විපක්ෂය රටේ වැඩ කරන විකල්ප ආණ්ඩුව බවට පත් කළා

44

උපන් දිනයදා සක්වල 66 වැනි අදියරට එක් වෙමින් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස කියයි
හොරු හොරා කෑ මුදල් ලබාගෙන අධ්‍යාපනය සහ සෞඛ්‍යය නගා සිටුවීමට කටයුතු කරනවා

මේ රට බංකොලොත් කළ හොරු නීතිය හමුවට ගෙනවිත් ඔවුන් හොරා කෑ මුදල් රටට ලබා ගෙන එම මුදල් අධ්‍යාපනය සහ සෞඛ්‍යය නගාසිටුවීමට සමගි ජන බලවේග රජයක් තුළ කටයුතු කරන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

විපක්ෂ නායකවරයා මේ බව කියා සිටියේ සක්වල වැඩසටහනේ 66 වැනි අදියර යටතේ ඉකුත් 12දා කොලොන්නාව සෝමාදේවි බාලිකා විද්‍යාලයට රුපියල් ලක්ෂ 10ක් වටිනා සුහුරු පන්ති කාමර උපකරණ ලබාදීමේ අවස්ථාවට එක්වෙමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මෙසේද පැවසීය.

අද මාගේ උපන් දිනය යෙදී තිබුණත් සාද නොදමා සක්වල වැනි වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට අපේක්ෂා කළේ එය තුළින් රටේ දරුවන්ට යහපතක් වන නිසාය. බංකොලොත් රටේත් ජනතාවගේ මුදල් වියදම් කර සාද දමන්නේ නම් එය සාපයක් සහ විකෘති මනසක් ඇති පාලනයක ලක්ෂණයකි.

දළ දේශීය නිෂ්පාදිතයෙන් අධ්‍යාපනය සඳහා වෙන් කරන මුදල වැඩි කරන ලෙස ඉල්ලා පසුගිය කාලයේ පාගමන් පැමිණියා. එය තුරුම්පුවක් ලෙස ගෙන මැතිවරණ ජයගැනීම ආණ්ඩු බිහිවීම සිදුවුවත් එවැනි වැඩි කිරීමක් සිදු වුනේ නැහැ. එයට හේතුව රජයේ මුදල්වලින් පමණක් අධ්‍යාපනය ගොඩගත නොහැකි වීමයි.

75 වසරක ඉතිහාසය තුළ සිදුවූයේ බදු ආදායම උපයෝගී කර ගෙන සංවර්ධන කටයුතු සිදුකිරීම පමණයි. විපක්ෂයේ සිට කිසිදු වැඩ කොටසක් සිදු වුනේ නැහැ. මේ ක්‍රමය සමගි ජන බලවේගය වෙනස් කර තිබේ. ඒ අනුව රටේ වැඩ කරන විකල්ප ආණ්ඩුව බවට සමගි ජන බලවේගය පත්ව ඇත. එබැවින් සමගි ජන බලවේග රජයක් තුළ මේ රට බංකොලොත් කළ හොරුන් නීතිය හමුවට ගෙනවිත් විනිවිදභාවයෙන් යුක්ත, වගවෙන වගකියන අධිකරණ ක්‍රියාමාර්ගය තුළ හොරු අල්ලා හොරු හොරා කෑ මුදල් රටට ලබා ගැනීමට පියවර ගන්නවා.

සමගි ජන බලවේගය එක එක ෆයිල් මිටි පෙන්න පෙන්න කයිවාරු නොගහ අධිකරණය හමුවට ගොස් රට බංකොලොත් කළ පුද්ගලයන් කවුද කියා නම් සහිතවම අනාවරණය කළා. එහි ඊළඟ පියවර ලෙස මූලික අයිතිවාසිකම් පෙත්සම් උපයෝගී කරගෙන විපතට පත් වූ ජීවනෝපාය අහිමි වූ පුද්ගලයන්ට වන්දි ලබාදීමට කටයුතු කිරීමයි.

මෙවර මැතිවරණයට සමගි ජන බලවේගය ඉදිරිපත් වන්නේ ඡන්දය ඉල්ලීමට පමණක් නොවේ. ලක්ෂ 220 ජනතාව සමග සමාජ ගිවිසුමක් අත්සන් කරමිනුයි. ඉන් කියන දේ කරන බවට නෛතිකව බැඳී සිටිනවා. ඒ අනුව බොරු පොරොන්දු දේශපාලනයට නැවතීමේ තිත තබනවා.

රටේ පාසල් 10126 තුළම සුහුරු විශ්ව පුස්ථකාලයක් නිර්මාණය කරනවා. එහිදී පොත් රාක්කවලට පමණක් සීමා නොවී සුහුරු උපකරණ හරහා නොදන්නා තොරතුරුවලට ප්‍රවේශ ලබාගත හැකියි. මෙම ව්‍යාපෘතිය හරහා 41 ලක්ෂයක් පාසල් දූදරුවන්ට තොරතුරුවලට ඇති ප්‍රවේශය ශක්තිමත් කර දැනුම දියුණු කිරීමට අපේක්ෂා කරනවා. එම ව්‍යාපෘතිය අද දින සිට ආරම්භ කරනවා. ඒ තුළින් 41 ලක්ෂයක් පාසල් දූදරුවන්ට ජාත්‍යන්තර මට්ටමේ අධ්‍යාපනයක් ලබාදීමේ වගකීම බාර ගන්නවා.

advertistmentadvertistment
advertistmentadvertistment