ඉන්දියාවේ නිදහස් සටනේදී සිරබත් කෑ අපේ උඩුකැන්දවල සිරි සරණංකර හිමියෝ

270

(2023 නොවැම්බර් මස 13 වැනි දිනට යෙදෙන උඩුකැන්දවල සිරි සරණංකර හිමියන්ගේ 57 වන අනුස්මරණ දිනය නිමිත්තෙනි)

සැබෑ නිදහස හා සමාජ විමුක්තිය සඳහා මාර්ගය ඇත්තේ සිරගෙවල් හා කටුක දුක්ගැහැට ඔස්සේය

1902 ජනවාරි මස 07 වැනිදා කුරුණෑගල දිස්ත්‍රික්කයේ හිරියාල, උඩුකැන්දවල නම් ග්‍රාමයේ උඩුකැන්දවල සිරි සරණංකර හිමියෝ උපන්හ. සරණංකර හිමියන්ගේ ගිහි නම රංබණ්ඩාර නම් විය. සරණංකර හාමුදුරුවෝ 1916 සිට 1918 දක්වා ගම්පහ කොස්පිල්ලෑව විහාරයේ සිට අධ්‍යාපන කටයුතු කරගෙන ගියේය.

1921 අප්‍රේල් මස ධර්මපාලතුමා හමුවී සාකච්ඡා කිරීමෙන් පසුව ඉන්දියාවට වැඩිදුර අධ්‍යාපනය සඳහා වැඩම කළහ. එහිදී සරණංකර හාමුදුරුවෝ (රවින්ද්‍රනාත් තාගෝර්තුමා විසින් මෙහෙය වූ) ශාන්ති නිකේතනයට ඇතුල් විය. එකල ශාන්ති නිකේතනය ඉන්දියානු නිදහස් සටනේ මධ්‍යස්ථානයකි. එහිදී සරණංකර හිමි බෞද්ධ ආගමික අධ්‍යාපනයත්, දේශපාලනය, ඉතිහාසය, හා වංග භාෂාවත් හැදෑරුවේය. ශාන්ති නිකේතනයේ ජීවිතයේදී සරණංකර හිමියන් බලාපොරොත්තු වූ ඉංග්‍රීසි අධිරාජ්‍ය විරෝධී පන්නරය ලැබීමට ආධාර වූ අතර, බ්‍රිතාන්‍ය අධිරාජ්‍ය විරෝධී ව්‍යාපාරය සමග සම්බන්ධතා ගොඩනඟා ගැනීමට ඉඩ ලැබුණි. 1917 ඔක්තෝබර් විප්ලවයෙන් පසු රුසියාවේ සමාජවාදී සංවර්ධනය ගැනද හැදැරීමට අවස්ථාව සැලසුනි.

ඉන්දියාවෙන් පිටමං කරයි

ඉන්දියානු නිදහස් අරගලයට සම්බන්ධවී කටයුතු කිරීමේ ප්‍රතිඵලයක් වශයෙන් 1932 බ්‍රිතාන්‍යයේ යටත් විජිත නිලධාරීන් සරණංකර හාමුදුරුවෝ සිරභාරයට ගත්හ. මෙසේ අවුරුදු හතරක්, එනම් 1936 අප්‍රේල් මස තෙක් බෙංගාලයේ අඳුරු සිරකුටියේ සිරවී සිටීමේ ප්‍රතිඵල වැඩි කල් නොගොස් අත්විඳින්නට සිදුවිය. උන්වහන්සේගේ දෑස් නොපෙනී දුර්වල විය.

සිරෙන් නිදහස් වී දින කිහිපයකින් යළිත් බරණැසට වැඩිය සරණංකර හාමුදුරුවන්ගේ රෝගය සුළු කාලයකදී නැවත උත්සන්න විය. ඒ පිළිබඳව පුවත්පත්වල ලිපි පළවීමෙන් පසු ඉන්දියාවේ ජාතික සංගමයේ නායක සහ පසු කලෙක නිදහස් ඉන්දියාවේ අගමැති වූ ජවහර්ලාල් නේරු මැතිතුමා බරණැස් නුවරට පැමිණ උන්වහන්සේ ගැන වාර්තාවක් රජයට ඉදිරිපත් කළේය. ඉන්දියාවේ බ්‍රිතාන්‍ය පාලකයෝ එම වාර්තාව පිළිගෙන උන්වහන්සේව ලංකාවට එවීමට බෙංගාල ප්‍රාන්ත ආණ්ඩුවට නියම කළහ. ඒ අනුව 1936 අප්‍රේල් මාසයේදී නැවත ඉන්දියාවට ඇතුළු නොවන ලෙස අණ කොට විශේෂ පොලිස් රැකවරණ මැද උන්වහන්සේව කල්කටාවට රැගෙනවිත් ලංකාවට පිටත් කර එවන ලදී.

ලංකාවේ අධිරාජ්‍ය විරෝධී සටනට එකතු වෙයි

ඉන්දියානු ජාතික නිදහස් අරගලයට සම්බන්ධවී ඒ නිසාම සිපිරි ගෙවල්වල, පොලිසිවල හිඳිමින් ඉංග්‍රීසි ආණ්ඩුවෙන් මහත් පීඩා විඳ, ලංකාවට පැමිණි උඩකැන්දවල හාමුදුරුවන් දෙස ලංකාවේ ඇතැම් පුද්ගලයන් හා හාමුදුරුවරුන් බැලුවේ වපර ඇසිනි.

මේ වන විට අධිරාජ්‍ය විරෝධීන් වශයෙන් දැඩි සේ පෙනී සිටියේ ලංකා සමසමාජ පක්‍ෂයයි. එය පිහිටුවා අවුරුදු 2 ගෙවෙමින් තිබුණි. ලංකා සමසමාජ පක්‍ෂය, අධිරාජ්‍ය විරෝධී සංවිධානයක් වශයෙන් ලාංකික ජනතාව අතර ඉක්මනින් ප්‍රචලිත වෙමින් තිබිණි. සරණංකර හාමුදුරුවෝ ද එම අධිරාජ්‍ය විරෝධී ව්‍යාපාරය ශක්තිමත් කිරීමට ඊට එක්වන්නට තීන්දු කළහ.

සරණංකර හාමුදුරුවන් සම සමාජයට එක්වීම එකල මෙරට ජනතාව කෙරෙහි මහත් විස්මය දනවන්නක් විය. සම සමාජය වූ කලී ආගමක් දහමක් විශ්වාස නොකරන, පව් පින් මෙලොව පරලොව නොතකන, මිථ්‍යා දෘෂ්ටික පිරිසකගෙන් යුත් සංවිධානයක් ලෙස එකල සිටි ඉංග්‍රීසි ආණ්ඩුවට ගැති ප්‍රචාරයන් ඊට හේතුවයි. මේ නිසා ඇතැම්හු උඩුකැන්දවල හාමුදුරුවන්ට දොස් නැඟූහ, විරෝධතා දැක්වූහ. මෙයින් නොසැලුණු උන්වහන්සේ වැඩි වැඩියෙන් සමසමාජ රැස්වීම්වලට සහභාගි වූහ. ඇතැම් අවස්ථාවලදී ගැටුම්වලට ද මුහුණ පෑමට සිදුවිය.

ඇතැම්හු උන්වහන්සේගෙන් කියැවීමට පොතපතද ඉල්ලූහ. රැස්වීම් තබමින් දේශන පවත්වමින් පමණක් මිනිසුන්ගේ දැනුම, අධිරාජ්‍ය විරෝධී භාවය වර්ධනය කිරීමට ප්‍රමාණවත් නොවන බැව් වටහාගත් උඩුකැන්දවල හාමුදුරුවෝ 1937 දී පමණ සමසමාජ ක්‍රමය ලංකාවට වුවමනා මන්ද? යනුවෙන් කුඩා පොත් පිංචක් මුද්‍රණය කර බෙදාහරිනු ලැබූහ. මේ පොත රටේ ජනතාව අතර මහත් ආන්දෝලනයක් ඇති කිරීමට සමත් විය. එම අදහස්වලට පටහැනිව පියදාස සිරිසේන මහතා විසින් ‘සිංහල ජාතිය’ පත්‍රයට ලිපි පෙළක් ලිව්වේය. මේ ලිපිවල සරණංකර හිමියන් හැඳින්වූයේ කැන්දකොලයා යන නමිනි.

1939 දී පමණ ‘සමසමාජ පක්‍ෂයෙන් දොස්තර ඇස්. ඒ. වික්‍රමසිංහ ඇතුළු කොමියුනිස්ට්වාදීන් නෙරපීමෙන් පසු සමසමාජ පක්‍ෂයේ ප්‍රථම කැඩී වෙන්වීම සිදුවිය. නෙරපූ පිරිසට උඩුකැන්දවල හාමුදුරුවන් ද අයත් විය. 1940 මැයි මස 09 වැනි දින රාත්‍රී 10 ට පිටකොටුව නොරිස් පාර බෞද්ධ ශාලාවට හෝටල් කම්කරුවෝ 800 ක් පමණ රැස්ව සිටියහ. ඒ වනවිට දිනකට පැය 16 – 18 ක් පමණ හෝටල් සේවකයන්ට වැඩ කිරීමට සිදුවූ අතර රු. 5ක මාසික මුදලක් වැටුප් හැටියට ලැබුණි. මෙම රැස්වීමේදී පහත සඳහන් ඉල්ලීම් සම්මත කර ගන්නා ලදී. පැය 8 ක වැඩ දිනයක්, කෑම පැයක්, සතියකට දින එකහමාරක් නිවාඩු, රජයෙන් අවම වැටුප් සීමාවක් යන ඉල්ලීම් මෙම රැස්වීමේදී සම්මත විය. දොස්තර එස්. ඒ. වික්‍රමසිංහ, ඇම්. ජී. මැන්ඩිස්, කේ. රාමනාදන් කම්කරු ඉල්ලීම් පැහැදිලි කරමින් කතාකළ අතර ඉන්දියාවේ සිට පැමිණ සිටි උඩුකැන්දවල සිරි සරණංකර හිමි ඉන්දියාවේ ජාතික නිදහස් සටන ගැන රැස්වීමේදී කළ කතාවෙන් කම්කරුවන් තවත් ධෛර්යමත් වූහ. 1940 දෙසැම්බර් 14 වැනි දින කොම්පඤ්ඤවීදිය, වොක්සෝල් වීදියේ අබලන් වූ මඩුවක වෘත්තීය සමිති නියෝජිතයෝ රැස්වූහ. එහි මුලසුන උඩුකැන්දවල සිරි සරණංකර හිමියන් විසින් දැරීය. අද ආරම්භ කරන මෙම කම්කරු සංවිධානය අනාගතයේදී ප්‍රබල කම්කරු සංවිධානයක් වීමෙන් ලාංකීය කම්කරු පන්තිය ලෝක කම්කරුවන් සමග එක්වූ ජාතික විමුක්තිය හා සමාජ විමුක්තිය සඳහා සටන් කරන මහා බලවේගයක් වනු ඇතැයි සරණංකර හිමියන් සඳහන් කළේය.

1943 ජූලි මස 3 වැනි දින ආරම්භ කළ ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්‍ෂයේ ප්‍රථම සභාපතිවරයා වූයේද උඩුකැන්දවල සිරි සරණංකර ස්වාමීන් වහන්සේය.

ඉන්දියාවේ නිදහස් සටනේදී සිරබත් කෑ අපේ උඩුකැන්දවල සිරි සරණංකර හිමියෝ

1942 වන විට දෙවන ලෝක යුද්ධය ආරම්භ විය. එහි බලපෑම ලංකාවට තදින් දැනෙමින් තිබිණි. බ්‍රිතාන්‍ය යටත් විජිතයක්ව පැවති ලංකාවේද අධිරාජ්‍යවාදීහු නීතිරීති තද කළහ. මේ කාලයේදී උඩුකැන්දවල සරණංකර හාමුදුරුවන් හික්කඩුවේ තිරාණගම රැස්වීමක දී යුද්ධයට හා බ්‍රිතාන්‍යයට එරෙහිව කතාවක් කිරීම හේතුවෙන් උසාවිය හමුවේ නඩු පවරා තිබිණි. උසාවිය ඉදිරියේ පෙනී සිටි උඩුකැන්දවල හාමුදුරුවෝ තමන් වහන්සේට එරෙහි චෝදනාවලට නිවැරදිකරු බව පවසමින් ඒ වන විට අධිරාජ්‍යවාදීන් වර්ෂ සියයකට අධික කාලයක් මේ රටේ ලේ උරා බොමින් සිටි ආකාරයත්, උසස් ජාතියක්ව සිටි ලාංකිකයන් ඒ වෙනකොට පිරිහී සිටින්නේ බ්‍රිතාන්‍ය අධිරාජ්‍යවාදීන්ගේ යටත් විජිත පාලනය නිසා බවත් කියා සිටියහ.

එසේම බ්‍රිතාන්‍ය අධිරාජ්‍යවාදීන්ට එරෙහිව මවුබිමේ නිදහස උදෙසා සටන් කිරීම අපරාධයක් නම් තමන් වහන්සේ ඊට වැරදිකරු වන බවත් එය අපරාධයක් ලෙස අධිරාජ්‍යවාදී ගැත්තන් සහ පාලකයන් පිළිගත්තත් තමන් වහන්සේ එසේ නොපිළිගන්නා බැව් වැඩිදුරටත් පැවසූහ. එහි ප්‍රතිඵලය වූයේ මව්බිමේ නිදහස වෙනුවෙන් හඬ නැගූ උන්වහන්සේට 1942 ජුනි මස 30 වැනිදා සිය මවුබිමේදී ම තවත් දෑ අවුරුද්දකට සිරගත වීමටය. දෑ අවුරුද්දක සිරගත ජීවිතයකින් පසු සරණංකර හාමුදුරුවෝ 1944 ජුනි මස නිදහස් වී කෙළින්ම ආවේ බොරැල්ල, කෝට්ටේ පාරේ පිහිටි කොමියුනිස්ට් පක්‍ෂ කාර්යාලයටය. 1945-1947 දක්වා සිදුවූ සෑම බහුජන අරගලයකටම උන්වහන්සේ පෙරමුණ ගත්තේය. 1940 සිට 1966 දක්වා සරණංකර හිමියන්ගෙන් සිදුවූ තවත් සේවාවක් වූයේ ‘නව ලෝකය’ නමින් සඟරාවක් පවත්වාගෙන යෑමයි. ඇමෙරිකානු අධිරාජ්‍යවාදීන්ගේ වියට්නාම් විරෝධී යුද්ධයට විරුද්ධව ශ්‍රී ලංකා වියට්නාම් සහයෝගතා ව්‍යාපාරය ආරම්භ කිරීමෙහි මූලිකත්වය ගත්තේද උන්වහන්සේය.

ජාත්‍යන්තර සාමය සඳහා සිදුකළ සේවාවට උන්වහන්සේට 1957 නොවැම්බර් මස සෝවියට් රුසියාවෙන් ලෙනින් සාම ත්‍යාගය පිරිනැමුණි. 1966 නොවැම්බර් මස 13 වන දින උන්වහන්සේ අපවත් වන මොහොත දක්වා ජාතික විමුක්තිය, සමාජවාදය හා ලෝක සාමය වෙනුවෙන් තම ජීවිත කාලය කැප කළේය.

ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්‍ෂයේ ආරම්භකයකු ලෙස කටයුතු කළ උන්වහන්සේ ජාතික විමුක්තිය හා සැබෑ නිදහස, සමාජවාදය සඳහා වූ මාර්ගය වැටී ඇත්තේ නොයෙකුත් වරප්‍රසාද ඔස්සේ නොව සිරගෙවල්, බන්ධනාගාර හා කටුක දුක් ගැහැට මැදින් බැව් සරණංකර හිමියන්ගේ ජීවිත අත්දැකීම් පෙන්නුම් කරයි.

එස්. සුදසිංහ
නියෝජ්‍ය ප්‍රධාන ලේකම්
ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්‍ෂය

advertistmentadvertistment
advertistmentadvertistment