තර චෛතන්‍ය රජු වෙත පැහැදිලි කළේය. බුදුරජාණන් වහන්සේ මිනිසුන්ගේත් දෙවියන්ගේත් මුළුමහත් විශ්වයේත් වන්දමානයට පාත්‍රවන බව පෙන්වා දුන්නේය. බොහෝ අනෙක් සියලු ආගම් මගින් මිනිසුන් රවටා දමන බවත්, බුදුසමය එසේ නොවන බවත් ඔහු පෙන්වා දුන්නේය. මෙය අසා සිටි චෛතන්‍ය රජුගේ දෙනෙත් තෙත්වනු ඔහු දුටුවේය. (දා. වං 2/108)

ශ්‍රී දළදාව වැඩහුන් දන්තපුර

මින් පසු ඔහු දන්තධාතූන් වහන්සේ දැක බලා ගැනීමට නික්මුණේය. ඔහු දුටුවේ කොරල්වලින් හා මරකත මැණික්වලින් සරසන ලද කුටියක ඝණ්ඨාර නාද සහිතව රත්‍රන් මාලාවලින් පිරවූ කොතක් සහිත ගර්භයක් මත වූ ආසනය දන්තධාතූන් වහන්සේ වඩමවා තිබෙන ආකාරයයි. මේ මොහොතේ කාලිංග රජු දකුණු දණ බිම ඔබා දන්තධාතූන් වහන්සේට ආචාර කරනු ලැබිණ. ඒ මොහොතේ මහා බ්‍රහ්මයා ඇතුළු පිරිසක් සාධුකාර දුන් බවත්, විශ්වකර්ම විසින් මැණිකක් තුළින් යමාමහ පෙළහර ප්‍රදර්ශනය කළ බවත්, දාඨාවංශයේ දැක්වේ. මෙමඟින් බුදුදහම පිළිබඳ මහත් පැහැදීමට ලක් වූ චෛතන්‍ය රජු ඇතුළු පිරිවර දන්තධාතූන් වහන්සේට වැඳ නමස්කාර කරන ලදී. නමුත් ඔහු පවසා සිටියේ පාණ්ඩු රජුගේ අණ අනුව මෙම දන්තධාතූන් වහන්සේ රැගෙන යා යුතු බවයි. ඊට එකඟ වූ කාලිංග රජු විශාල මුතු කුඩයක් සහිත වූ අශ්ව රථයක දන්තධාතූන් වහන්සේ වඩමවා පාණ්ඩු රජු වෙත ගෙන යන ලදී. මේ අවස්ථාවේදී නිගණ්ඨයන්ගේ අණ අනුව පළමුව දන්තධාතූන් වහන්සේ ගිනි අඟුරු සහිත කෝවක දමා පිළිස්සීමට කටයුතු කරන ලදී. නමුත් මහා ගිනි මැදින් රථ රෝදයක පමණ විශාල නෙළුමක් මතු වී එහි රේණු මත දන්තධාතූන් වහන්සේ රැඳී තිබිණ. එහි කිරණ දසත විහිදිණ. (දා. වං 3/14)

මේ සියල්ල රජුගේ මිත්‍යා දෘෂ්ටිකබවෙන් මිදීමට ප්‍රමාණවත් නොවීය. ඒ නිසාම ඔවුන් දන්තධාතූන් වහන්සේ විනාශ කිරීමට තැත් කළ අතර ඒ සියලු උත්සාහයන් අසාර්ථක විය.

ඉන් පසු අනාථපිණ්ඩික සිටුතුමන්ගේ ඥාති පුත්‍රයකු පැමිණ බුදුරදුන් පිළිබඳව විස්තර කරන්නට වූයේ අතීත ජාතක කතාවන්හි බුදුරදුන් තම ජීවිතය ලෝක සත්ත්වයා කෙරෙහි කැප කළ ආකාරය පිළිබඳවයි. එහිදී විදුර ජාතකය, වෙස්සන්තර ජාතකය, තිත්තිර ජාතකය ආදී ජාතක කතා රාශියක් ඔහු රංගනාත්මකව විස්තර කළේය. ඔහුගේ විස්තරය සමග අත්, අස් ඇතුළු මහා සේනා ප්‍රීති ඝෝෂා කරන්නට විය. පරිසරය ප්‍රභාමත්විය. මල් පිපී සුවඳ පැතිරෙන්නට විය. මේ සියල්ලට සවන් දුන් පාණ්ඩු රජතුමා බුදුරදුන් පිළිබඳව සහ එතුමන්ගේ දහම පිළිබඳව අතිශයින් පැහැදීමට පත්ව මිත්‍යාදෘෂ්ටික බවෙන් මිදී මෙම උතුම් දහම වැළඳගත යුතු බවට තම වැසියන්ට ද දැනුම් දුන්නේ ය. ඔහු හිස මුදුනත දන්තධාතූන් වහන්සේ තබා ගුහසීව රජු වෙත යළිත් භාර දෙන ලදී. පාණ්ඩු රජතුමා බොහෝ වස්තූන් දළදා වහන්සේ වෙත පූජා කරන ලදී. ගුහසීව රජු මහත් අභිමානයේ කාලිංගයට දන්තධාතූන් වහන්සේ රැගෙන විත් යළිත් පුද පූජා පවත්වන ලදී.

ශ්‍රී දළදාව වැඩහුන් දන්තපුර
ශ්‍රී දළදාව වැඩහුන් දන්තපුර

මේ අතරතුර පාණ්ඩු රජු සමග චීරධාරා නම් අතිශය බලගතු හා මහා සේනා සම්පන්න රජෙකු සටහට එළැඹියේය. එහිදී පාණ්ඩු රජු විසින් ඔහු මරණයට පත් කර පරාජය කළ ද චීරධාරා පුතුන් මගය රටට ගොස් සේනාව රැස් කර යළි යුද්ධ ප්‍රකාශ කරන්නට විය. එහිදී කාලිංගයට ද ඔහු තර්ජනයක් වූ අතර දන්තධාතූන් වහන්සේ තමන් නතු කර ගැනීමට ඔවුන්ගේ අරමුණ විය. (දා. වං 4/13,14)

කෙසේ නමුදු ඒ මොහොතේ ගුහසීව රජු තම දියණිය වූ හේමමාලා කුමරිය සරණ පාවා ගැනීමට කැමැත්තෙන් සිටි උදේනි රජුගේ පුත් දන්ත කුමරු කැඳවා විවාහය සිදු කොට දන්තධාතූන් වහන්සේ සිහල රටට ගෙන යන ලෙස ඉල්ලා සිටියේය. එහි රජ වන මහාසේන රජු දැඩි බෞද්ධ මතධාරියෙක් බව ඔහු තම බෑනණුවන්ට ප්‍රකාශ කර සිටියේ. ඔහු සිහල රජු ගැන පැවසුවේ මෙසේය.

“සිංහලෙහි ඔබේ හෝ මගේ ඥාතියෙකු නොවුණ ද බුදුරදුන් සරණ ගිය බැතිමතුන්ගෙන් පිරී පවතී. මුහුදේ අනෙක් කෙළවරෙහි වූ මේ පුංචි දූපත අසංඛ්‍යාර්ත රහතන් වහන්සේලාගෙන් ද පිරී ඇත. මහසෙන් රජු දන්තධාතූන් වහන්සේ ස්පර්ශ වූ ජලය පවා මහත් සතුටින් ගෞරවයෙන් පිළිගනු ලබයි. එබැවින් දන්තධාතූන් වහන්සේට ආරක්ෂිතම රට වන්නේ සිහල රටයි.”

(දා. වං 4/20,21)

මෙලෙස ලක්දිවට හේමමාලා කුමරිය හා දන්ත කුමරු දන්තධාතූන් වහන්සේ රැගෙන එන අතරතුර ප්‍රධාන අනතුරු දෙකකට මුහුණ දෙනු ලැබීය. පළමු අනතුර වූයේ දන්ත කුමරු වැලි තුළ සඟවන ලද දන්තධාතූන් වහන්සේ නාග රජෙකු විසින් ගිල දමා මහාමේරු පර්වතය අසල වැටී සිටිනු දැකීමයි. මේ අවස්ථාවේදී සෘදිබල සහිත ස්වාමීන් වහන්සේ නමක් යළි දන්තධාතූන් වහන්සේ ලබා ගැනීමට කටයුතු කළ සේක.

දෙවන අනතුර වූයේ ලංකාවට පැමිණි නෞකාව කුණාටුවකට හසුවී ගිළෙමින් පැවතුණ මෙහොතේ යළිත් සෘදිබල සහිත රහතන් වහන්සේ විසින් ඔවුන්ව බේරා ගෙන දන්තධාතූන් වහන්සේව ආරක්ෂිතව මහසෙන් රජ මාළිගය වෙත පිටත් කර හැරීමයි. මේ අවස්ථාව වන විට මහසෙන් රජුගේ පුතු වූ කීර්ති ශ්‍රී මේඝවර්ණ කුමාරයා හෙවත් කිත්සිරිමෙවන් රජු රාජ්‍ය භාරගෙන තිබිණ. එතුමන් විසින් දන්තධාතූන් වහන්සේ භාර ගන්නා ලදී.

නූතන දන්තපුර විහාරය එලෙසම අද නොපැවතුණ ද අමරාවතියේ මහා විහාරය අදටත් සෞභාග්‍යමත් සමයේ නටඹුන් රඳවා සිටී. මෙම ඡායාරූපවල දක්නට ලැබෙන්නේ අතීතයේ මේ විහාරය තිබූ අයුරුයි. එහි කොත හා ගර්භය විනාශ වූ පසු ඒ තුළ තැන්පත් කරනු ලැබූ සියලු සර්වඥ ධාතූන් වහන්සේලා ඉන්දියා පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව මඟින් අමරාවතී මහා ස්ථූප කෞතුකාගාරය වෙත ලබා දී තිබේ. නමුත් අදටත් මෙම ස්ථූප වටා වූ ගල්කැටයම්වල දන්තධාතූන් වහන්සේ මෙම ස්ථානයට රැගෙන ආ සැටි මෙන්ම හේමමාලා හා දන්ත කුමරු සමගින් ලංකාවට පිටත් කිරීමත්, අතරමඟ දී පංච පෙණ නාග රජු විසින් දන්තධාතූන් වහන්සේ මහාමේරුවට ගෙන ගිය ආකාරයත්, යළිත් දන්තධාතූන් වහන්සේ බේරා ගෙන ලංකාවේ මහසෙන් රජුගේ පුතු වන කිත්සිරිමෙවන් රජුට භාර දුන් ආකාරයත් කැටයම් මගින් විස්තර කරයි.

එමෙන්ම මහා විහාර ස්ථූපයේ ගල් කැටයම් අතර ඛේමා බිසව දන්තධාතුව ලබා ගැනීමේ සිට ගුහසීව රජු දක්වා ඉතිහාසයත් දන්තධාතූන් වහන්සේට පුද සත්කාර කළ ආකාරයත්, දන්තධාතූන් වහන්සේ විනාශ කිරීමට කළ ක්‍රියාදාමයත් කැටයම් මඟින් පෙන්වා දී තිබේ.

මෙහි සුවිශේෂීම දෙය වන්නේ කපිලවස්තුපුර චේතිය ලෙස හැඳින්වෙන චෛත්‍ය, මෙම මහා ස්ථූපයේ අනුරුව ලංකාවේ මහනුවර දළදා මාළිගයේ ඇති අනුරුවට බෙහෙවින් සමාන වීමයි. එමෙන්ම මහා චේතියෙන් වෙන්කළ සර්වඥධාතූන් වහන්සේලා සහිත පුරාවස්තූන් කිසිදු පූජාවකට ලක්නොවෙමින් අඳුරු කුටි තුළ අනාරක්ෂිතව රඳවා තිබීමයි. කෙසේ හෝ මේ පිළිබඳ විද්වත් පර්යේෂණයක් කරන්නේ නම් දන්පූර්හි මෙන්ම අමරාවතීහි පවතින මෙම උතුම් සර්වඥධාතූන් වහන්සේලාට සුදුසු වැඳුම් පිඳුම් සිදු කිරීමට සියලු ලෝකවාසී බෞද්ධ ජනයාට ඉඩ ලැබෙනු ඇත.

ශ්‍රී දළදාව වැඩහුන් දන්තපුර

සටහන හා ඡායාරූප
මහාචාර්ය නිමාලි තක්ෂිලා විතානගේ

අන්ද්‍රා විශ්වවිද්‍යාලය, ඉන්දියාව


advertistmentadvertistment