සරසවි සිසුවකුට පහරදීම: ජ’පුර 6කගේ පන්ති තහනම්

5

සැකකාර සිසුන් අත්අඩංගුවට ගන්න පොලිසියෙන් විමර්ශන

ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ තාක්ෂණ පීඨයේ තෙවැනි වසරේ සිසුවකුට පහරදීමේ සිද්ධියක් සම්බන්ධයෙන් එම විශ්වවිද්‍යාලයේ සිසුන් 6 දෙනකුගේ පන්ති තාවකාලිකව තහනම් කර ඇති බව එම විශ්වවිද්‍යාලයේ උපකුලපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය පද්මලාල් එම්. මානගේ මහතා පවසයි.

පහරකෑමට ලක්වූ සිසුවා මේ ගැන හෝමාගම මූලස්ථාන පොලිසියට පැමිණිලි කර ඇත. ඒ අනුව පොලිසිය සැකකාර සිසුන් අත්අඩංගුවට ගැනීමට විමර්ශන අරඹා තිබේ.

පහරකෑමට ලක්වූ සිසුවා හෝමාගම රෝහලටත් අනතුරුව මාතර මහ රෝහලටත් පසුව වැලිගම ප්‍රාදේශීය රෝහලටත් ඇතුළත් කර තිබේ. එම පහරදීම සිදුව ඇත්තේ පසුගිය 29 වැනිදාය. විශ්වවිද්‍යාලයේ සිව්වැනි හා තෙවැනි වසරවල සිසුන් පිරිසක් මෙම පහරදීම සිදුකළ බව පහරකෑමට ලක් වූ සිසුවා පොලිසියට පවසා තිබේ.

පහරකෑමට ලක්වූ සිසුවා විශ්වවිද්‍යාලයේදී ශිෂ්‍ය අන්වර්ථ නාමයක් භාවිත නොකිරීම සහ නවක වධයට විරුද්ධව ක්‍රියා කිරීම හේතුවෙන් මෙම පහරදීම සිදු කර ඇතැයි හෙළි වූ බව පොලිසිය කියයි.

සිසුන් 20 දෙනකු පමණ යතුරුපැදිවලින් පැමිණ ඔහු සිටි නේවාසිකාගාරයට පැමිණ හෙල්මට්වලින් ඔහුගේ හිසට හා කොන්දට පහර දී ඇතැයි හෙළි වූ බව ද පොලිසිය කියයි. රෝහල්ගතව සිටින සිසුවා මාධ්‍ය හමුවේ මෙසේ පැවසීය.

අප්‍රේල් 29 වැනිදා ජ’පුර විශ්වවිද්‍යාලයේ තාක්ෂණ පීඨයේ 4 වැනි හා 3 වැනි වසරේ සිසුන් පිරිසක් මා නවක වධයට විරුද්ධව කටයුතු කිරීම හා ශිෂ්‍ය අන්වර්ථ නාමයක් භාවිත නොකිරීම නිසා මගේ බෝඩිමට ඇවිත් පහර දුන්නා. සිසුන් 20ක් විතර යතුරුපැදිවලින් ඇවිත් මගේ හිසට හා කොන්දට හෙල්මට්වලින් පහර දුන්නා. මට මේ වෙච්ච දේට සාධාරණයක් ඉල්ලනවා.

පහරකෑමට ලක්වූ සිසුවාගේ ඥාතියෙක් මාධ්‍ය හමුවේ මෙසේ කීය.

“මගේ මල්ලිගේ පුතාට තමයි මේ විදිහට ගහලා තියෙන්නෙ. එයාගේ ඔළුවට පහරදීලා. මේ පහරදීම නිසා පුතා හෝමාගම රෝහලින් ප්‍රතිකාර ගත්තා. දරුවට අමාරුවුණ නිසා වැලිගම ප්‍රාදේශීය රෝහලට ඇතුළත් කළා. පුතාට වෙච්ච දේට සාධාරණ පරීක්ෂණයක් ඕනෑ.”
නෝමන් පලිහවඩන, ප්‍රදීප් ප්‍රසන්න සමරකෝන් සහ ධම්මික සල්වතුර


advertistmentadvertistment