ලොවට ශාන්තිය සැලසූ මහා ශාස්තෘවරයාණෝ

113

බුදු වී නොබෝ කාලකින් බුදුරජාණන් වහන්සේ ඉසිපතන මිගදායෙහිදී පස්වග තවුසන්ට ප්‍රථම ධර්ම දේශනාව පැවැත්වූහ. ඒ ධර්ම දේශනාව වූයේ ධම්මචක්කපවත්තන සූත්‍රයයි. මුල්ම දේශනයේදී වයසින් වැඩිමහලු වූ කොණ්ඩඤ්ඤ තවුසා සෝවාන් වූ හෙයින් බුදුරජාණන් වහන්සේගේ ප්‍රයත්නය අතිශයෙන්ම සාර්ථක වූහ. අනන්තලක්ඛන සූත්‍රය දේශනා කිරීමෙන් අනතුරුව වප්ප, භද්දිය, අස්සජි, මහානාම, කොණ්ඩඤ්ඤ යන පස්වග තවුසන් යථාර්ථාවබෝධය ලබා රහත් බවට පිළිපන් සේක. බුදු සසුනේ ආරම්භය ද එයම විය. ඊට අනතුරුව යසකුල පුත්‍රයා ඇතුළු සුපනසක් කුල පුත්‍රයන් සසුන්ගත වීම සසුන් කෙත දැවැන්ත දියුණුවකට යොමු වූ බවට සාධකයකි.

චිත්‍රය -හෙන් ධර්මසේන

ඉසිපතනයේ මිගදායෙහි පළමු වන වස් කාලය ගත කළ බුදු පියාණන් වහන්සේ එම තුන් මස ගතකරන ආකාරය පුහුණු කරන ලද රහතන් වහන්සේ සැට නමක් ධර්මදූත සේවයෙහි නිරත කර වූ ආකාරය බුදු සසුනේ වර්ධනයට ඉවහල් විය. එය අපූරු ඓතිහාසික සිද්ධියකි.

ලොවට ශාන්තිය සැලසූ මහා ශාස්තෘවරයාණෝ

“මහණෙනි, දෙව් මිනිසුන්ගේ හිත සුව පිණිස දහම් දෙසන්න. දෙනමක් එක මඟ නොවඩින්න. මුල, මැද සහ අග තුන් තැනම එකසේ සම්බන්ධය ඇති සරල දහමක් දෙසන්න. සියලු ආකාරයෙන් අර්ථ සම්පන්න වූ දහම් දෙසා මිනිසුන් යහමඟට යොමු කරන්න…”

බුදුරජාණන් වහන්සේගේ සසුන් සේවයේ ආරම්භය හා ව්‍යාප්තිය පිළිබඳව වැදගත්කමින් යුක්ත මෙම ඓතිහාසික සිද්ධිය මිනිස් සිත මානව දයාවෙන් විකසිත කරවනසුලුය. වැඩිකල් නොගොස් උගත්-නුගත්, කුලීන-කුලහීන, දුප්පත්-පොහොසත් ආදී විවිධ සමාජ කුලවලට අයත් ජනී ජනයා බුදු සසුනේ පිහිට සෙවූහ. මෙම දහම් සේවාව භාරතයෙහි කිසිදිනක නොවූ විරූ එකක් වීම එයට එක හේතුවක් විය. සමාන ලෙස සියලු පිරිස් සැලකෙන බුදු සසුන කෙරේ මිනිස් සිත ඇදී ආකාරය පුදුම සහගතය. ‘යම් සේ.. ගංගා, යමුනා, අචිරවතී, සැභූ, මහී…’ නදින් මහ මුහදට එක්වූ විට පුරාණ නම් අතහැර සුමුදුර යැයි සැලකේ ද එසේම රජ, බමුණු, වෙළෙඳ, ශුද්‍ර යන කුලවලින් අවුත් බුදු සසුනෙහි මහණ වූ විට ඒ පිරිස් පුරාණ වතගොත් අතහැර ශාක්‍ය පුත්‍රයෝ යැයි හැඳින්වෙති…’

මෙවැනි සමාජ සචලතාවක්, සමානාත්මතාවක් කිසිම ආගමක නොතිබුණු බව සිහි තබා ගත යුතුය. බුදු සමයේ පැතිරීමත් සමඟම බුදු දහම අවධාරණය කරන සාරධර්ම සමස්ත භාරතීය සමාජයේම පැතිරුණු බවට සාක්ෂි එමට තිබේ. බිම්බිසාර, කෝසල වැනි බෞද්ධ රජවරුන් අනේපිඬු වැනි සිටුවරුන්, විශාඛා වැනි උවැසියන් මෙන්ම බුදු සමය වැලඳගත්, අංගුලිමාල, ආලවක වැනි බුදු දහම නිසා

ගොඩනැඟුණු සංස්කෘතියේ ස්වභාවය කියාපාන කදිම සාක්ෂියකි. බුදු දහම ඇතැමෙක් ආගමක් ලෙසත් තවත් සමහරු දර්ශනයක් ලෙසත් සලකති. බුදු දහම තුළ දර්ශනයක තිබිය හැකි සියලුම ලක්ෂණ ඇති බව පිළිගත හැකිය. එය වාස්තවිකව දකින මඟක් ලෙස බුදුරජාණන් වහන්සේ විසින්ම අර්ථකථනය කොට තිබේ. ‘ඒහි පස්සිකො ඕපනයිකො පච්චතං වේදිතබ්බො විඤ්ඤුහීති…’ යන පොදු පාඨය එම අදහස මනාවට විවරණය කරයි. සිත ඉතා සියුම් ලෙස දියුණු කළ විට (භාවිත චින්තය) සිතට ලොව සියල්ල ස්වකීය දැනීම මාධ්‍ය කොට මනසින් දකිනතාක් මෙන් දැකිය හැකිය. මේ නිසා බුදු දහම උසස්ම ගණයේ දර්ශනයක් ලෙස හැඳින්වීම යුක්තය.

එසේම බුදු දහම ජීවන මාර්ගයක්, ජීවන දර්ශනයක් ලෙස ද සමහරු සලකති. බුදු රජාණන් වහන්සේම මෙසේ වදාරා තිබේ. ‘අයමේව එකොමර්‍ගගො සන්තානං විසුද්ධියා…’ මෙම ගැඹුරු දහම සත්ත්වයන්ගේ පාරිශුද්ධිය සඳහා ඇති එකම මඟ එකම පිළිවෙළ වේ. මේ අනුව බුදු දහම ලොව ඇති එකම විමුක්ති මාර්ගය, නිවන් මඟ,නිදහස්වීමේ පිළිවෙළ ලෙස හැඳින්විය හැකිය. මේ නිසා බුදු දහම ආගමක් ලෙස දර්ශනයක් ලෙස මෙන්ම මාර්ගයක් ලෙස ද දැකිය හැකි කරුණු එහි අන්තර් ගතව න`ිගමනය කළ හැකිය.

බුදුරජාණන් වහන්සේ ශ්‍රේෂ්ඨ නායකයකු ලෙස ලොවට මාර්ගෝපදේශ ලබාදුන් ශාස්තෘවරයන් වහන්සේ නමකි. නිවැරදි තීරණ ගන්නා බව, සුහදශීලි බව, ඉවසනසලු බව, අනුකම්පා සහගත බව, ශ්‍රාවකයන් ආරක්ෂා කරන බව, සුදුසු පරිදි වගකීම් පවරන බව, සමානාත්මතාවයෙන් යුතු බව, ආදර්ශවත් බව මෙන්ම යථාවාදී තථාකාරි බවින් ද යුක්ත විය. ප්‍රකාශ කරන්නේ යම් ලෙසකට ද, ක්‍රියා කරන්නේ එලෙසමය. සුපැහැදි ගුණාංග සේ වචනයක්, ක්‍රියාවක් යන දෙකම එකක් වීම මෙහි අදහසයි. සතර බ්‍රහ්ම විහරණ මුළු සත්ත්ව ප්‍රජාව වෙත පතුරුවාලීම බුදුරජාණන් වහන්සේගේ සිරිත විය. රූප, විලාසය, වදන විලාසය හා ඥාන විලාස යනුවෙන් අප අසම සම ශාස්තෘවරයන් වහන්සේ තුළ පැවති ගුණාංග තුනකි. උන්වහන්සේ දෙතිස් මහා පුරුෂ ලක්ෂණයන්ගෙන් අසුවක් අනු ලක්ෂණයන්ගෙන් සමන්විතය. සිත් ගන්නා වූ රූපශ්‍රීයකින් යුක්ත වූහ. උන්වහන්සේගේ රූපශ්‍රීයෙන් ශිෂ්‍යයෝ වශී වූහ.

වක්කලී වැනි ශිෂ්‍යයෝ උන්වහන්සේ දෙසම බලා සිටීමට පුරුදුව සිටියහ. බුදුරජාණන් වහන්සේ බඳු රූප ශෝබාවක් අන් අයට නොමැත. විශිෂ්ට රූප සම්පත් ඇති, දැකුම්කලු ප්‍රසාද ජනක, උතුම් වර්ණ සෞන්දර්යයෙන් සමන්විත උත්තම ශරීර ප්‍රභා ඇති සිය සිරුරෙහි දැක්මට නොමඳ වූ අවකාශ ඇති බැවින් යුක්ත බව බුදුරදුන් ජීවමාන කල සිටි සෝණ දණ්ඩ නම් බමුණා තම ශ්‍රාවක පිරිස අමතා ප්‍රකාශ කළේය. ඔහු තවදුරටත් බුදුරජාණන් වහන්සේගේ ඇගයීමට ලක්කරමින් ප්‍රකාශ කර සිටියේ ධනය අත්හැරීම කළ සිල්වත් බවින් යුක්ත, කාමාශා දුරු කළ, පරිවාර සම්පත් හැර පැවිදි වූ ශ්‍රේෂ්ඨ ශාස්තෘවරයකු බව ප්‍රකාශ කළේය. සකුළුදායී, චංකී ආදී සුප්‍රකට ශ්‍රමණ බ්‍රාහ්මණයෝ ද, උපාලි, අභයරාජ කුමාර වැනි ගිහි ජන ප්‍රධානීන් හා විද්වත්හු ද උන්වහන්සේගේ ගුණ මහිමය අගය කළහ.

පසුකාලීනව ලොව විසූ කීර්තිමත් පෙර අපරදිග විවිධ වියත්හු බුදුරජාණන් වහන්සේගේ චරිතය හදාරා ඒ උතුම් ගුණ නුවණ ඇගයුමට ලක් කළහ. ‘මිනිස් වර්ගයා අතරින් උපරිම සංඛ්‍යාවකින් පූජෝපහාර ලද එකම පුරුෂෝත්තමයා බුදුරජාණන් වහන්සේය’ යැයි අගය කළේ මහාචාර්ය සෝන්ඩර්ස් මැතිදුන්ය. ප්‍රථම ඉන්දියානු අගමැති ජවහර්ලාල් නේරුතුමා ‘බුදුරජාණන් වහන්සේ සනාතන දහම් පණිවිඩය දීප්තිමත් තරුවක් සේ බබළයි. නිවැරදිව සිතීමට හා ක්‍රියා කිරීමට හැකි පමණින් දිරිමත්ව කටයුතු කරමු’ යැයි පැවසීය. මෙබඳු උදාර ඇගයීම්වලට අමතරව බුදුරජාණන් වහන්සේට ශාස්තෘවරුන් අතර විශිෂ්ට ස්ථානයක් හිමි වීමට ප්‍රධාන හේතුවක් වූයේ උන්වහන්සේ විසින් සිතීමේ හා විමසීමේ නිදහස අගය කරනු ලැබීමයි. බුදු රජාණන් වහන්සේ නිදහස් චින්තනය හා විමංසනය අගය කළ අයුරු කාලාම සූත්‍රයෙන් පැහැදිලි වෙයි. එම සූත්‍රය බුද්ධත්වයෙන් තිස්පස් වැනි වර්ෂයේදී පමණ දේශනා කරන ලද්දකැයි සැලකේ. බුදු රජාණන් වහන්සේගේ උදාරත්වයෙන් බුද්ධ ධර්මයෙහි බුද්ධි ගෝචරභාවයක් දැක්වීමට බොහෝ සෙයින් උපකාර කරගත්තකි කාලාම සූත්‍රය. එබඳු දහමක් දේශනා කළ බුදුරජාණන් වහන්සේට දක්වන උසස්ම උපහාරය, බුද්ධිමත්ව සිතා බලා කුසල් අකුසල් වෙන් කර ගැනීම හා අකුසලයෙන් වැළකී කුසල් වැඩීම අප විසින් කළ යුතු වන්නේය. බුදු ගුණ, බුදු නුවණ දැන දැක ශ්‍රද්ධාව උපදවා ගත යුතුය. බුද්ධානුස්සතිය වැඩිදියුණු කළ යුතුය.

ආචාර්ය ශාස්ත්‍රපති පූජ්‍ය බෝදාගම සීලවිමල හිමි

advertistmentadvertistment
advertistmentadvertistment