පොලිසිය සහතික වෙයි
සම්බාහනය මුවාවෙන් ගණිකා නිවාස පවත්වාගෙන ගිය කුලියාපිටියේ ස්ථාන සියල්ල වසා දමා ඇතැයි සපත කළ හැකි බව කුලියාපිටිය පොලිසිය කියයි.
වැටලීම් අරඹා සතියක් යන්නටත් මත්තෙන් කුලියාපිටිය පොලිස් බල ප්‍රදේශයේ තිබූ එවැනි ස්ථාන සියල්ල වසා දමා ඇතැයි පොලිසිය කියයි.
දණ්ඩගමුවේ පැවැති ගණිකා නිවස වටලා ගණිකා සේවයේ යෙදුණු කතුන්, කළමනාකරු ඇතුළුව පිරිසක් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර රක්‍ෂිත බන්ධනාගාරගත කිරීමෙන් අනතුරුව පසුදිනම පොලිසිය ළමා හා කාන්තා කාර්යාංශවල සහභාගිත්වයෙන් සියලු සම්බාහන මධ්‍යස්ථාන පරීක්‍ෂා කර ඇත.
එහිදී ඇතැම් සම්බාහන මධ්‍යස්ථානවල ආයුර්වේද වෛද්‍යවරයකු හෝ නිසි පුහුණුවක් ලත් තෙරපිවරියන් සිට නැත. තවත් බොහෝමයක ක්‍රමවත් පාරිභෝගික ලේඛනයක් පවත්වා ගෙන ගොස් නොතිබිණ. එමෙන්ම බොහෝ තෙරපිවරියන්ට නීත්‍යානුකූල වෛද්‍ය සහතික නොමැතිව එම සේවය සපයමින් සිට ඇත.
සම්බාහනය මුවාවෙන් ගණිකා සේවය හෝ ලිංගික ක්‍රියාකාරකම් වෙනුවෙන් කාන්තාවන් මුදලට අලෙවි කරන බවට මොනම අයුරකින් හෝ තොරතුරු ලදහොත් එම සම්භාහන මධ්‍යස්ථාන ද ගණිකා නිවාස ලෙසින් වැටලීමට සිදුවන බව සෑම සම්භාහන මධ්‍යස්ථානයකටම අවධාරණය කළ පොලිසිය පෙන්වා දුන් සියලු අඩුපාඩු සතියක් ඇතුළත සිදුකරන නිරීක්‍ෂණයේදී සැකසී තිබියයුතු බව ද අවධාරණය කළේය.
සතියකින් පසු ඊයේ (07 දා) යළිත් කළ සෝදිසියේදී එසේ තිබූ සම්බාහන මධ්‍යස්ථාන සියල්ලම වසා දමා ගොස් තිබීමෙන් ගම්‍ය වන්නේ එම ස්ථානවල ද සිදුව ඇත්තේ ගණිකාවන් සැපයීම බවට උපකල්පනය කළහැකි යැයි පොලිසිය කියයි.
කුලියාපිටිය මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්‍ෂක කමල් රත්නායක මහතා ළමා හා කාන්තා කාර්යාංශ නිලධාරිනියන් සමගින් ගොස් අදාළ සෝදිසිය ඊයේ (07දා) සිදුකර තිබිණ.
කුලියාපිටිය – උපේන්‍ද්‍ර සේරසිංහ