සංස්කාරයෝ කෙරෙහි තෘෂ්ණාව භව දුකට මුලය

7

පින්වත, ඔබ පංච උපාදානස්කන්ධයෝ සතුටින් ම පිළිගන්න කෙනෙක් ද? එසේත් නැතිනම් පංච උපාදානස්කන්ධයෝ විදර්ශනාවෙන් දකින පින්වතෙක් ද? පින්වත, පංච උපාදානස්කන්ධයෝ විනිවිද දකින්න නම් සති සම්බොජ්ඣංගය තිබෙන්න ම ඕනේ. පින්වත, සන්දර්ශන අසිරියෙන් සමාජගත වන කාමයේ සහ රූපයේ කෙටි ආස්වාදයෝ මධ්‍යම ප්‍රතිපදාව වන ආර්ය අෂ්ටාංගික මාර්ගයට බරපතළ අනතුරක් මයි. පින්වත, ගෙවී ගිය පුණ්‍යවන්ත වෙසක් මංගල්‍යයේ දී පින්වත් ඔබ සද්ධර්මය දැක්කා ද? එසේත් නැතිනම් කාමච්ඡන්ද, ව්‍යාපාද, ථිනමිද්ධ, විසිරුණු සිතුවිලි, සැකය යන පංච නීවරණයෝ දැක්කා ද? පින්වත, කාමච්ඡන්දයෝ කියන්නේ ඇස, කන, නාසය, දිව, ශරීරය, මනස පිනවීමයි. පින්වත, වෙසක් අසිරිය නරඹන්න ගිහිල්ලා කාමච්ඡන්දයෝ නේද වැඩිපුරම ජීවිතයට එකතු කොට ගත්තේ? පින්වත, දස පාරමී පුණ්‍ය ශක්තියෙන් පරිපූර්ණ වූ බුදුරජාණන් වහන්සේත් ජරා, ව්‍යාධි, මරණයන්ට පොදු ධර්මතාවයක් වුණා. “අනේ මටත් මෙම ධර්මතාවයෝ උරුමයි” යන සති සම්බොජ්ඣංගයෙන් පෝෂණය වූ සංස්කාරයන්ගේ අනිත්‍ය දැක්ම එක සිතුවිල්ලකින් හෝ වෙසක් අසිරිය මැද ඔබ තුළ ඇති වුණා ද? පින්වත, තෘෂ්ණාව දුකට මුලයි, සංස්කාරයෝ කෙරෙහි තෘෂ්ණාව භව දුකට මුලයි. පින්වත, බුදුරජාණන් වහන්සේ පිදිය යුත්තේ පංච නීවරණයන්ගෙන් නොව සප්ත බොජ්ඣංගයන්ගෙනුයි. පින්වත, දිනෙන් දින සමාජය තුළ ශෝක, පරිදේව දුක් දෝරේ ගලා යනවා නේද? පින්වත, වෙසක් සතියේදීත් අපි සළායතනයෝ පිනවමින්, කාමච්ඡන්දයෝ ම ඇති කොට ගන්නේ නම්, හෙට දවස අදට වඩා දුකක් වේවි නේද? පින්වත, රටක ප්‍රශ්න වැඩි වෙන කොට, ප්‍රශ්න අමතක කරන්න සංදර්ශන අසිරිය කලඑළි බහිනවා. මේවා මෝහයේ හේතුඵල ධර්මයෝ මයි. පින්වත, සීමාව ඉක්මවා ක්‍රියාත්මක කරවන සන්දර්ශන අසිරියට ගොදුරු වෙන්න එපා, මධ්‍යස්ථභාවයයි ආර්ය අෂ්ටාංගික මාර්ගයට ශක්තියක් වෙන්නේ. පින්වත, සළායතනයෝ පිනවමින්, අවිද්‍යාව නළවමින්, තෘෂ්ණාවේ රිද්මයට අපි මේ දෙපා තබන්නේ, අදට වඩා සංවර්ධිත ශෝක, පරිදේව දුක් උදෙසා මයි.

පින්වත, අපි සියල්ලන්ට ම ඉහළම පුණ්‍ය ප්‍රතිලාභයක් සකස් කොට දෙන පුණ්‍යකර්මය තමයි, මෛත්‍රිය යැයි කියන්නේ. පින්වත, මෛත්‍රියට ආනිශංස ධර්මයෝ එකොළහක් පනවලා තිබෙනවා. පින්වත, යහපත් ආනිශංසයෝ බහුල වුවද, මේ දවස්වල ඔබ තුළ මෛත්‍රිය තිබෙනවා ද? එහෙමත් නැතිනම් ගැටෙන සිතුවිලි වැඩි ද? පින්වත, සියලු සංස්කාරයෝ වෙනස් වෙලා යනවා. සංස්කාරයෝ වෙනස් වෙලා යන්නේ අලුත්, අලුත් සංස්කාරයෝ පටිච්චසමුප්පන්නව රැස් කොට දීලා. පින්වත, උතුම් සම්මා සම්බුද්ධ ශාසනය යැයි කියන්නේ උතුම් චතුරාර්ය සත්‍යය ධර්මයන්ටයි. පින්වත, අපි උතුම් චතුරාර්ය සත්‍යය ධර්මයන්ගෙන් පිරිහෙන කොට උතුම් සම්මා සම්බුද්ධ ශාසනය අනාගතයේ දී ‘සම්මාදම් ශාසනයක්’ බවට පත් වෙනවා. එදාට චතුරාර්ය සත්‍යය ධර්මයෝ මෙහෙම විකෘතියක් වේවි. සැපයට එකම හේතුව මුදල්, මුදල් නැතිනම් සැප නැහැ, මුදල් සෙවීමේ මාර්ගය අධිවේගී මිච්ඡා ආර්ය අෂ්ටාංගික මාර්ගයයි. පින්වත, භික්ෂුව මෙහෙම අනාගතය ගැන සටහන් තබද්දී, පින්වත් ඔබ ගැටෙන සිත් එහෙම ඇති කොට ගන්න එපා. පින්වත, අනාගතයේ සමාජගත වන මෙම විකෘතීන්ට වරදකරු පින්වත් ඔබවත්, භික්ෂුවවත් නොවේ, අපි දෙගොල්ලන්ගේ ම අවිද්‍යාවයි. පින්වත, බුදුරජාණන් වහන්සේ නමක් මනුෂ්‍ය ලෝකයේ බෝධිසත්ත්වයන් ලෙස උපත ලබන්නේ කාලය, ද්වීපය, දේශය, කුලය, මව කියන පස් මහා බැලුම් බලලා. පින්වත, නොකල්හි බුදුරජාණන් වහන්සේලා පහළ වෙන්නේ නැහැ. වර්තමානයේ බුදුරජාණන් වහන්සේ නමක් පහළ වුණොත් “අවිද්‍යාව” බුදුරජාණන් වහන්සේවත් පෙන්වලා සම්මාදම් එකතු කරාවි කියලා භික්ෂුවට සිතෙනවා. පින්වත, එම සිතුවිල්ල වැරදි නම් කරුණාකර, භික්ෂුවගේ අවිද්‍යාවට මෙත් සිතින් සමාව දෙන්න.

සංස්කාරයෝ කෙරෙහි තෘෂ්ණාව භව දුකට මුලය

පින්වත, අවිද්‍යා බැලුම් බෝලයේ හුළං බසිද්දී, සංස්කාර පොම්පෙන් හුළං ගහන්න ඕනේ. එසේ නොවුණොත්, අවිද්‍යා බැලුම් බෝලයේ වර්ණය, සැපය, බලය පිරිහිලා යනවා. පින්වත, ජීවිතය යැයි කියන්නේ සර්පයෙක්. මේ සර්පයා හිසෙන් මයි අල්ලාගත යුත්තේ. මේ සර්පයා වලිගයෙන් ඇල්ලුවොත් සර්පයා, සර්පයාට ම දෂ්ට කරනවා. පින්වත, ඔබේ ඵස්සය ඇසුරෙන් සකස් වන ඇලීම් සහ ගැටීම් සර්පයාගේ වලිගයයි. ඔබ ඇලෙන සහ ගැටෙන සෑම සිතුවිල්ලක දී ම ජීවිතය නමැති සර්පයාව ඔබ වලිගයෙන් අල්ලාගත් අදක්‍ෂයෙක් වෙනවා. එවිට සංස්කාර සර්ප විෂ තමාට ම පෙරළා දෂ්ට කරනවා. පින්වත, ජීවිතය නමැති අවිද්‍යා විෂ සහිත සර්පයාව, ඵස්සය හේතුවෙන් සකස් වන උපේක්‍ෂාවේ හිසෙන් අල්ලන්න පුහුණු වෙන්න. පින්වත, උපේක්‍ෂාවේ හිසෙන් ඔබ සර්පයාව අල්ලා ගත්තොත්, පුංචි සංස්කාර විෂක් ජීවිතගත වුවත්, ඔබ සර්ප විෂෙන් සිහිමුර්ජා වෙන්නේ නැහැ. පින්වත, බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයා ගිහි පින්වතුන්ලා වගේ විඳීමේ හිස වන උපේක්‍ෂාවෙන් හෝ විඳීමේ වලිගය වන ඇලීම් සහ ගැටීම්වලින් ජීවිතය නමැති සර්පයා අල්ලන්නේ නැහැ. උන්වහන්සේලා සංස්කාර විෂ සහිත සර්පයාව ආරක්‍ෂිතව අල්ලා ගන්නේ, රූපය ඇසුරින් සකස් වන ඵස්සයේ හිස තුළින් මයි. ඵස්සය හේතුවෙන් සකස් වන විඳීම දක්වා, උන්වහන්සේලා ප්‍රමාදීභාවයට පත් වෙන්නේ නැහැ. එම නිසා උන්වහන්සේලා විෂ රහිතවයි වැඩ සිටින්නේ. පින්වත, භව ප්‍රමාදීභාවය මොනතරම් නම්, පුංචි නිමේෂයක් තුළ සැඟවී තිබෙනවා ද? මේ පුංචි නිමේෂය අපිට පැහැදිලි කොට දෙන්නේ සම්මා සමාධියේ බොර නොවූ පැහැදිලි සිහිනුවණ මයි.

පින්වත, උතුම් සෝවාන්, සකෘදාගාමී, අනාගාමී, අරිහත් ඵලයන් ගැන සිත, සිතා විතර්ක කරමින් ඉන්න එපා. පින්වත, විතර්ක කිරීමෙන් ලබා ගත හැකි ධර්මානුකූල ජයග්‍රහණයක් සම්මා සම්බුද්ධ ශාසනය තුළ නැහැ. පින්වත, විතර්කයෝ, සංස්කාරයි උපද්දවා දෙන්නේ. පින්වත, ඔබ තුළ සකස් වන සිතුවිල්ලක් සම්මා සමාධිමත් සිතින් සතර සතිපට්ඨාන ධර්මයන් තුළින් විනිවිද නොදැක්කොත්, එම සිතුවිල්ල වේදනා පච්චයා තණ්හා, උපාදාන, භව, ජාති දක්වා පටිච්චසමුප්පන්නව දුර ගමන් යනවා. පින්වත, අපි ඵස්සයේ අවිද්‍යාවෙන් සංස්කාර අධිවේගී මාර්ගයට ඇතුල්වෙලා ජාති, ජරා, ව්‍යාධි, මරණ නිවා දමන ගමනාන්තයෙන් ගමන අවසන් නොකර, සංස්කාර අධිවේගී මාර්ගයේ එහා මෙහා යන්න හරිම හපන්නු. පින්වත, සංස්කාර අධිවේගී මාර්ගයේ පටිච්චසමුප්පන්නව දුවන ඔබේ ජීවිතය, එක විනාඩියක් ඔබ ආරක්‍ෂාකාරී සතර සතිපට්ඨාන නැවතුමක නවතා ගත්තොත්, ඔබ අත්දකින්නේ තෘෂ්ණාවේ විවේකයෙන් ඔබේ ආධ්‍යාත්මය ලබන ආර්ය සප්ත බොජ්ඣංගයන්ගේ හැඩරුවයි. පින්වත, අනුනගේ වරදක් නැති සංස්කාර ලෝකයක, අපි අපේම වරදින් දඬුවම් ලබනවා. පින්වත, ඇත්ත අපිට තිත්ත නිසා ම, අපි හැමෝගේ ම උත්සාහය තමා නිවැරදි වී, වැරදිකරුවන් සෙවීමයි. පින්වත, යල්පැන ගිය පටිච්චසමුප්පන්න අවිද්‍යාවෙන් පණ ගැහෙන, සංස්කාර මුඩු බිමේ, කෙසේ නම් සති සම්බොජ්ඣංගයේ මුල් පැළ වෙන්න ද? පින්වත, වැරදිකරුවන් සෙවීමට පෙරාතුව ඔබ, ඔබ ගැන සොයන්න. පින්වත, අවිද්‍යාවේ මුලෙන් පටිච්චසමුප්පන්නව ජාති, ජරා, ව්‍යාධි, මරණ, පංච උපාදානස්කන්ධ දුක් පූදින අපි හැමෝගේ ම ජීවිත දෙස කරුණාකර අධර්මයේ ඇසෙන් නොව, ධර්මයේ ඇසෙන් බලන්න දක්‍ෂ වෙන්න.

පින්වත, තෘෂ්ණාවෙන් තොරව කිනම් සැපයක් ද යැයි, “මෝහය” බොරු කියන ලෝකයක, දුකට එකම හේතුව තෘෂ්ණාව යැයි චතුරාර්ය සත්‍යය ධර්මයන්ට පණ දෙන කල්‍යාණ මිත්‍රයා සහ කල්‍යාණමිත්‍ර ආශ්‍රය, සම්මා සම්බුද්ධ ශාසනය සේ ම වටිනවා. පින්වත, අපේ කල්‍යාණ මිත්‍රයා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වූ කල්හි, අපිට ඇසෙන්නේ චතුරාර්ය සත්‍යය ධර්මයෝ නොව, බදු බරේ අඳෝනාවයි. පින්වත, බුදුරජාණන් වහන්සේ දේශනා කොට තිබෙනවා, “ප්‍රණීත, ප්‍රණීත දෙය පූජා කරන්නාට, පෙරළා ප්‍රණීත, ප්‍රණීත දේවල් ලැබෙනවා” ය කියලා. “විසිතුරු, විසිතුරු දෙය පූජා කරන්නාට පෙරළා විසිතුරු, විසිතුරු දෙය ලැබෙනවා” ය කියලා. පින්වත, ඉහත ධර්මානුකූල හේතුඵල ධර්මයන්ට කියන්නේ, ‘ධනවාදය’ කියලා නොවේ, කර්මය කර්මඵල විශ්වාසයෙන් උපදින දානයේ ආනිශංස පිළිබඳව විශ්වාසය කියලයි. පින්වත, දානයේ අග්‍රම ඵලයන් ඔබට ලබාදෙන්නේ මහා සංඝරත්නය අරමුණු කොට පූජා කර ගන්නා වූ දානයයි. පින්වත, මල්ලිකා බිසව පූජා කොට ගත් ‘අසදිස’ දානයේදීත්, කොසොල් රජතුමාගේ ඇමති මණ්ඩලයේ මිථ්‍යා දෘෂ්ටික සාමාජිකයෙක් චෝදනා කළා, “භාණ්ඩාගාරයේ ධනය දන්දීම උදෙසා නාස්ති කරනවා” ය කියලා. හැබැයි ඉතින් කොසොල් රාජ්‍යය බංකොලොත් වුණාය කියලා අපි කවුරුවත්ම අහලා නැහැ. පින්වත, ඔබට ලැබෙන ප්‍රණීත, විසිතුරු දේවල් සිල්වත්භාවයෙන් පරිහරණය කිරීමට ඔබට සිත නොදෙනවා නම්, ඊට ධර්මානුකූල හේතුව ප්‍රණීත, විසිතුරු දේවල් පරිහරණය කිරීමට අදාළ අතීත සංස්කාරයන්ගේ දුර්වලභාවයයි. පින්වත් ගිහි ජීවිත ගත කරන ඔබට ධාර්මිකව ලැබෙන ප්‍රණීත සහ විසිතුරු සංස්කාරයෝ ආජීව අට්ඨමක සීලයේ ආරක්‍ෂාව තුළ හිඳිමින් පරිහරණය කිරීමේ නිදහස ශාසනය තුළ තිබෙනවා. ශාසනයේ ප්‍රධාන ගිහි දායකයන් වූ අනේපිඬු සිටුතුමා, විශාකා උපාසිකාව පූර්වාදර්ශීව ඉහත අර්ථයන් තුළ ජීවත් වුණා. වෙහෙස මහන්සි වී ධාර්මිකව හම්බ කරලා ප්‍රණීත, විසිතුරු ජීවිත ගත කළා, නමුත් මේ විසිතුරු, ප්‍රණීත සංස්කාරයෝ බුක්ති වින්දේ, පංච උපාදානස්කන්ධ ධර්මයන්ගේ අනිත්‍යභාවය දකිමින් මයි.

පින්වත, ගෙවී ගිය පුණ්‍යවන්ත වෙසක් මංගල්‍යයේ පූජනීය වගකීම බවට පත් වුණේ, ලෞකික සහ ලෝකෝත්තර සැපයට එකම මාර්ගය වන චතුරාර්ය සත්‍යය ධර්මයන්ගෙන් පෝෂණය වූ ආර්ය අෂ්ටාංගික මාර්ගය අර්ථවත්ව අපේ ජීවිතවලට එකතු කොට ගැනීමයි. පින්වත, සමාජගත සම්මා දිට්ඨියේ දුර්වලභාවයන් නිසා ම, වෙසක් සිරි නරඹන්න ගිහිල්ලා පංච නීවරණයෝ තීව්‍ර කොට ගත්තා නම්, අධර්මය ධර්මය සේ දැක්කා නම්, නුවරඑළියේ ශීතලේ රාජ්‍ය වෙසක් නරඹන්න ගිහිල්ලා, වෙසක් දවසේත් ඇඟ රත් කර ගත්තා නම්, හෝ ආර්ය අෂ්ටාංගික මාර්ගය පූර්වාදර්ශීව හඳුනන ඔබ, සිත, කය, වචනය සංවර කොට ගෙන වෙසක් සිරි නැරඹුවා නම්, මේ සෑම පංච නීවරණයන්ට සහ සප්ත බොජ්ඣංගයන්ට අයිති ක්‍රියාවක් ම, සතර සතිපට්ඨාන ධර්මයන් තුළ විසිරුවා දකින්න දක්‍ෂ වෙන්න. පින්වත, ප්‍රමාදී පුද්ලගයා මයි කල්‍යාණමිත්‍ර ආශ්‍රය තුළින් අප්‍රමාදීභාවය මතු කොට ගන්නේ. පින්වත, අප්‍රමාදී පින්වතා මයි දුකට අයිති ලෝකය දුක තුළම තිබෙන්නට හැරලා ලෝකයෙන් නිදහස් වෙන්නේ.

පින්වත, මොහොතක් දෑස් පියාගෙන ගෙවී ගිය වෙසක් සතිය සතර සතිපට්ඨාන ධර්මයන් තුළ විසිරුවා දකින්න. උතුම් තෙමඟුලට මුල් වූ ලොව්තුරා බුදුරජාණන් වහන්සේගේ භාග්‍යවන්ත රූපය සිහියට නගා ගන්න. පින්වත් ඔබේ ආධ්‍යාත්මික රූපයත් සිහියට නගා ගන්න. වෙසක් සතියේ ඔබේ සළායතනයන්ට අරමුණු වූ සෑම රූපයක් ම, වෙසක් සැරසිලි, දන්සැල්, තොරණ සිහියට නගාගෙන, මේ සෑම රූපයක් ම කායානුපස්සනාවෙන් දකින්න. මේ සෑම රූපයක් ම කැඩී, බිඳී, විසිරී මහ පොළොවට පස්වෙන හැටි නුවණින් දකින්න. බාහිර සතර මහා ධාතුවට ම මුහුවෙන හැටි නුවණින් දකින්න. පින්වත, වෙසක් සතියේ ඵස්සය හේතුවෙන් ඔබ තුළ සකස් වූ හොඳ සහ නරක, අධර්මයේ සහ ධර්මයේ සෑම සිතුවිල්ලක් ම සිහියට නගාගෙන, එම සෑම සිතුවිල්ලක් ම චිත්තානුපස්සනාවෙන් අනිත්‍ය බව දකින්න. පින්වත, වෙසක් සතියේ ඔබ තුළ ඵස්සය හේතුවෙන් සකස් වුණ සැප, දුක් සහ උපේක්‍ෂා සෑම විඳීමක් ම මේ වන විට මිරිඟුවක් සේ අනිත්‍ය වී ගිය හැටි වේදනානුපස්සනාවෙන් දකින්න. පින්වත, උතුම් තෙරුවන්ගේ පටන්, ඔබ තුළ වෙසක් සතියේ වැඩුණ කුසල් සහ අකුසල් සංස්කාරයෝ ද, පංච නීවරණයෝ සහ සප්ත බොජ්ඣංග ධර්මයෝ ද, ඉහත ඔබ මතු කොට ගත්තා වූ කායානුපස්සනාව, චිත්තානුපස්සනාව, වේදනානුපස්සනාව ද අනිත්‍ය වී යන ධර්මතාවයෝ යැයි ධම්මානුපස්සනාවෙන් දකින්න. පින්වත, අපි හැමෝගේ ම තෘෂ්ණාවෙන් දුර්වල වන සම්මා දිට්ඨියට, යළි චතුරාර්ය සත්‍යය ධර්මයන්ගෙන් පණ දිය හැක්කේ, රාජ්‍ය සහ ව්‍යාපාරික ජවයෙන් එළිදකින අධිසංදර්ශන අසිරියට නොව, උතුම් සතර සතිපට්ඨාන ධර්මයන්ගෙන් උපදින, විදර්ශනාමය කුසල් ධර්මයන්ට ම බව කර්මය කර්මඵල විශ්වාසයෙන් යුතුව සිහිපත් කොට ගන්න කාරුණික වෙන්න.

පූජ්‍ය රාජගිරියේ
අරියඥාන ස්වාමින්වහන්සේ


advertistmentadvertistment