ආධ්‍යාත්මික ගැඹුරු බයෝ තාක්‍ෂණයෙන් හේතුඵල ධර්මය දුටු ගෞතම බුදුන් වහන්සේ

98

2024 මැයි 23 දිනට වෙසක් පුන් පෝ දිනය උදා වෙයි. ඒ 2568 වැනි වෙසක් පුන් පොහොයයි.

අද අපි විස්මිත ලෞකික බයෝ තාක්ෂණයෙන් උපන් විද්‍යාත්මක ලෝකෙක ජීවත් වන්නෙමු. මෙම බයෝ තාක්ෂණය යනු, මිනිසාගේ ලෞකික දියුණුව පිණිස බලපාන ගැඹුරු විෂයකි. කොටින්ම කියනවා නම් මිනිස් ඇසට නොපෙනෙන, නොඇසෙන, නොදැනෙන විශ්ව පරමාණුක බල හඳුනාගෙන මිනිස් ප්‍රඥාවෙන් ඒවා එකලස් කර මිනිස් ජීවිතයට අත්‍යවශ්‍ය දේවල් නිපදවීමයි. අද පරිගණකයේ පටන් ඩිජිටල් විද්‍යාත්මක ලෝකයත් අධ්‍යාපන, සෞඛ්‍ය, සන්නිවේදන, මුදල් ආදී සෑම පැතිකඩම සාමාන්‍ය ජන ජීවිතයේ පටන් විද්‍යාඥයා දක්වා අද ඩිජිටල් තාක්ෂණික ලෝකයක් බිහි වී ඇත. එය හොඳටත් නරකටත් දෙකටම ක්‍රියාත්මක වෙමින් පවතී.

බයෝ තාක්‍ෂණය යනු, යම් කෙනෙක්ට විශ්වාස කරන්න බැරි මේ විශ්ව පරමාණුක ශක්ති හඳුනා ගැනීමයි. තුරුලතාවලත් වාතයේත් පවතින නොපෙනන දේවල් රසායනික වශයෙන් හඳුනා ගැනීම පමණක් නොව ඒවා විවිධ පර්යේෂණවලට ලක්කරමින් මනුෂ්‍යයාගේ යහපතට විවිධ දේ නිපදවීමයි. මෙය ලෞකික බයෝ තාක්ෂණයයි. එය ඩිජිටල් ලෝකයක් බවට පරිවර්තන කර තිබේ. මෙසේ මේ විශ්වය තුළ ඇති විවිධ ගුණාංග හඳුනා ගැනීම හා ඒවායින් වැඩ ගැනීම ලෞකික බයෝ තාක්ෂණයයි.

නමුත් සම්මා සම්බුදුවරයෙක් තුළ පවතින විස්මිත ප්‍රඥාවෙන් උපදින බයෝ තාක්‍ෂණයයි. උන්වහන්සේ මේ විශ්ව පරමාණුක බල නොව මිනිස් සිත් තුළින් විශ්වය සැකසෙන ස්වභාවය හෙවත් සිතුවිලි රටා එක් වීමෙන් සැකසෙන හේතුඵල ධර්මය හෙවත් පටිච්ච සමුප්පාදය දර්ශනය බිහි කළ සේක. සිග්මන් ප්‍රොයිඩ් මිනිස් මනස ගැන කියා දෙන තත්ත්වයට වඩා බුදුන් වහන්සේ සත්‍යාවබෝධ කළ සේක. මිනිස් සිත උන්වහන්සේ දකින්නේ විශ්වයක් ලෙසයි. මේ භෞතික ලෝකය බිහිවන්නේ මිනිස් සිතෙනි. එනිසාම මිනිස් සිතත් විශ්වයක් ලෙස අවබෝධ කළ සේක.

අද අපි අත්විඳින මේ ඩිජිටල් ලෝකය විද්‍යාත්මකව තැනී ඇත්තේ මිනිස් සිතෙනි. අපි මේ සත්‍යතාව අත්දකින්නෙමු. නමුත් බුදුන් වහන්සේ සෙවූ ඒ ආධ්‍යාත්මික බයෝ තාක්ෂණය තුළින් හඳුන්වා දුන් හේතුඵල දහම හෙවත් පටිච්ච සමුප්පාද ඤාණ දර්ශනය කෙරෙහි නූතන මිනිසාගේ දැනුම් පරාසය එතරම් යොමු නොවන බවක් පෙනේ. මිනිස් සිත අනුවම මිනිසා සතු ජීවිතය අනාගතය කරා ඇදී යන අයුරු එයින් පෙන්වා තිබේ. එය පැහැදිලිව කියනවා නම් අද මිනිසකු ලෙස ජීවත් වන කෙනා මියගිය පසුත් නැවත මිනිසකු ලෙසම උපදින්නට හෝ අධික දුක් ඇති සතර අපාගාමියකු සේ උපදින්නට තමා විසින් සිත තුළ වර්ධනය කර ගත් හේතු බලපාන අයුරු උන්වහන්සේ දුටු සේක.

විශේෂයෙන් මිනිසකු වීමට නම් හේතුඵල ධර්මය හෙවත් මේ පටිච්ච සමුප්පදාය මිනිසාට අවබෝධ වී තිබිය යුතුය. මියගොස් නැවත මිනිසකු වී ඉපදීම ඉතා දුෂ්කර දෙයකි. දානය, සීලය, භාවනාව ආදී හේතු ඒ සඳහා අවශ්‍ය වේ. නමුත් ලෞකික බයෝ තාක්ෂණයට ඇලී සිටින මිනිසා තමන් මරණින් පසු තමන්ට කුමක් වෙනවා දැයි දැනගන්නට වුවමනාවක්, කැමැත්තක් නැත. මේ වර්තමානයේ මිනිසාට ඇති ප්‍රධානතම අවාසනාව එයයි. කල්ප ගණන් දුක්විඳින සතර අපා උත්පත්තියක් නොලබා අවම වශයෙන් මිනිසකු ලෙසවත් නැවත ජීවත් වීමට බුදුන්වහන්සේ දුටු ආධ්‍යාත්මික බයෝ තාක්ෂණයෙන් පෙන්වා දුන් හේතුඵල ධර්මය අවබෝධ කර ඒ අනුව කටයුතු කර ගත යුතුය. විශ්වයේ පවතින ඒකාන්ත ඇත්ත “දුක” කියා උන්වහන්සේ වදාළ සේක. මිනිසා සැපකියා තාවකාලික ආස්වාදවලට රැවටෙන බව ද වදාළ සේක.

ඒ ඒ පරමාණුක බලයන් එක්වූ පසු පරමාණුක බෝම්බයක් සෑදේ. තවත් අතකින් පරමාණු සමඟ ඒ ඒ පරමාණුක එක්වූ පසු ඩිජිටල් තාක්ෂණය යටතේ තවත් මිනිසාට අහිතකර හෝ හිතකර දෙයක් නිපද විය හැක. මේ තමයි ලෞකික බයෝ තාක්ෂණය. නමුත් බුදුන් වහන්සේ හඳුනාගත් ආධ්‍යාත්මික බයෝ තාක්ෂණය තුළ ඇත්තේ මිනිස් සිතක ඇති නොදැනෙන විස්මිත ක්‍රියාකාරීත්වයයි. විශේෂයෙන් මේ ක්‍රියාකාරීත්වය සකස් වන්නේ සිතුවිලි, වචන හා ක්‍රියාවන් තුළිනි.

ඇතැම් මිනිසුන්, මිනිසුන් ලෙස යළි ඉපදීමට මුල් වන්නේ පෙර ආත්මයේ සිතුවිලි, වචන, ක්‍රියා කිරීම ආදියෙන් උපදවා ගත් හේතුන් අනුවය. ඒ හේතු වඩාත් බරපතළ වූයේ නම් ඔහුට මිනිස් ආත්මය නොලැබී ප්‍රේත, තිරිසන් අසුර නිරය යන තැනක උපදී. හේතු ඵල ධර්මය යනු එයයි. බොහෝ අයට එවැනි අසුබ තැනක ඉපදිය හැකි හේතු සැකසී නැතිනම් ඔහු මනුෂ්‍ය ආත්මය ලබයි. නමුත් නරක තැනක ඉපදෙන තත්ත්වය නැතත් ඔහුට සකස් වී ඇති හේතු අසුබ දායකයි (එනම් අකුසල්ය). එවිට ඔහු ලැබූ මිනිස් ආත්මයේ ජීවත් වනවිට ඒ අසුබ හේතුවලට ඵලය ලෙස ප්‍රශ්න, කරදර, කායික මානසික පීඩා, කැමැති දේවල් නොලැබණ දුක්, සිතුම් පැතුම් හරියාකාරව ඉටු නොවීම් වැනි දේවල්වලට ජීවිතයේ නිතර මුහුණ පෑමට සිදුවේ. එය ද හේතුඵල ධර්මය වෙයි.

උන්වහන්සේ මේ මිනිස් සිත තුළින් හඳුනාගත් හේතු ඵල දහම හෙවත් පටිච්ච සමුප්පාදය නම් වූ ආධ්‍යාත්මික බයෝ තාක්ෂණය අද මිනිසා නොපිළිගත් නූතන මිනිසා එවැන්නක් ගැන නොසිතයි. අද අපි ප්‍රවෘත්ති අසන විට බොහෝ විට දකින්න ඇත්තේ මත්ද්‍රව්‍ය සම්බන්ධ දේවල්, වැරදි කාමසේවන හා ප්‍රාණඝාත ආදියයි. එසේම සොරකම් ආදියයි. එලෙසින්ම ලක්ෂ ගණන් මිනිසුන්ට අයිති දේවල් සොරා කෑම, ලක්ෂ ගණන් මිනිසුන්ට වංචාකිරීම් ගසා කෑම් ආදී දේවල්. ඒ අය අනාගතයට විඳීමට දරුණු දුක් හදාගන්නා හේතූන් බව පෙනේ.

ඒ නිසා ස්ථිරවම අනාගතේ සතර අපායවලට පිරිස වැඩි වේ. මිනිස් සිතක උපදින ඒ දේවල් හේතු බවට පත්වෙයි. මේ හේතුඵල දහමට නැති නම් පටිච්ච සමුප්පාදයට අනුව මේ මිනිස් ලොව තුළ වසර 70ක 90ක කාලය තුළ තමන් එකතු කරන ඒ හේතුන්ගෙන් ලැබෙන ඵලය වර්ෂ කෝටි ගණන් විඳින්නට සිදුවේ. හේතුව හා ඵලය වන්නේ මෙයයි. මේ තත්ත්වයත් විශ්වයේ න්‍යාම ධර්මයත් සේමය. එනම් වී ඇටය පැළවීමෙන් හැදෙන්නේ ගොයම් ගසක් මිස මුං ගසක්වත් කවුපි ගසක්වත් නොවේ. මුං ඇටය පැළවීමෙන් මුං ගසක් මිස ගොයම් හෝ කව්පි ගසක් පැළ නොවේ. හේතු ඵල ධර්මය ද ඒ න්‍යාය තුළම පවතින ධර්මතාවයකි. තමන් සිත තුළ සිටුවන්නේ අයහපත් දේ නම් දුක් විඳීම යන ඵලය ලැබේ. යහපත් දේවල් නම් සැප විඳීම යන ඵලය ලැබේ.

මේ සිදුවීම් ගෞතම බුදුන් වහන්සේ මිනිස් සිතක ඇති විස්මිත ගුණාංග හඳුනාගෙන ඒවායේ ක්‍රියාකාරිත්වය පරීක්‍ෂා කළේ උන්වහන්සේගේ සිතම විද්‍යාගාරයක් බවට පත් කරගෙනය. “චක්ඛං උදපාදි – ආලෝකෝ උදපාදි” යන බුද්ධ වචනවලින් දක්වන්නේ එයයි. අපි නූතන ව්‍යවහාරය අනුව උන්වහන්සේ ආධ්‍යාත්මික බයෝ තාක්ෂණය බිහි කළා යැයි කීම නිවැරදිය.

මිනිස් ලෝකය සුගති ලෝකයකි. ප්‍රේත ලෝකය අගති ලෝකයකි. සුගති යනු, සැප ඇති ලොවක් යන්නය. සිතින් සිදුවන සුළු සුළු වැරදිවලට මෙලෙස ජීවත් වීමේදී ප්‍රශ්න කරදර අවුල් වියවුල් හේතුඵල ධර්මය ලෙස අපට ක්‍රියාත්මක වුවත් අපට ප්‍රේතයකුගේ හේතුඵල සකස් නොවේ. ප්‍රේතයා අධික දුර්ගන්ධිතය. කුසගින්නට, පිපාසයට කෑමක් බීමක් නැත. පොතක් පතක්, පත්තරයක් කියවිය නොහැක. යහපත් හේතු සකසාගත නොහැක. මනුෂ්‍යයා තනාගත් ලෞකික විද්‍යාත්මක ලෝකයක ඵල භුක්ති විඳිය නොහැක. නමුත් මනුෂ්‍යයාගේ පෙර හේතුවලට ප්‍රශ්න කරදර, අවුල් වියවුල් ඵල වශයෙන් විඳින්නට ලැබුණත් ඔහු දුකකට පත්වන්නේ නැත. රස මසවුලින් ආහාර පාන ලබමින් සැපසේ ජීවත් වෙමින් මුහුණ දෙන ප්‍රශ්න කරදර, අවුල් වියවුල් විසඳා ගනිමින් සුවසේ ජීවත් වේ. ඒ සුගති සැප මිනිස් භාවයට හේතු වන දේවල්ය.

නමුත් මනුෂ්‍යයාට මේ සුගති ලොවක් බව නොවැටහේ. මනුෂ්‍යයාට අනාගතයක් නොදැනේ. අනාගතය ලෙස සිතෙන්නේ මරණය තෙක් කාලය පිළිබඳවයි. ඒ සඳහා කටයුතු කර ගැනීමට පමණක් මනුෂ්‍යයා යුහුසුලුව ක්‍රියාත්මක වේ. නමුත් බුදුන් වහන්සේ අනාගතය ලෙස හඳුන්වා ඇත්තේ, ගණන් කරන්න බැරි තරම් ඉදිරියට මැරි මැරී උපදින අනවරාග්‍ර වූ කාලයකටය. ඒ කාලය තුළ මනුෂ්‍යයාට සැප විඳීමට හෝ දුක් විඳීමට සැලසෙන්නේ තමන් කරන ලද යහපත් හෝ අයහපත් ක්‍රියා හේතුඵල දහම හෙවත් පටිච්ච සමුප්පාද දර්ශනය අනුවය.

යමෙක් ප්‍රාණාගාත කරන්නේ ද විශේෂයෙන් බොහෝ දෙනකුට අයිති දේවල් තම විහරණය පිණිස සොරකම් කරන්නේ ද ඔවුන් තනාගන්නා හේතුඵල ධර්මය බිහිසුණුය. වී ඇටයෙන් ගොයම් ගසක් පමණක්ම ලැබෙන්නා සේ ඔවුන්ට ලැබෙන ප්‍රතිවිපාකය බිහිසුණුය. කුමන තරාතිරමක වැදගත් යැයි ලෞකික වශයෙන් සලකන එම පුද්ගලයා වසර 70ක් 90ක් වන ආයු කාලය එලෙස මෙලොව ජීවිතය ගෙව්වත් සිය මරණය උත්කර්ෂවත් ලෙස පැවැත්තුවත් ඒකාන්ත වශයෙන් ඔහු උපදින්නේ ප්‍රේත, තිරිසන්, අසුර, නිරය යන අතිබිහිසුණු දුක්විඳීමට සිදුවන ස්ථානයකමය.

විස්මිත ආධ්‍යාත්මික බයෝ තාක්ෂණයෙන් (විස්මිත ප්‍රඥාවකින්) මේ හේතුඵල ධර්මය වූ පටිච්ච සමුප්පාදය නම් බුද්ධ ඥාන දර්ශනය දෙවියන්, බඹුන්, මිනිසුන් සහිත ලෝකයාට දුන් ඒ ගෞතම බුදුන් වහන්සේ ඉපදීම, බුද්ධත්වය ලැබීම, පිරිනිවීම යන තෙමඟුල සිදුවී මැයි මස 23 වැනිදාට වසර 2568කි. අප අනවරාග්‍ර අනාගතය යහපත් කරගන්න මේ හේතුඵල දහම මේ අවස්ථාවේ අවබෝධ කර ගැනීම අපි උන්වහන්සේට කරන තුන් ලෝකයටම බලපාන උතුම්ම පූජාවක් වන්නේය.

අගලවත්ත බී හේරත්
කල්‍යාණ මිත්‍ර සංසදය

advertistmentadvertistment
advertistmentadvertistment