ලංකාවේ බිහිසුණුම ගුවන් අනතුරට වසර 50ක්
මගීහු 182ක් සහ කාර්යමණ්ඩලයේ 9ක් දිවි පුදති
එක සිරුරක් පෙම්වතා පැමිණ ඉන්දුනීසියාවට ගෙන යයි
මේජර් ලකී අල්ගම එක්ක 100ක භට පිරිසක් අනතුර වුණ තැනට ගියා සිරුරු 190ක් සමූහ මිනී වළක භූමදාන කළා – සිද්ධිය ඇසින් දුටු ජී.එච්.නිමල් ද සිල්වා
කන්දේ ගුවන් යානයක් හැපුණා දෝ කොහෙද කියා වත්තේ සොයිසා මහත්තයා කීවා – වීරප්පන් රාජ් කියයි
ගුවන් යානයේ කොටස් සමහරු අරන් ගියා – සිද්ධිය ඇසින් දුටු සප්ත කන්‍යා කඳු පාමුල පදිංචිව සිටින තිලක්
ශ්‍රී ලංකාවේ මෙතෙක් සිදුවූ බිහිසුණුම ගුවන් අනතුර සිදු වී අද (04) දිනට වසර පනහක් සපිරෙයි.
1974.12.04 දින ඉන්දුනිසියාවේ සුරවේයාර් ගුවන්තොටුපළින් මගින් සහ කාර්ය මණ්ඩලයේ 191 දෙනකු රැගෙන මක්කම බලා පියාසර කළ ගුවන් යානය එදින රාත්‍රි 10.10 ට නෝටන්බ්‍රිජ් පොලිස් වසමට අයත් ටෙබර්ටන් සප්ත කන්‍යා කඳු වැටියේ ගැටී ගුවන් යානයේ ගමන් ගත් මගීහු 182 දෙනෙක් සහ කාර්ය මණ්ඩලයේ 09 දෙනෙක් එම ස්ථානයේදීම ජීවිතක්ෂයට පත් වූහ.
ඉන්දුනිසියාවේ සුරවේයාර් ගුවන්තොටුපළේ සිට ශ්‍රී ලංකාව හරහා මක්කම දක්වා අඩි 36000 ක් ඉහළින් පියාසර කරමින් තිබූ ඩී.සී 08 ගුවන් යානයේ හදිසියේ ඇති වූ කාර්මික දෝෂයක් හේතුවෙන් එය කටුනායක ගුවන් තොටුපළේ ගොඩබැස්සවීම සඳහා ගුවන් නියමුවා විසින් ගුවන්තොටුපළේ ගුවන් පාලකවරයාගෙන් අවසර ඉල්ලා ඇති අතර, එහිදී ගුවන් යානය අඩි 4000 දක්වා පහත් කර පියාසර කරන ලෙසට ලැබුණේ යැයි කියන උපදෙස් මත ගුවන් යානය පහත්කර සප්ත කන්‍යා කඳුවැටිය අසලින් පියාසර කිරීමේ දී එම ගුවන් යානයේ වම්පස තටුව කඳුවැටියේ ගැටීමෙන් පසු ගුවන් යාන පුපුරා එහි ගමන් ගත් සියලු දෙනා ජීවිතක්ෂයට පත් වී ඇත.
බගවන්තලාව, කාසල්රි ජලාශයට ඉහළින් පියාසර කර ඇති ඩී.සී 08 ගුවන් යානය එදින රාත්‍රී 10.10 ට පමණ සප්ත කන්‍යා කඳුවැටියේ ගැටී එහි ගමන් ගත් සියලු දෙනා ජීවිතක්ෂයට පත් වූ බවත්, එහි කාර්ය මණ්ඩලයේ ගුවන් සේවිකාවකගේ සිරුර පමණක් ඉන්දුනිසියාවේ සිට මෙරටට පැමිණ ඇයගේ පෙම්වතා විසින් හෙලිකොප්ටර් යානයකින් ඉන්දුනිසියාව දක්වා රැගෙන ගිය බවත් අනතුර සිදු වූ දින අනතුර දැක බලා ගැනීමට ගිය පිරිස කියා සිටියහ.
ගුවන් අනතුර සිදු වී වසර පනහක් ගතවීම නිමිත්තෙන් ඒ පිළිබඳව සොයා බැලීමට අප සප්ත කන්‍යා කඳු වැටිය පාමුල මුල්ගම වතුයායට ගිය අතර, එහිදී දක්නට ලැබුණේ ගුවන් අනතුරෙන් මියගිය අය මිහිදන් කළ ස්ථානය කැළැවැදී තිබූ ආකාරයකි.
පසුව අපට ගුවන් අනතුර සියසැන් දුටුවන් දෙදෙනකු සොයා ගැනීමට හැකි වූ අතර ඔවුහු දෙදෙනා සිය අත්දැකීම් අප සමග මෙසේ පැවසූහ.
අනතුරෙන් පසු එම ස්ථානයට ගිය නොර්වුඩ් ග්ලැන්කන් ප්‍රදේශයේ පදිංචි ජී.එච්.නිමල් ද සිල්වා (69) මහතා කියා සිටියේ මට එතකොට අවු 19 යි, එවකට මම රැකියාව කළේ දියතලාව යුද හමුදා කඳවුරේ පළමුවැනි ගැමුණු හේවා බළකායේ රියැදුරකු වශයෙන්.
ගුවන් අනතුර සිදු වුණාට පස්සේ ගැමුණුහේවා බලැණියේ අණදෙන නිලධාරි වශයෙන් එවකට සේවය කළ මේජර් ලකී අල්ගම මහතා සමග සියයකට ආසන්න භට පිරිසක් රැගෙන ගුවන් අනතුර සිදු වූ ස්ථානයට ගියා.
අප නතර වුණේ කොත්තැල්ලෙන සිංහල මහා විද්‍යාලයේ, අපේ භට පිරිස්වලට පැවරිලා තිබුණ වගකීම තමයි ගුවන් අනතුරෙන් පසු කන්ද මුදුනේ සහ පාමුල තිබුණු මියගිය අයගේ සිරුරු එක තැනකට රැස් කරන්න.
ඒ අනුව අපි ගුවන් අනතුරෙන් මියගිය අයගේ සිරුර සප්ත කන්‍යා පාමුලට එක්රැස් කළා.
ඊට පස්සේ ගුවන් අනතුරෙන් මියගිය 190 දෙනෙකුගේ සිරුරු එම ස්ථානයේ සමුහ මිනී වළක් ලෙස සාදා භුමිදානය කළා.
ඇත්තටම මගේ ජිවිතේ දැකපු විශාලතම ඛේදවාචකයක්, ඒක අදටත් මට මතක් වෙනකොට හරි කනගාටුවක් ඇති වෙනවා” යැයි පැවසීය.
නෝටන්බි්‍රජ් පොලිස් වසමට අයත් සප්ත කන්‍යා කඳු පාමුල පදිංචිව සිටින තිලක් (62) මහතා මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් මෙසේ කියා සිටියේය. “අනතුර සිද්ධ වෙනකොට මට අවුරුදු 12 යි. ගුවන් අනතුරෙන් පස්සේ ඒක බලන්න ගොඩාක් අය එතනට ආවා. මම දැක්කා ගුවන් අනතුරෙන් පහලට වැටිලා තිබු ගුවන් යානයේ කොටස් එතනට ආව ගොඩාක් අය අරගෙන යනවා.
දින ගණනාවක් ඒ වගේ ගුවන් අනතුර සිදු ස්ථානය බලන්න විශාල පිරිසක් ආවා යනුවෙන් පැවසිය.
මෙම ගුවන් අනතුර සියැසින් දුටු සප්ත කන්‍යා කදු පාමුල පිහිටි ටෙබර්ටන් වතුයායේ පදිංචි වීරප්පන් රාජ් (58) කියා සිටියේ අනතුර සිදුවෙනකොට මට අවු 7-8 ක් විතර වෙනවා, රෑ 10.10 ට විතර අපේ වත්තේ තේ කර්මාන්ත ශාලාවේ නලාව නාද වුණා.
අපි සේරම කර්මාන්ත ශාලාව දෙසට දිවගියා, එතකොට වත්තේ අයිතිකරු සොයිසා කියලා මහත්තයෙක් හිටියේ, එයා කිව්වා කන්දේ ගුවන් යානයක් හැප්පුණා වගේ සද්දයක් ඇහුණා කියලා.
කැළේ මීදුම නිසා අපිට එතනට යන්න බෑ කියලා ඒ පිළිබඳව නෝටන්බ්‍රිජ් පොලිසියට මහත්තයා පණිවිඩයක් යවලා දැනුම් දුන්නට පස්සේ ඊට පසුදින පොලිසියෙන් විශාල පිරිසක් ගුවන් අනතුර සිදුවුණ තැනට ආවා.
හෙලිකොප්ටර් දෙකකුත් ආවා, එම හෙලිකොප්ටර් දෙක පහල තමයි නතර කරලා තිබුණේ, ගුවන් අනතුර බලන්න ආව ගොඩාක් අය ගුවන් යානයේ කෑලි අරගෙන ගියා” යනුවෙන් පැවසීය.
අනතුරට පත් ගුවන් යානයේ එක් රෝදයක් අදටත් නෝටන්බි්‍රජ් විමලසුරෙන්ද්‍ර ජලාශය ඉදිරිපිට ප්‍රදර්ශනය සඳහා තබා ඇත. එම ගුවන් අනතුරෙන් මිය ගිය ගුවන් නියමුවන්ගේ සහ කාර්ය මණ්ඩලයේ නාමයන් එම සිහිවටනයේ සඳහන් කර ඇත.
නුවරඑලිය නාලක රත්නායක