මව්කිරි දීමේ වැදගත්කම හඳුනාගනිමු

1070

අගෝස්තු පළමුවැනිදා සිට අගෝස්තු හත්වැනිදා වනතුරු යෙදී ඇති ලෝක මව්කිරි දීමේ සතිය වෙනුවෙන් මව්කිරි දීමේ ඇති වැදගත්කම සහ මව්කිරි වැඩීමට කළ හැකි ආයුර්වේදීය ප්‍රතිකර්ම පිළිබඳ සටහනක් තැබීම මෙම ලිපියේ අරමුණයි.

ආයුර්වේදයට අනුව ගර්භිණී මවක් ගන්නා ආහාර තුන් ආකාරයකට සිරුරේ දී භාවිතයට ගැනෙනවා එය මෙසේයි.

  1. මවගේ පෝෂණයට 2. කලලයේ පෝෂණයට 3. ස්ථන ග්‍රන්ථි සහ මව් කිරි නිපදවීමට මෙසේ ක්‍ෂීර ග්‍රන්ථිවල එහෙමත් නැත්නම් මවගේ පියයුරුවල නිපදවෙන මව්කිරි මුදා හැරීමට නම් බාහිරව ඇතිවන කුමක් හෝ උත්තේජනයක් අවශ්‍ය වෙනවා. දරුවාගේ හැඬීමක් ඇසීම, දරුවාව උකුළටය ගැනීම, දරුවා මතක්වීම ආදී මවගේ මානසික තත්ත්වයන් සමග ඍජුවම බැඳෙන බාහිර උත්තේජනයක් නිසා කිරි මුදා හැරෙනවා. දරුවා කිරි උරාබීමත් සමග මොළයෙන් ප්‍රොලැක්ටීන් සහ ඔක්සිටොසීන් ස්‍රාවය කිරීම සඳහා ආවේග නිකුත් කරනවා. ප්‍රොලැක්ටීන්වලින් ක්‍ෂීර ග්‍රන්ථිවල කිරි නිෂ්පාදනය සඳහා වැදගත් වන අතර ඔක්සිටොසීන් මඟින් නොනවත්වා කිරි ක්‍ෂීර ග්‍රන්ථිවලින් ගලා යෑම උත්තේජනය කරනවා. ප්‍රසූතියෙන් දින තුනක් පමණ ගත වනතුරු මුදාහැරෙන කිරි, තරමක් කහ පැහැයෙන් යුක්ත වන අතර එය කොලෙස්ට්‍රම් නමින් හඳුන්වනවා. මේවායේ ප්‍රෝටීන, විටමින් ් සහ සෝඩියම් ක්ලෝරයිඩ් බහුලව ඇති අතර එය දරුවාගේ ප්‍රතිශක්තිකරණ පද්ධතියේ වර්ධනයට බොහෝ සෙයින් වැදගත් වේ. එහි අන්තර්ගත ලිපිඩ, කාබෝහයිඩ්‍රේට් සහ පොටෑසියම් ප්‍රමාණය අවම වන නිසා දරුවාට එය ජීර්ණය කිරීමට පහසුය. දරුවාගේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය වැඩෙන තුරු එය අහිතකර බැක්ටීරියාවලින් දරුවාව ආරක්‍ෂා කරනු ලබයි.

වෛද්‍යවරුන්ගේ නිර්දේශය වන්නේ උපතේ සිට මාස හයක් පමණ යන තුරු දරුවා මව්කිරෙන් පමණක් පෝෂණය කළ යුතු බවයි. මව්කිරිවල ඇති අධික ප්‍රෝෂණ ගුණය දරුවාගේ වර්ධනයට බොහෝ වැදගත් වේ. මව්කිරිවලින් දරුවාගේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය ශක්තිමත් කොට විෂබීජවලින් දරුවා ආරක්‍ෂා කර දෙන අතර විවිධ ආහාර ජීර්ණ අපහසුතා මඟහරවා සෞඛ්‍යමත් ආහාර ජීර්ණයකට මඟ සලසයි. අලුත උපන් බිලිඳකුට දිනකට මව් කිරි 8 – 12 වතාවක් පමණ අවශ්‍ය වේ.

නමුත් මව්කිරි දීමෙන් වාසි ලැබෙනුයේ බිලිඳාට පමණක් නොවේ. මව්වරුන්ට තම බිලිඳාට මව්කිරි දීමෙන් විවිධ ප්‍රයෝජන අත්වේ. මවගේ පෙර උපත් බර අඩු කරමින් සිරුර යථාතත්ත්වයට රැගෙන යෑම සඳහා මෙන්ම, පියයුරු පිළිකා, ගර්භාෂ පිළිකා වැළැක්වීම සඳහාත් මව්කිරි දීම වැදගත් වන බව සොයාගෙන ඇත. මව්කිරි දීමේ දී ස්‍රාවය වන ප්‍රොලැක්ටීන් හෝමෝනයෙන් මවගේ මනසට සුවයක් සහ ශාන්තියක් අත්කර දෙනවා පමණක් නොව මව සහ දරුවා අතර ඇති බැඳීම වර්ධනය වීමට ද එය බලපායි.

ඇතැම් මව්වරුන්ගේ කිරි ගලා ඒම අවම බව ඔබ නිරීක්‍ෂණය කර ඇත. එයට හේතු ලෙස ආයුර්වේදය දක්වා ඇත්තේ අධික තරහව, අධික දුකක් හෝ මාතෘ සෙනෙහස අඩුකම ලෙසයි. කිරිදෙන සමයේදී මව ගන්නා ආහාර මවගේ යහපත් සෞඛ්‍යයට සහ දරුවාගේ වර්ධනයට අතිශයින් ම වැදගත් වේ. ඕට්ස් සහ බාර්ලි වැනි පූර්ණ ධාන්‍ය සහ මස්, මාළු, බිත්තර වැනි ප්‍රෝටීන් බහුල ආහාර වැඩිපුර ගත යුතුය. මුං ඇට, කව්පි වැනි රනිල භෝග ද, කොළ පැහැති එළවළු ද කජු, ආමන්ඩ් වැනි විවිධ ඇට වර්ග ද කිරි නිපදවීමට උත්තේජනය කරනු ලබයි.

ජ්‍යෙෂ්ඨ ආයුර්වේද වෛද්‍ය නිලධාරිනි ආර්. එල්. ආර්. ගුණවර්ධන ජාතික ආයුර්වේද රෝහල, බොරැල්ල.

advertistmentadvertistment
advertistmentadvertistment