සාමය රජවේවා

135

කාශ්මීරය නැවත කැලඹී තිබේ. කාශ්මීරය කැලඹීම ඉන්දියාවට පමණක් නොව කලාපයටම ප්‍රශ්නයකි. පසුගිය අඟහරුවාදා පෙහෙල්ගාම්හි සිදු වූ ලේ වැගිරීම, එනම් සංචාරකයින් 26 දෙනකුට මරු කැඳවූ වෙඩි තැබීම 2019 වසරෙන් පසු කාශ්මීරයේ සිදු වූ මාරාන්තික ම ත්‍රස්තවාදී ප්‍රහාරය ලෙස ඉතිහාසයට එක්ව තිබේ. මේ ත්‍රස්ත ප්‍රහාරයේ වින්දිතයන් වූයේ සෙබළුන් හෝ රජයේ නිලධාරීන් නොව, ඉන්දියාවේ ඉතාමත් සුන්දර නිම්නවලින් එකක නිවාඩුවක් ගත කළ සිවිල් වැසියන් ය. මේ පිරිස ඉන්දියාවේ ප්‍රාන්ත පහළොවකට අයත් වූහ. එනිසා අන්තවාදී ප්‍රහාරය නිසා වැගිරෙන කඳුළු රටපුරා ගලා, පැතිර ගියේය. එනිසාම මහජන කෝපයද ප්‍රබලව පැතිරිණි. මහජනතාව වීදිබැස ත්‍රස්තයන් මර්දනය කරන ලෙස රජයට බල කළහ. ඉන්දියාව පවසන්නේ මේ ප්‍රහාරය පිටුපස සිටින්නේ පාකිස්තානය බවයි. එම නිසා නුදුරේම සිය සතුරු අසල්වැසියාට එරෙහිව හමුදා ක්‍රියාමාර්ගයක් ගැනීමට දිල්ලි ආණ්ඩුව උත්සුක වෙයි. භාරතීය ජනතා පක්ෂ ආණ්ඩුව කාශ්මීරය වඩා සුරක්ෂිත බව පැවසුවද මේ ප්‍රහාරය හේතුවෙන් ඔවුන් නිග්‍රහයට පත්විය. එනිසාම වහාම පාකිස්තානයට දැනෙන පාඩමක් ඉගැන්වීමට මෝදි ආණ්ඩුව සූදානම් වේ. එහෙත් ඉන්දු – පාකිස්තාන යුද්ධයක් ඇතිවීම කිසිසේත් සුදුසු නැත. එයට අපි අකමැති වෙමු. මේ හේතුව නිසා කලාපයම අස්ථාවර වන විට එය මේ ලක් දූපතට ද බලපායි. ත්‍රස්තවාදීනට නිසි පිළිතුරු ලබාදිය යුතු වුවත් න්‍යෂ්ටික බලවතුන් වන දෙරටක් යුද වැදීම සමස්ත ලෝකයටම බලපාන්නේ නරක ලෙසටය.

පෙහෙල්ගාම්හි සිදු වූ ලේ වැගිරීමට ප්‍රතිචාර ලෙස ඉන්දීය රජය ඉක්මනින් ම පළිගැනීමේ පියවර මාලාවක් ගෙන ඇත. ප්‍රධාන දේශසීමා පිවිසුම් වසා දැමීම, තීරණාත්මක ජල බෙදාගැනීමේ ගිවිසුමක් අත්හිටුවීම සහ රාජ්‍ය තාන්ත්‍රිකයන් නෙරපා හැරීම ඒවා අතර වේ. ඉන්දීය ආරක්ෂක අමාත්‍ය රාජ්නාත් සිං මේ ප්‍රහාරයට එරෙහිව “ශක්තිමත් ප්‍රතිචාරයක්” දක්වන බවට ප්‍රතිඥා දී ඇති අතර, ත්‍රස්තවාදීන්ට එරෙහිව පමණක් නොව, ඉන්දීය භූමියේ “දුෂ්ට ක්‍රියාවන්” පිටුපස සිටින මහ මොළකරුවන්ට එරෙහිව ද පියවර ගන්නා බවට ප්‍රතිඥා දී තිබේ. මේ හරහා පණිවුඩය ලබාදෙන්නේ සතුරු අසල්වැසියාටය. 2016 සැප්තැම්බර් මාසයේදී ඉන්දියානු සෙබළුන් 19 දෙනකු මියගිය මාරාන්තික ඌරී ප්‍රහාරයෙන් පසු, ඉන්දීය විශේෂ බළකාය පාකිස්තාන පරිපාලනය යටතේ පවතින කාශ්මීරයේ සටන්කාමින් රැඳී සිටින කඳවුරු කිහිපයකට ප්‍රහාර එල්ල කර තිබිණි. එහෙත් මේ නිසා දෙරටේ යුද්ධයක් ඇවිළුණේ නැත. 2019දී පුල්වාමාහි හමුදා භටයින් 40 දෙනකු මියගිය පසු, ඉන්දියාව, පාකිස්තානය තුළ පිහිටි බාලාකෝට්හි ත්‍රස්ත කඳවුරකට ගුවන් ප්‍රහාර එල්ල කළේ ය. 1971න් පසු පාකිස්තානය තුළ වඩා අභ්‍යන්තරකාරී තැනකට එවැනි ප්‍රහාරයක් එල්ල කළ පළමු අවස්ථාව එයයි. පාකිස්තානය ගුවන් ප්‍රහාරවලින් ද ප්‍රතිචාර දැක්වූ අතර, එය ගුවන් සටනකට තුඩුදුන් අතර ඉන්දියානු ගුවන් නියමුවකු කෙටි කලකට සිය ග්‍රහණයට ගැනීමට පාකිස්තානය පියවර ගත්තේය. දෙපාර්ශ්වය ම තම ශක්තිය පෙන්වූ නමුත් පූර්ණ පරිමාණ යුද්ධයක් ඇති වීම එම අවස්ථාවේ වළක්වා ගත්හ. ඉන්දියාව කුමන මාවතක් තෝරා ගත්තත් සහ පාකිස්තානය කෙසේ ප්‍රතිචාර දැක්වූවත් සෑම පියවරක් ම දෙරටට පමණක් නොව, කලාපයටම අවදානම්සහගත බව පැවසිය යුතුය. එහෙත් දෙරටේ ගැටුම් උත්සන්න වීමේ තර්ජනය මතුවෙමින් පවතින අතර, ඒත් සමග ඉන්දීය පරිපාලනය යටතේ පවතින කාශ්මීරය නැවත අස්ථාවරවනු ඇත්තේ මේ බල ගැටුම ඇත්තේ, අසීම් මුනීර් එනම් පාකිස්තානයේ “බලවත්” හමුදාපති හා ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි අතර වන නිසාය. එනිසා වඩා කල්පනාකාරී විය යුත්තේ ඉන්දියාව මිස පාකිස්තානය නොවේ.

ලෝකයේ මේ අවස්ථාව වන විට සක්‍රීය යුද්ධ දෙකක් සිදුවෙමින් පවතී. රුසියාව සහ යුක්‍රේනය අතර යුද්ධයට වසරක් ඉක්මවා ඇත. මින් සිදුව ඇති ජීවිත සහ දේපළ විනාශය අතිමහත් ය. එසේම, ඊශ්‍රායලය සහ පලස්තීනය අතර ගැටුමට ද කලක් ගතවී ජීවිත දහස් ගණනක් විනාශ වී ඇත. මේ යුද දෙකේදීම වටිනා ගේ දොර, තට්ටු ගොඩනැඟිලි විශාල ප්‍රමාණයක් බිමට සමතලා වී ඇත. මියගිය පිරිසටත් වඩා යුද්ධයේ පලවිපාක විඳින්නේ තුවාලකරුවන් සහ මියගිය ජනයාගේ යැපෙන්නන්ය නොහොත් දරුවන් සහ කාන්තාවන්ය. එවැනි අමිහිරි ඵලවිපාක විඳිමින් සිටින ලෝක ජනයාට තවත් යුද්ධයක් අවශ්‍ය නැත. යුද්ධයක සුන්බුන් දකින්නට අවශ්‍යතාවක් නැත. විශේෂයෙන්ම ආර්ථික වශයෙන් කඩාවැටී සිටින අප වැනි රටකට ලෝකයේ කොහේ යුද්ධයක් තිබුණත් එය උද්ධමනය ඉහළ ගොස් රට අරාජික වීමට හේතුවක් වන නිසා, අසල්වැසි ඉන්දියාවත්, අපට නොයෙක් ආකාරයෙන් උදව් උපකාර කළ පකිස්තානයත් අතර යුද හරඹයක් අපි කිසිවිටෙකත් අපේක්ෂා නොකළ යුතු වෙමු. ඒ සඳහා තිබෙන ඉඩ අහුරා දැමීමට ද අප කටයුතු කළ යුතුව ඇත.


advertistmentadvertistment