ශ්‍රී ලංකාවේ දැවෙන ප්‍රශ්නවලට විසඳුම තිරසාර සංවර්ධනය සඳහා අධ්‍යාපනය

27

“තිරසර සංවර්ධනය” නැමති සංවර්ධන සංකල්පය නුහුරු නුපුරුදු සංකල්පයක් නොව එය දීර්ඝ කාලයක් තිස්සේ මෙරට මෙන්ම බොහෝ රටවල ද කථිකාවතක් ඇති කළ ප්‍රබල සංවර්ධන ප්‍රවේශයකි. වර්ෂ 1987 දී එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් ප්‍රකාශයට පත් කරනු ලැබූ “අපේ පොදු අනාගතය” හෙවත් බෲන්ට්ලන්ඩ් කොමිසම් සභා වාර්තාව මගින් “තිරසර සංවර්ධනය” පිළබඳව පුළුල් ලෙස සාකච්ඡාවට ගෙන තිබේ. වර්ෂ 1972 දී ස්වීඩනයේ ස්ටොක්හෝම් නුවර පැවැති එක්සත් ජාතීන්ගේ මානව පරිසරය පිළිබඳ සමුළුවේ දී මේ සඳහා මූලික අඩිතාලම ගොඩනඟන ලදි. “තිරසර සංවර්ධනය” ළඟා කරගැනීම සඳහා 2000 වර්ෂයේ දී ඇති කරගත් 2015 වර්ෂය වන විට අත්පත් කර ගැනීමට අපේක්ෂා කෙරුණු සංවර්ධන ඉලක්ක එතරම් සාර්ථක නොවීය. වර්ෂ 2015 දී එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සාමාජික රටවල් එකතු වීමේ දී එළඹි තීරණය වූයේ “තිරසර සංවර්ධන” ප්‍රවේශය හැර සාමාජික රටවල පවතින සමාජ, ආර්ථික, පාරිසරික හා දේශපාලන ගැටලු විසඳා ගැනීමේ වෙනත් විකල්පයක් නොමැති බවයි. එබැවින් මෙම සංවර්ධන ඉලක්ක කරා ළඟා වීමේ දැඩි අවශ්‍යතාව ඇතුළත් න්‍යාය පත්‍රයක් සමාජගත කරන ලදි. එය වසර 2030 වන විට සපුරාගත යුතු අභිමතාර්ථ 17 ක් සහ අරමුණු 169 ක් ඇතුළත් සාර්ථක සංවර්ධන සැලැස්මක් ලෙස සැලකිය හැකිය. මෙය වර්ෂ 2030 වන විට සාමාජික රටවල් අපේක්ෂිත සංවර්ධන මට්ටම ළඟා කර ගැනීම සඳහා වන කැපවීමේ තරම හා උත්සාහය කෙසේ වේ දැයි මැන බැලීමේ මෙවලමක් ලෙස ද වැඩිදුරටත් සාකච්ඡාවට ගෙන ඇත.

ශ්‍රී ලංකාවේ දැවෙන ප්‍රශ්නවලට විසඳුම තිරසාර සංවර්ධනය සඳහා අධ්‍යාපනය

“තිරසර සංවර්ධන” යනු අනාගත පරම්පරාවේ අවශ්‍යතා සපුරා ගැනීමට පවතින අයිතිය හා අවස්ථාව උල්ලංඝනය නොකර වර්තමානයේ අවශ්‍යතා හා වුවමනා ඉටුකර ගැනීමේ සංවර්ධන ප්‍රවේශයයි. එනම්, සම්පත් අවභාවිතයකින් හා නාස්තියකින් තොරව, ඉතා අරපිරිමැස්මෙන්, මනා කළමනාකාරීත්වයකින්, උපරිම කාර්යක්ෂමතාවයෙන් සහ වගකීමෙන් යුතුව පරිහරණය කළ යුතු බව මින් අවධාරණය කර ඇත.

කෙසේ නමුත් මෙම සංවර්ධන ප්‍රවේශය ශ්‍රී ලංකාවට නවමු සංකල්පයක් නොවන බව පෙනේ. අතීතයේ අපගේ මුතුන් මිත්තන් දෛනික ජීවිතය නිරායාසයෙන්ම ගත කර ඇත්තේ මෙම ක්‍රමවේදයන්ට අනුකූලවයි. නමුත් එය කාලයත් සමග යම් යම් සාධක මත ශ්‍රී ලාංකිකයන්ගේ ද “ආකල්ප” විවිධ වෙනස්කම්වලට භාජනය වී ඇති ආකාරයක් හඳුනාගන්නට පුළුවනි. ඒ අතර අධි පරිභෝජනය, සම්පත් අවභාවිතය හා නාස්තිය සිදුවන ජීවන රටාව මෙන්ම ලැබී ඇති සම්පත් කාර්යක්ෂමතාවයෙන් සහ වගකීමෙන් යුතුව පරිහරණය කිරීමට අදාළ මානසික තත්ත්වය හා අධ්‍යාපනයක් නොමැතිවීම යනාදී සෘණාත්මක මානව ගති ලක්ෂණ ඇතිවීමේ සෘණාත්මක ආකල්ප පවතින සංවර්ධන හා වෙනත් සියලු ගැටලුවලට බලපා ඇති ප්‍රධාන සාධකයක් ලෙස හඳුනාගත හැකිය. මෙම කරුණු සැලකිල්ලට ගෙන නවමු මානයකින් ශ්‍රී ලංකාව දියුණු කිරීම සඳහා තිරසර සංවර්ධන ප්‍රවේශය නැවතත් ජවසම්පන්නව සමාජගත කළ යුතුව ඇත. එය අප සැමගේ වගකීමක් සහ වගවීමක් ලෙස සැලකීම වැදගත්ය.

වර්ෂ 1940 පමණ කාල සීමාවේ දී වත්මන් පරම්පරාවට මෙවැනි වූ විවිධ ගැටලු ඇති වන බව අවධාරණය කරන ලද ග්‍රන්ථ රාශියක් රචනා වී තිබේ. මෙම ග්‍රන්ථ මගින් කාර්යක්ෂමව හා නිසි කළමනාකාරීත්වයකින් යුතුව සම්පත් පරිභෝජනය කිරීමේ අවශ්‍යතාවය මතු අනාගතයෙහි සුරක්ෂිතතාවයට ඍජුවම බලපාන ආකාරය පිළිබඳව කරුණු ඉස්මතු කර ඇත. ඒ අතර “නිහඬ වසන්තය – 1962”, ” ජනගහන ස්පෝඨනය – 1968” හා “වර්ධනයේ සීමා 1972” යන ග්‍රන්ථ ප්‍රධාන වේ. වගාවන් සඳහා රසායනික පොහොර, පළිබෝධ නාශක භාවිතය, අපද්‍රව්‍ය ජලයට බැහැර කිරීම, සම්පත් අධි පරිභෝජනය හා පරිසර හානිය ආදී ක්‍රියා හේතුවෙන් වසර 100 කට පසු අනාගතයේ දී මානවයාට මුහුණදීමට සිදුවන අභියෝග පිළිබඳව එනම්, පානීය ජල හිඟය, දේශගුණ විපර්යාස, පස නිසරු වීම, ආහාර සුරක්ෂිතතාවය නැතිවීම, ලෙඩ රෝග ඇතිවීම ආදී සමාජ, ආර්ථික, පාරිසරික ඝට්ඨන පිළිබඳව මෙම ග්‍රන්ථ ඔස්සේ කරුණු දක්වා ඇත.

කෙසේ නමුදු එවකට පෙන්වා දුන් එම සාධක වර්ෂ 1980 වන විටත් මානවයාට අභියෝගයක්ව පැවති බව හඳුනාගත හැකිය. එය වර්තමානයේදීත් එසේමය. තිරසර සංවර්ධන සංකල්පය වැනි සංකල්ප සමාජගත වී තිබුණ ද එය ඒ ආකාරයෙන් ක්‍රියාත්මක වනවා ද යන්න ගැටලුවකි. මෙම හේතුව මත තිරසර සංවර්ධන සංකල්පය වෙත ලෝක නායකයන්, ලෝක ප්‍රජාව එක්ව දැඩි අවධානයක් මේ සඳහා යොමු කිරීම ඉතා වැදගත් බව වර්තමානය වන විට පැහැදිලිය. නමුත් ශ්‍රී ලංකාව ඇතුළු ලෝකයේ බොහෝ රටවල් මෙම අත්‍යවශ්‍ය කාරණාව පිළිබඳව අවධානය යොමු නොකරමින් එතරම් නොවැදගත් කරුණු කාරණා කෙරෙහි වැඩි අවධානයක් යොමු කරන ආකාරයක් පෙනී යයි. එය සංවර්ධිත මෙන්ම සංවර්ධනය වෙමින් පවතින ඕනෑම රටකට විශාල අභියෝගයකි.

තිරසර සංවර්ධන සංකල්පය ශ්‍රී ලාංකීය රජයන් විසින් පිළිගෙන ඇති අතර එක්සත් ජාතීන්ගේ සංවිධානය තුළ ශ්‍රී ලංකාව ද මෙම සංවර්ධන ප්‍රතිපත්තියට අදාළව ඇති එම අභිමතාර්ථ, අරමුණු සාක්ෂාත් කිරීමට බැඳී පවතින රාජ්‍යයකි. එනම්, ඒ හා සම්බන්ධව ජනාධිපති ලේකම් කාර්යාලය ප්‍රධානත්වයෙන් විවිධ කමිටු ද පිහිටුවා ඇති අතර ඒ ඔස්සේ විවිධ ව්‍යාපෘති, සැලසුම් ද ලාංකීය රජය විසින් ක්‍රියාත්මක කර ඇත. එමෙන්ම විවිධ පොත්පත් ද මේ හා සම්බන්ධව බොහොමයක් රචනා වී ඇති අතර පාසල් විෂය මාලාවට ද මෙම මාතෘකාව ඇතුළත් කර ඇත.

වර්තමාන සමාජය තුළ දැනට උද්ගත වී ඇති බොහෝ ගැටලු විසඳීමට අවැසි මාර්ගෝපදේශය මෙම තිරසර සංවර්ධන සංකල්පය යටතේ එන අභිමතාර්ථ 17 මගින් සපයනු ලබන අතර පවතින රජය ඔස්සේ මෙම ක්‍රියාමාර්ග සක්‍රීයව ක්‍රියාත්මක කරන්නේ නම් වඩාත් යහපත් අනාගතයකට මං පෙත් සකස් කර ගත හැකිය. ඒ සඳහා අදාළ ක්‍රියාමාර්ග ශ්‍රී ලංකා රජය සතුව දැනටමත් පැවතිය ද එය සක්‍රීයව ක්‍රියාත්මක නොවීම ගැටලුවකි. සාමාන්‍ය පුරවැසියන්ල රජය ඇතුළු සමස්ත ප්‍රජාව මේ පිළිබඳව වගවීමකින් යුතුව කටයුතු කරන ආකාරයක් වර්තමානයේ පෙනෙන්නට නැත. නමුත් ඇතැම් රටවල අදාළ බලධාරීන් මෙම සංකල්පය තුළින් අපේක්ෂිත සංවර්ධන ඉලක්ක කරා තම රට ගෙන යන්නට විවිධ ව්‍යාපෘති අදටත් ක්‍රියාත්මක කරනු ලබයි. ඒ ඔස්සේ යමින් සාර්ථක ප්‍රතිඵල ලබාගත් අවස්ථා ඕනෑ තරම්ය.

ශ්‍රී ලාංකික සමස්ත ප්‍රජාව ද මෙම කටයුත්තට ඒකාබද්ධ කර ගැනීම අත්‍යවශ්‍ය කරුණකි. ඒ සඳහා වූ වගකීම සහ නිවැරදි මාර්ගෝපදේශය සැපයීම රටෙහි ජ්‍යෙෂ්ඨ මට්ටමේ සිටින පාලක පැලැන්තිය සතු වේ. එනම්, ආගමික නායකයන්, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්, ආයතනික ප්‍රධානීන්, වැඩිහිටියන්, දෙමව්පියන් සහ ගුරුවරුන් ආදී වශයෙන් මේ සඳහා මූලික ආදර්ශය සැපයිය යුතුයි. කෙසේ නමුත් රජය සේම සමස්ත පුරවැසියන්ට ද මේ හා සම්බන්ධ විශාල වගකීමක් පවතියි. එනම්, සමස්ත ප්‍රජාව ඒකාබද්ධව මෙම සංකල්පයට අදාළ ක්‍රියාමාර්ග ස්වයං දැනුවත්භාවයකින් යුතුව ක්‍රියාත්මක කළ යුතුය. එලෙස ක්‍රියාත්මක වන්නේ නම්, රටක් දියුණු කිරීම එතරම් අපහසු කාර්යයක් නොවෙයි. නමුදු බොහෝ පුද්ගලයන්ට මෙම සංකල්පයෙහි හරය සහ එහි ඇති සැබෑ වටිනාකම පිළිබඳව තවමත් නිසි අවබෝධයක් නොමැති වීම අවාසනාවකට කරුණකි.

උද්ගත වී ඇති අර්බුද මෙන්ම උද්ගතවීමට නියමිත අර්බුද වැළැක්වීම සඳහා සමාජ පරිණාමනයක් කිරීමේ අවශ්‍යතාවය ඇත. එහිදී අධ්‍යාපනයට විශේෂ තැනක් හිමිවේ. ජනතාව සිතන පතන සහ හැසිරෙන ආකාරයේ වෙනසක් ඇති කිරීම සිදු කළ යුතු වේ. මෙම වෙනස්කම් සිදු කළ හැක්කේ දැනුම, කුසලතා සහ ආකල්ප සංවර්ධනය කරන්නා වූ අධ්‍යාපනය තුළිනි. එබැවින් අනෙකුත් තිරසර සංවර්ධන අරමුණු දිනා ගැනීම සඳහා අධ්‍යාපන අරමුණු දිනාගැනීමට විශේෂ අවධානය යොමු කළ යුතු වේ. එනම්, තිරසර සංවර්ධන සංකල්පයෙහි මූලික අඩිතාලම වන්නේ ගුණාත්මක අධ්‍යාපනයයි. ලෝකයේ අධ්‍යාපන තත්ත්වයන් නංවාලීම සඳහා ගෝලීය වශයෙන් ගනු ලැබූ ක්‍රියාමාර්ග අතුරින් 1990 තායිලන්තයේ ජොමිටියන් හිදී සකස් කරන ලද සියලු දෙනාට අධ්‍යාපනය ලබාදීම සඳහා වූ වැඩ සැලැස්ම, 2000 වසරේ ලෝක අධ්‍යාපන සමුළුවෙන් අනතුරුව සියලු දෙනා සඳහා අධ්‍යාපනය ලබාදීම තහවුරු කරලීම සඳහා වූ ඉදිරිපත් කරන ලද “ඩකාර් ප්‍රකාශනය” ඉතා වැදගත් වේ.

සමස්තයක් වශයෙන් ගත් කළ තිරසර සංවර්ධන සංකල්පය පිළිබඳව නිවැරදි අවබෝධයක් නොමැති වීම හඳුනාගත හැකි ප්‍රධාන ගැටලුවකි. පාසල් මට්ටමින්, විශ්වවිද්‍යාල මට්ටමින් මේ පිළිබඳව තවදුරටත් පුළුල්ව දැනුවත් කිරීම මෙන්ම ග්‍රාමීය, නාගරික සමස්ත පුරවැසියන් ආවරණය වන පරිදි දැනුවත් කිරීම් ප්‍රශස්ථව සිදුකළ යුතුවේ. ශ්‍රී ලාංකික සමාජය තුළ ආර්ථික, සමාජයීය, සංස්කෘතික, දේශපාලනික වශයෙන් වෙනසක් ඇති කිරීමට නම් පළමුව සිදු කළ යුත්තේ ආකල්පමය වශයෙන් ඇතිවන සංස්කෘතික ඝට්ටනය අවම කිරීමයි. වර්තමානය වන විට යම් මට්ටමකට සංස්කෘතිය පරිහානියකට පත්වෙමින් පවතින බව දක්නට ලැබෙයි. එය සමස්ත මානව ප්‍රජාවටම සෘජුවම බලපානු ලබන ප්‍රධාන අර්බුදයකි. එනම්, මිනිසා විවිධ මිථ්‍යා දෘෂ්ටිකත්වයන් මත හැඩගැසී ඇත. නිදසුනක් වශයෙන් ගත් විට බොහෝ ජනයා අනෙකුත් හිතමිත්‍රාදීන් පහත්කොට සැලකීම, තමාගේ මතය පමණක් නිවැරදි යැයි සිතීම, යම් අධිරාජ්‍යත්වයක්, බලයක් පවතින පුද්ගලයන්ට ඔවුන්ගේ මතය වැරදි වූවත් එම මතයට මූලිකත්වය සමස්තය විසින් ලබා දීම, එනම්, යහපත් ඇවතුම් පැවතුම් සහිත ආදර්ශවත් පුද්ගලයන්ට සමාජයේ නිසි තැන නොලැබීම හා සම්පත් අධි පරිභෝජනය කරන්නන්ට වැඩි පිළිගැනීමක් ලැබීම කැපී පෙනෙන සමාජ පරිහානියකි.

මෙවැනි පැටලිලි සහගත තත්ත්වයක් රට තුළ දක්නට ලැබෙන අතර එය නිවැරදි මාවතකට යොමු වුවහොත් දැනට උද්ගත වී ඇති අර්බුද බොහොමයකට විසඳුම් ද නිරායාසයෙන් ලැබෙනු ඇත. මෙම සමාජ පරිහානියට මූලිකම හේතුව වන්නේ කාලයක් තිස්සේ පැවති දේශපාලනික සංස්කෘතික රාමුවේ අවගමනයයි. එයට හේතුව වන්නේ සමාජීය සංස්කෘතිය පැවතිය යුතු ධූරාවලියට විරුද්ධව පෙළගැසීමයි. සමාජ හා ආයතනික ධූරාවලියේ පහළ ස්ථරය නියෝජනය කරන ප්‍රජාව ධුරාවලියෙහි ඉහළ කොටස නියෝජනය කරනු ලබන පිරිසට දැඩි හා අයුතු ලෙස බලපෑම් කරමින් පවතන ස්වභාවයක් දක්නට ලැබේ. එනම්, අප රට තුළ සමාජය මෙහෙයවනු ලබන්නේ අත්දැකීම් අඩු ආවේගශීලී නොහැකියාවෙන් යුතු ප්‍රජාව මගින් යන මතයක් සමාජයේ ජනිත වී ඇත. එය රට ගොඩනැඟීමට සක්‍රීය දායකත්වයක් ලබාදිය හැකි සමාජ ධූරාවලියේ ඉහළ ස්ථරයේ සිටින ප්‍රජාවගේ රට සංවර්ධනය කිරීමට දායක වීමේ උනන්දුව අඩුවී ඇත. බුද්ධිමතුන් රට හැර යෑම මෙම පරිවර්තනයේ ප්‍රතිඵලයක් ලෙස සැලකිය හැකිය. එබැවින් මෙරට දැනට ක්‍රියාත්මක වන සමාජ ධූරාවලිය මෙරටේ සංවර්ධන ඉලක්ක කරා ගෙන යෑම ඉතා අපහසු කටයුත්තක් වනු ඇත. එය වෙනස් කිරීමට නම් රට තුළ අධ්‍යාපනය ශක්තිමත් කිරීම ඉතා වැදගත්ය.

විශේෂයෙන්ම රටෙහි ජනමාධ්‍යය ඇතුළු සියලු මාධ්‍යයන් මේ සඳහා මූලිකත්වය ගෙන ක්‍රියා කිරීම ඉතා වැදගත් වෙයි. එනම්, එතරම් වැදගත් නොවන කාරණා කෙරෙහි වෙන් කරනු ලබන වැඩි මාධ්‍ය අවකාශය මෙවැනි වූ යහපත් කටයුතු සඳහා වෙන් කරන්නේ නම් වඩාත් යහපත් සමාජයක් ගොඩනැඟීම පහසු වෙයි. එලෙස නිවැරදි දැනුවත් වීම් නිසි ආකාරයෙන් සිදුකිරීම මගින් මෙම තිරිසර සංවර්ධන ඉලක්ක ඔස්සේ රට දියුණුවට ගෙන යෑම තවදුරටත් ශක්තිමත් කරගත හැකිය. වර්තමාන තරුණ පරපුරට නිසි අනාගත ඉලක්කයන් හඳුනාගැනීම ඉතා අපහසු කටයුත්තක් බවට පත්වී ඇත. ඒ සඳහා නිදහස් අධ්‍යාපනය හරහා රට තුළ නිශ්චිත වැඩපිළිවෙළක් ස්ථාපනය කළ යුතු වේ. අන්තර්ජාතික වශයෙන් පිළිගෙන ඇති මෙම තිරසර සංවර්ධන සංකල්පයට අනුව රට තුළ අධ්‍යාපනය තවදුරටත් තීව්‍ර කර පුරවැසියන්ගේ දැනුවත්භාවය වර්ධනය කරමින් මෙම භාරදූර කටයුත්තට ආගමික නායකයන්, වැඩිහිටියන්, ජ්‍යෙෂ්ඨ පුරවැසියන් ඒකාබද්ධව නිවැරදි මාර්ගෝපදේශය වගවීමකින් යුතුව ආදර්ශමත්ව මෙහෙයවීම කළ යුතු වේ. ඒ තුළින් පැහැදිලි ලෙසම රටෙහි පවතින බොහොමයක් ගැටලු සඳහා විසඳුම් සොයමින් සෘජුවම රට සංවර්ධනය කරා ගෙනයා හැකිය. ඒ සඳහා වත්මන් රජයට සෘජු හා සක්‍රීය දායකත්වයක් ලබාදීමේ ප්‍රබල හැකියාවක් පවතී.

සටහන
ආර්. එච්. දේශාන් එරන්ද
ජනසන්නිවේදන අධ්‍යයන අංශය
කැලණිය විශ්වවිද්‍යාලය


advertistmentadvertistment