ශ්‍රී ලංකිකයන් ගුණමකු ජාතියක් නොවන බව පෙන්වීමට මා පිල්ලෙයාන් වෙනුවෙන් පෙනී සිටිනවා – පිවිතුරු හෙළ උරුමයේ නායක නීතිඥ උදය ගම්මන්පිල

69

ත්‍රස්තවාදයට විරුද්ධ වීමට දඬුවම් කරනවා නම් අපි ඒ අය වෙනුවෙන් පෙනී සිටිනවා

මා සිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන් නොහොත් පිල්ලෙයාන් වෙනුවෙන් පෙනී සිටින්නේ ලාංකිකයන් ගුණමකු ජාතියක් නොවන බව පෙන්වන්නයි. ත්‍රස්තවාදයට විරුද්ධ වීම නිසා කාට හරි දඬුවම් කරනවා නම් අපි ඒ අය වෙනුවෙන් කොන්දේසි විරහිතව පෙනී සිටිනවා. එහෙම නොකළොත් අනාගතයේ දී ත්‍රස්තවාදය අත්හැර ත්‍රස්ත විරෝධීන් සමග එකතු වෙලා ත්‍රස්තවාදය විනාශ කරන්න කිසිවෙකු ඉදිරිපත් වෙන්නේ නැති බව පිවිතුරු හෙළ උරුමය නායක නීතිඥ උදය ගම්මන්පිල මහතා පවසයි.

පිවිතුරු හෙළ උරුමය නායක මේ කරුණු ප්‍රකාශ කළේ ඊයේ (16 දා) පැවති මාධ්‍ය හමුවකදීය. එහිදී ඔහු මෙසේද පැවසුවේය.

“මම අද මේ පවත්වන මාධ්‍ය හමුව ජීවිතයේ කිසිම දිනක පැවැත්වීමට බලාපොරොත්තු නොවූ මාධ්‍ය හමුවක්. මම පිල්ලෙයාන් හමුවුණේ දේශපාලකයකු ලෙස නොවේ. නීතිඥයෙකු ලෙස. මම මගේ දේශපාලන ජීවිතයත් වෘත්තීය ජීවිතයත් ඉරක් ගහලා වෙන් කරගෙන කරන්නේ. ඒ නිසා මම සීඅයිඩියට යෑමට පෙරවත් යෑමෙන් පසුවත් මාධ්‍යයන්ට ඒ ගැන කිව්වේ නෑ. මම පිල්ලෙයාන් හමුවුණු බව මාධ්‍යවලට කියන්න එපා කියලා සීඅයිඩී පරිපාලන ස්ථානාධිපති මගෙන් ඉල්ලීමක් කළා. එතකොටත් මම “බය වෙන්න එපා. මම නීතිඥ ආචාර ධර්ම දන්නවා” කියලා එතුමාට කිව්වා. නමුත් ඊළඟට සිදු වුණු දේ තමයි පොලිස් ඉතිහාසයේ කවදාවත් නොවුණු අයුරින් දේශපාලනීකරණය වෙලා කියන එකට හොඳම නිදසුන.

මම සීඅයිඩිය ඇතුලේ ඉන්න අතරේ සමාජ මාධ්‍යවේදීන් මගේ පැමිණීම ගැන වාර්තා කරලා ඉවරයි. ඔය අතරේ සිඅයිඩියේ සිටින උප පොලිස් පරීක්ෂකවරයකු වන ඒ. එල්. එම්. ෆාහිම් මාගේ පැමිණීම ගැන ඔහුගේ මතය සමාජ මාධ්‍යවලත් දානවා. මීට කලින් පොලිස් නිලධාරීන් මෙහෙම හැසිරිලා තිබෙනවාද? යම් රැඳවියකුගේ නීතිඥයා කවුද? බලන්න ආපු අය කවුද? වැනි කරුණු මීට කලින් මෙහෙම වාර්තා වෙලා නෑ.

ඒ විතරක් නොවේ. පිල්ලෙයාන්ගේ ප්‍රකාශයේ තිබුණාය කියලා විවිධ කරුණු සමාජ මාධ්‍යවල වාර්තා වෙනවා. මීට කලින් සිදුවෙලා තිබෙන්නේ යමක් රටට ප්‍රකාශ කළ යුතු නම් පොලිස් මාධ්‍ය ප්‍රකාශක සියලුම මාධ්‍යවලට එක පාර කියනවා මිස තමන් තෝරාගත් මාධ්‍යවලට විතරක් කියන්නේ නෑ. නමුත් පොලිසිය සහ ආණ්ඩුව විසින් මා පිල්ලෙයාන් හමුවීමට දැවැන්ත ප්‍රසිද්ධියක් ලබාදීම නිසා මාධ්‍ය නිරන්තරයෙන් මගෙන් තොරතුරු විමසන නිසා මට අද මේ මාධ්‍ය හමුව පවත්වන්න සිදු වුණා.

මේ ආණ්ඩුවේ නායකයන් රටේ නීතිය අමු අමුවේ උල්ලංඝනය කරමින් නැගෙනහිර පළාත් හිටපු ප්‍රධාන අමාත්‍ය සිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන් නොහොත් පිල්ලෙයාන් අත්අඩංගුවට ගෙන රැඳවුම් නියෝග යටතේ රඳවා ගෙන ඉන්නවා. ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ යමෙක් අත්අඩංගුවට ගත්තාම අත්අඩංගුවට ගැනීමට හේතුව දක්වලා ලේඛනයක් ඥාතීන්ට භාර දෙන්න ඕනි. ඒක කළේ නෑ. ඒ වගේම නීතිඥවරයකුට ඔහු සමග සාකච්ඡා කිරීමට අවස්ථාව ඉල්ලුවොත් ඒක ලබා දෙන්න ඕනි. ඒකත් ප්‍රතික්ෂේප කළා. ඒ වගේම පවුලේ ඥාතීන් සමග කතා කිරීමට අවස්ථාව ලබාදිය යුතු වුවත් ඒක කළෙත් නෑ.

මම පිල්ලෙයාන් සමග විනාඩි 30ක් පමණ කතා කළා. මා කතා කරන අවස්ථාවේ එතැන පොලිස් නිලධාරීන් සිවුදෙනකු සියල්ල අසාගෙන හිටියා. එක්කෙනෙක් කියන ඒවා ලියා ගත්තා. සාමාන්‍යයෙන් සැකකරුවකු තමන්ගේ නීතිඥයා සමග කරන සාකච්ඡා රහසිගත විය යුතුයි.

පිල්ලෙයාන් හඬා වැටෙමින් මට කිව්වා “කොටින්ගෙන් වෙන්වෙලා ඇවිත් කොටි පරදන්න මම ජීවිතය පරදුවට තියලා සටන් කළා. මම බොරු නඩුවකට රැඳවුම් නියෝග යටතේ අවුරුදු පහක් ඇතුළේ හිටියා. අන්තිමට සාක්ෂි නැතිව නඩුව හකුලා ගත්තා. දැන් ආයෙත් ඇතුළට දැම්මා. රට බේරා ගන්න උදව් කළාට මට මෙහෙම ද සලකන්නේ කියලා.

කොටි ත්‍රස්තවාදය අවසන් කරන්න පිල්ලෙයාන් කළ කාර්යභාරය ගැන දෙමළ බෙදුම්වාදින් පිල්ලෙයාන් එක්ක ඉන්නේ වෛරයෙන්. ඔහුව විනාශ කිරීම බෙදුම්වාදීන්ගේ ලොකුම ඉලක්කයක්. ඒ නිසා ජාතික ජන බලවේගය හරහා බෙදුම්වාදීන් පිල්ලෙයාන්ට දඬුවම් කිරීමේ කුමන්ත්‍රණයක් දියත් කරලා තිබෙනවා. 2006 දෙසැම්බර් මාසයේ දී එවකට නැගෙනහිර විශ්ව විද්‍යාලයේ උපකුලපති මහචාර්ය සුබ්‍රමනියම් රවීන්ද්‍රනාත්ව අතුරුදන් කිරීම, 2025 ජනවාරි වන තුරු ඒ කියන්නේ වසර 18ක් යන තුරුම මේ පිළිබඳ පිල්ලෙයාන්ට එරෙහිව කිසිම චෝදනාවක් නෑ. 2025 ජනවාරි මාසයේ දී අරුන් හේමචන්ද්‍රන් නියෝජ්‍ය ඇමතිවරයාගේ ඥාතියෙකු හදිසියේ සීඅයිඩියට ලබා දෙන සාක්ෂියක් මත තමයි මේ අත්අඩංගුවට ගන්නේ. පසුගිය 8දා අත්අඩංගුවට ගන්නා තුරු තමන්ට උපකුලපතිවරයෙකු අතුරුදන් කළා කියලා චෝදනාවක් තිබෙන බව පිල්ලෙයාන්වත් දන්නේ නෑ.

මේ අතුරුදන්වීමට පිල්ලෙයාන් සම්බන්ධද නැද්ද කියන කතාව පැත්තකින් තියමු. කොටි නායකයන් අද මන්ත්‍රීවරු වෙලා පාර්ලිමේන්තුවේ ඉන්නවා. මගේ දෙවියා මගේ නායකයා ප්‍රභාකරන් කියලා අර්චුනාට යහතින් ඉන්න පුළුවන්.

පිල්ලෙයාන් මාව පෞද්ගලිකව හමු වී ඇත්තේ දෙපාරක් පමණයි. නමුත් ඔහු වෙනුවෙන් මම පෙනී සිටින්නේ ලාංකිකයින් ගුණමකු ජාතියක් නොවන බව පෙන්වන්නයි. ත්‍රස්තවාදයට විරුද්ධ වීම නිසා කාට හරි දඬුවම් කරනවා නම් අපි ඒ අය වෙනුවෙන් කොන්දේසි විරහිතව පෙනී සිටිනවා. එහෙම නොකළොත් අනාගතයේ දී ත්‍රස්තවාදය අත්හැර ත්‍රස්ත විරෝධින් සමග එකතු වෙලා ත්‍රස්තවාදය විනාශ කරන්න කිසිවෙකු ඉදිරිපත් වෙන්නේ නෑ.

පිල්ලෙයාන්ගෙන් පාස්කු ප්‍රහාරය පිළිබඳ තොරතුරු රාශියක් අනාවරණය වුණු බවට මහජන ආරක්ෂක අමාත්‍යතුමා අප්‍රේල් 10දා පාර්ලිමේන්තුවට කිව්වා. ඒ වගේම පාස්කු ප්‍රහාරය විමර්ශන යටතේ මඩකලපුවේ කෙනෙකු අත්අඩංගුවට ගත්තා කළා අප්‍රේල් 12දා ජනාධිපතිතුමා මඩකලපුවේ දී කිව්වා. පට්ටපල් බොරු.

මේ තිබෙන්නේ ජනාධිපතිවරයා විසින් අත්සන් තබා නිකුත් කළ පිල්ලෙයාන් පිළිබඳ රැඳවුම් නියෝගය. (රැඳවුම් නියෝගය කියවයි) මේකේ පාස්කු ප්‍රහාරය ගැන වචනයක්වත් කියවෙනවා ද? නෑ. අධිකරණයට ඉදිරිපත් නොකර ජනාධිපතිගේ රැඳවුම් නියෝගයක් යටතේ තබා ගන්නේ අධිකරණයට ඉදිරිපත් කලා නම් අත්අඩංගුවට ගැනීමට බල පෑ හේතු සාක්ෂි සහිතව ඉදිරිපත් කරන්න වෙන නිසා මේ බොරුව හෙළි වෙනවා.

මම අප්‍රේල් 13දා පරණ අවුරුදු දා පොලිස් නිලධාරින් හතරදෙනෙකු ඉදිරිපිට දී පිල්ලෙයාන්ට කතා කළේ. ඒ කියන්නේ ජනාධිපති සහ පොලිස් ඇමති පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් පිල්ලෙයාන් සම්බන්ධ බවට ප්‍රකාශ කලාට පස්සේ. පාස්කු ප්‍රහාරය පිළිබඳ එක වචනයක් පිල්ලෙයාන් කතා කරලා නෑ. එහෙම ප්‍රකාශයක් කරන්න පාස්කු ප්‍රහාරය ගැන මෙලෝ දෙයක් පිල්ලෙයාන් දන්නෙත් නෑ.


advertistmentadvertistment