ඖෂධ වංචාවේ මහමොළකරු තවමත් නිදැල්ලේ

ප්‍රතිදේහ එන්නත් නිසා රෝගීන් විසි හතක් මියගිහින්
සෞඛ්‍ය අමාත්‍යාංශය නිහඬයි

අනතුරට පත්වූ අයගේ ලේඛනය සීඅයිඩීයට
විශේෂඥ වෛද්‍ය චමල් සංජීව

අත්‍යවශ්‍ය ඖෂධ 205ක් හිඟයි

ලංකාවේ සෞඛ්‍ය ප්‍රශ්නය දැන් හිඟන්නාගේ තුවාලය වැනිය. අප එසේ කියන්නේ තවමත් ඖෂධ ප්‍රශ්නයට නිසි පිළිතුරු ලබාදීමට කිසිවකුටත් වුවමනාවක් ඇති බවද පෙනෙන්නට නොමැති නිසාවෙනි. පවතින ආර්ථික අර්බුදය දැඩිලෙසම බලපෑවේද මෙරට සෞඛ්‍ය ක්‍ෂේත්‍රයටය. බාල බෙහෙත්, ප්‍රශ්නසහගත ඉමියුනොග්ලොබියුලින් එන්නත් වංචා, නියමිත ප්‍රසම්පාදන ක්‍රියාවලියෙන් තොරව බෙහෙත් ගෙන්වීම ආදී බොහෝ කරුණු වලින් අපේ රටේ සෞඛ්‍ය පද්ධතිය පසුගිය කාලය තුළ පිරිහෙමින් පැවතිණි. වංචා දූෂණයෙන් අඩුවක් නොමැති මෙරට සෞඛ්‍ය පද්ධතිය තුළ ඇමැති පදවියේ සිට ඖෂධ ගෙන්වනු ලබන සැපයුම්කරුවාද, එතැනිණුත් නොනැවතී සෙසු රාජ්‍ය නිලධාරියා දක්වාම කොමිස් මුදලට, පගාවට, අල්ලසට යටවන්නේය. මේවනවිට අධිකරණය මගින් මෙරට බාලබෙහෙත් ප්‍රශ්නයට වගකියුත්තන්ට එරෙහිව නීතියද ක්‍රියාත්මක වෙමින් ඇත. එහෙත් එයට තවත් වගකිවයුත්තෝද බොහෝය.

ගෝලීය කොවිඩ් වසංගතයත් සමඟ මෙරට මුළුමනින්ම බංකොලොත් රාජ්‍යයක් බවට පත්වූ බව නොරහසකි. සංචාරකයන්ගේ පැමිණීම හා අනිකුත් වාණිජමය අවස්ථා මෙරටට අහිමිවීම තුළින් මෙරට භාණ්ඩාගාරය හිස්වන්නට වූයෙන් මුළු මහත් රටම වැටෙන්නේ ආර්ථික අගාධයකටය. එනම් 2022 අප්‍රේල් 12 වැනිදා මෙරට බංකොලොත් රාජ්‍යයක් යනුවෙන් නිල වශයෙන් නිවේදනයක්ද සිදුකරන්නට වූයේ මෙරට භාණ්ඩාගාරය ඒ තරමට හිස්වූ නිසාය. එහෙයින් අපේ රටට සිදුවූයේද ණයට ඉල්ලා හෝ කෑම මිස වෙනත් විකල්පයක් අපේ රටට තිබුණේද නැත. විදෙස් සංචාරකයන් රටට ආවේ ද නැත. සියලු ආර්ථික මර්මස්ථානද වැසීයන්නට විය. ඩොලර් හිඟකම නිසා කිසිදු ආනයන කටයුත්තක් සිදුකරන්නට අපේ රටට නොහැකිවිය. මේ හේතුවෙන් මෙරට විදේශ සංචිත අහිමිවීම ඉතා දරුණු ලෙස බලපෑවේ මෙරට සෞඛ්‍ය පද්ධතියටය. මෙරට රෝහල් පද්ධතිය තුළ දහසකුත් එකක් ප්‍රශ්න ඇතිවූයේ එවිටය. ඉන්පසු වකුගඩු, හෘද ආදී බොහෝ සැත්කම කල්දමන්නට වෛද්‍යවරුන්ට සිදුවන්නට විය. රෝහල් තුළ ඖෂධ හිඟවිය. ලෙඩ ඇඳෙහි වූ රෝගියාට සිදුවූයේ ඇඳේ මියපරලොව යන්නටය. නිදන්ගත රෝගීන්ට අවශ්‍ය ඖෂධ ගන්නට සිදුවූයේද ගිනි ගණනටය. දියවැඩියාව වැනි රෝගවලට අවශ්‍ය ඉන්සියුලින් පවා මෙරට රෝහල් පද්ධතිය තුළ නොමැති විය. ඇතැම් එන්නත් වර්ග ගැනීමට රෝගියාට සිදුවූයේ ෆාමසි පීරීමටය. ඇතැම් ඖෂධ වර්ග 300% කින් පමණ ඉහළ යන්නේ ද ඩොලර් අර්බුදයේ අයහපත් ප්‍රතිඵල ලෙසිනි. ජනතාවට සිදුවූයේ මරණයද එසේ නැත්නම් ඖෂධද යන දෙකෙන් එකක් තෝරාගැනීමටය. ඇත්තෝ ඖෂධ තෝරාගත් අතර නැත්තන්ට වූයේ එලොව යෑමටය. ඖෂධ හිඟය එතරම් දරුණුව පැවැති බව අපට මතකය. ආණ්ඩුවේ රෝහලක නැති ඖෂධ ෆාමසියට ගොස් ගන්නට එකල ජනතාවට සිදුවිය. ඇතැම් පෞද්ගලික ඔසු සල්වල පවා ඖෂධ වර්ග හිඟවන්නට විය. රෝහල් තුළ දින ගණනක් පෝළිම් වලම මෙරට රෝගීන් මැරී වැටිණි. පසුගිය කාලයේ පැවැති සෞඛ්‍ය තත්ත්වය එසේය.

බාල බෙහෙත් රටට ආ හැටි….

මෙරට ඖෂධ හිඟය ඇතිවීමෙන් පසු උදාවනුයේ තත්ත්වයෙන් බාල බෙහෙත් පැමිණීමය. රෝහල් පද්ධතිය තුළ ඖෂධ හිඟයට කඩිනමින් උත්තර හොයන්නට මෙරට හිටපු සෞඛ්‍ය ඇමැතිවරයා ක්‍රියාකරන්නේ ඉන් අනතුරුවය. හදිසි මිලදී ගැනීම් යටතේ සිදුකරනු ලබන බාල බෙහෙත් ජාවාරම ජයටම සිදුවන්නේද මෙරට සෞඛ්‍ය ඇමැතිවරයා හා අදාළ නිලධාරීන්ද දැනුවත්වමය. ගිලෙන්නට යන මිනිහාට පිදුරු ගහත් පිහිටක් වූවා සේ අපට පිහිටට එන්නේ අසල්වැසි ඉන්දියාවය. ඒ 2022 වසරේ ඉන්දීය ණය යෝජනා ක්‍රියාවලිය යටතේ අපට ලබාදුන් මුදල්ය. ඩොලර් බිලියනයක් වටිනා ඉන්දියන් ක්‍රෙඩිට් ලයින් යටතේ රටට අවශ්‍ය ඖෂධ, ඉන්ධන, ආහාර ආදී දේ ගැනීමට ඉන්දියාව අපට එහිදී සහාය විය. මෙරට සෞඛ්‍ය ක්‍ෂේත්‍රයේ ඇති ඖෂධ වර්ග 287 ක් මෙරටට ගෙන්වීමට එහිදී මුදල් වෙන්කර තිබුණි. එහෙත් එම ඖෂධ වලින් මෙරටට ගෙන්වා ඇත්තේ එකම එක ඖෂධයක් බවද නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ලක්මිණි ගිරිහාගම මෙනවිය පසුගිය දිනක මාලිගාකන්ද මහෙස්ත්‍රාත් අධිකරණයේදී කියා සිටියාය. ප්‍රශ්න සහගත ප්‍රතිදේහ එන්නත් මෙරටට ගෙන්වන්නේද ඉන්දීය රජය මගින් මෙරටට ලබාදුන් ණය මුදලින්ය. විවිධ ඖෂධ සමාගම් පනහකට ආසන්න ප්‍රමාණයක් හරහා මෙරට සෞඛ්‍ය පද්ධතියට තත්ත්වයෙන් බාල ඖෂධ ගෙන ඒමට ක්‍රියාකර ඇති බවද දැන් පෙනී යන්නේය. මෙහි ප්‍රතිඵලයක් ලෙස රෝගීන්ගේ මරණ සංඛ්‍යාවද, අතුරු ආබාධද කැපී පෙනෙන ලෙස වැඩිවී ඇත. මේ වන විට ලෝක වෙළෙඳපොළේ පවතින ඖෂධවලින් සියයට 1 ත් සියයට 50 ත් අතර සංඛ්‍යාවක් තත්ත්වයෙන් බාල බටහිර ඖෂධයන්ය. පසුගිය කාලය තුළ රෝහල් පද්ධතිය තුළ රෝගීන්ට විවිධ සංකූලතා මතුවීම නිසා නිර්වින්දන ඖෂධ එන්නත් ලක්‍ෂයක් ඉවත දැමූ හැටිද අපට මතකය. ‘හියුමන් ඉමියුනොග්ලොබියුලින්’ නමැති එන්නතෙහි තිබී ඇත්තේ වතුර බවට මේ වනවිට බොහෝ සාක්‍ෂිද ඉදිරිපත් වී හමාරය. ඒ නිසා බලධාරීන් විසින් සිය පෞද්ගලික වාසි තකා හිතාමතාම සිදුකරන ලද මේ බාල බෙහෙත් ගෙන්වීම තුළින් රටේ ජනතාවට සිදුවන්නේ එහි අනිසි විපාකවලට මුහුණ දීමටය.

බාල බෙහෙත් වංචාවටත් ඉතිහාසයක්..

තත්ත්වයෙන් බාල ඖෂධ සම්බන්ධව කතාකරනවිට මෙකල කතාබහ කෙරෙන සිදුවීම්වලට අමතරව තත්ත්වයෙන් බාල විවිධ අපද්‍රව්‍ය හෝ ඇල්වතුර මීට පෙරද රෝගී ජනතාවට ලබාදී ඇති බවට දැන් නැගෙන්නේ බලවත් සැකයකි. වෛද්‍ය හා සිවිල් අයිතිවාසිකම් පිළිබඳ වෛද්‍යවරුන්ගේ වෘත්තිය සමිති සන්ධානයේ සභාපති විශේෂඥ වෙi චමල් සංජීව ඒ පිළිබඳව කියා සිටින්නේ මීට පෙරද තත්ත්වයෙන් බාල වූ බෙහෙත් මෙරට රෝගී ජනතාවට ලබාදී ඇති බවට විවිධ තොරතුරු ලැබී ඇති බවකි.

ඔහු කියා සිටින ආකාරයට පසුගිය කාලසීමාව මුළුල්ලේ මෙරට ඖෂධ සැපයුම් පද්ධතියට ලේඛනගත වූ විවිධ සමාගම් ව්‍යාජ නම් වලින් ඇතුළත් වෙමින් ප්‍රසම්පාදන ක්‍රියාවලට ඇතුළත් වූ බවට තොරතුරු ඇති බවකි. එවැනි සමාගම් ඖෂධ නියාමන අධිකාරියේ හිටපු විධායක අධ්‍යක්‍ෂවරයා හෝ අධ්‍යක්‍ෂ මණ්ඩලය සමඟ එක්ව මෙම ගනුදෙනු සිදුකරන්නට ඇතැයි බරපතළ සැකයක් නිර්මාණය වී ඇතැයිද හෙතෙම සඳහන් කරයි. ඖෂධ නියාමන අධිකාරියේ අණ පනත් සහ නිවැරදි ප්‍රසම්පාදනයට යටත්ව ඖෂධ ගෙන්වීමේදී අනුගමනය කළ යුතු ක්‍රමෝපායන් උල්ලංඝනය කරමින් මෙරට සෞඛ්‍ය පද්ධතියට ඖෂධ ගෙන ඒමට හිටපු විධායක අධ්‍යක්‍ෂවරයා කටයුතු කරද්දී සෞඛ්‍ය අමාත්‍යාංශ නිලධාරීන් නිහඬ පිළිවෙතක් අනුගමනය කිරීමෙන් ඔවුන්ද රටේ ඖෂධ ප්‍රශ්නයට වගකිවයුතු යැයිද ඔහු සඳහන් කරයි.

හදිසි තත්ත්වයක් යටතේදී රටට ඖෂධ ගෙන්වීමට පවතින අණ පනත් හදිසි තත්ත්වයක් නොමැති අවස්ථාවේදී පවා භාවිත කිරීමද බරපතළ අපරාධයකි. එසේම සමහර අවස්ථාවලදී ව්‍යාජ ලෙස ඖෂධ හිඟයක් මවා පා මෙරටට ඖෂධ ගෙනා අවස්ථා රැසක් පැවති බව පසුගියදා අධිකරණයේදී අනාවරණය විය.

වෛද්‍ය චමල් සංජීව මහතා කියාසිටින්නේද ඖෂධ සැපයුම්කරුවන්ට මෙරට සෞඛ්‍ය පද්ධතිය තුළට ඖෂධ ගෙන ඒමට අවස්ථාව ලබාදීම බරපතළ තත්ත්වයක් බවයි. මෙම වංචාවලට සම්බන්ධ සියලු පරිපාලකයන් වගකිවයුතු බවත් සිදුවූ මරණ පවා ඔවුන් මේ වනවිට යටගැසීමක්ද සිදුකරන බවද හෙතෙම චෝදනා නගයි. ඔහු කියන පරිදි බාල ඖෂධ ලබාදෙමින් හෝ ඖෂධ ලෙස හැඟෙන විවිධ අපද්‍රව්‍ය ලබාදෙමින් මහජනතාවගේ බදු මුදල් රුපියල් කෝටි ගණනක් අවභාවිත කිරීමද ඉතා බරපතළ අපරාධයකි. සැබවින්ම බාල ඖෂධ වංචාවේ මහ මොළකරුවන් දැනට රිමාන්ඩ් බන්ධනාගාරයේ සිටින දේශපාලකයන් හා නිලධාරීන් පමණක් නොවන බැවින් තවදුරටත් නිදැල්ලේ සිටින ඇතැම් සැපයුම්කරුවන් හෝ රාජ්‍ය නිලධාරීන් වෙත අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවෙහි අවධානය යොමුවිය යුතුය. ඔහු කියන පරිදි ඉමියුනොගොබියුලින් වංචාවේ සැබෑ මහමොළකරු තවමත් නිදැල්ලේය.

අපේ රටේ ජනතාවට ඇල්වතුර හා විවිධ අපද්‍රව්‍ය මිශ්‍ර වූ එන්නත්කරණය මින් පෙරද සිදුවූ බව දැන් කෙමෙන් අනාවරණය වෙමින් ඇත. ඒ අසාදු ලේඛනගත කර ඇති සමාගම් අමාත්‍යාංශ ඉහළ නිලධාරීන් සමඟ සම්බන්ධතා පවත්වමින් දේශපාලකයන්ගේද ආශිර්වාද යටතේ තත්ත්වයෙන් බාල ඖෂධ හා වැරදි ප්‍රසම්පාදන ක්‍රියාවන්ට අනුව පසුගිය කාලය මුළුල්ලේම ක්‍රියාකර ඇති බවටය. ඒ පසුගිය විගණන වාර්තා සහ කෝප් වාර්තා මගින් විටින් විට පෙන්වා දී ඇති තත්ත්වයක් යටතේය. අදාළ සියලු සිදුවීම් සම්බන්ධයෙන් පුළුල් විමර්ශනයක් කොට මෙයට වගකිවයුතු නිලධාරීන්ද නීතිය හමුවට පැමිණවීමට කටයුතු කළ යුතු බවද වෛද්‍ය චමල් සංජීව කියා සිටියි.

බාල බෙහෙත් ගෙන්වූ සමාගම් හා වගකිවයුත්තන් මෙන්න

සැඟවුණු අමුත්තාට ඇන්ද බාල බෙහෙත් හොරු

ප්‍රශ්නගත ප්‍රතිදේහ එන්නත් ඇතුළු මෑත කාලයේ මහත් ආන්දෝලනයකට තුඩුදුන් ඖෂධ වෛද්‍ය සැපයුම් වෙත ලබාගැනීමට අමාත්‍ය මණ්ඩලය සහ සෞඛ්‍ය බලධාරීන් ගත් තීරණය වැරදි හා නීත්‍යනුකූල නොවන, ශූන්‍ය සහ අවලංගු සහ නීතිය ඉදිරියේ බලරහිත බව ප්‍රකාශ කරන ලෙස ඉල්ලා ට්‍රාන්ස්පේරන්ස් ඉන්ටර්නැෂනල් ශ්‍රී ලංකා ආයතනය විසින් පසුගිය අප්‍රේල් 16 වැනිදා ශ්‍රේෂ්ඨාධිකරණය වෙත මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කරනු ලැබීය. එහිදී එම පෙත්සමෙහි වගඋත්තරකරුවන් 66 දෙනකු නම්කර ඇති අතර ප්‍රශ්නගත වෛද්‍ය සැපයුම්වලට සම්බන්ධ සමාගම් වන අයුසුලේට් බයොටෙක් ෆාර්මා (Isolez Biotech Pharma AG (Pvt) Ltd), ලයිව්එල්ත් බයෝ ෆාමාර් (Livealth BioPharma (Pvt) Ltd), යදීන් ඉන්ටර් නැෂනල් පුද්ගලික සමාගම (Yaden International (Pvt) Ltd), ස්ලිම් ෆාමර්සූටිකල්ස් පුද්ගලික සමාගමේ (Slim Pharmaceuticals (Pvt) Ltd) නන්දනී මෙඩිකල් ලැබෝටරිස් පුද්ගලික සමාගම (Nandani Medical Laboratories (Pvt) Ltd), ඩිවයින් ලැබෝටරීස් (Divine Laboratories (Pvt) Ltd), ගල්ෆික් බයෝසෙන්ස් පුද්ගලික සමාගම (Gulfic Biosciences Limited) සහ නවචෙම් ලංකා පුද්ගලික සමාගම (Novachem Lanka (Pvt) Ltd) යන නම් එහි සඳහන්ය.

වගඋත්තරකරුවන් ලෙස එම පෙත්සමෙහි සඳහන්කර ඇත්තේ කැබිනට් මණ්ඩලය, සෞඛ්‍ය අංශයට අදාළ වත්මන් සහ හිටපු ඉහළ නිලධාරීන් හා හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල, භාණ්ඩාගාර ලේකම්, විගණකාධිපති, රේගු අධ්‍යක්ෂ ජනරාල්, පොලිස්පති, අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවෙහි සාමාජිකයන් සහ අධ්‍යක්ෂ ජනරාල් සහ නීතිපතිවරයාය.

ඉහත කී සමාගම් අතර අයුසුලේට් බයොටෙක් ෆාර්මා (Isolez Biotech Pharma AG (Pvt) Ltd) හා ලයිව්එල්ත් බයෝ ෆාමාර් (Livealth BioPharma (Pvt) Ltd) යන සමාගම් ප්‍රශ්නසහගත හියුමන් ඉමියුනොග්ලොබියුලින් සැපයීමේ සිද්ධියේ පළමු සැකකරු වන සුගත් ජානක ප්‍රනාන්දු නමැත්තාට අයත් සමාගම් බව එම පෙත්සමෙහි සඳහන්ය.

යදීන් ඉන්ටර් නැෂනල් පුද්ගලික සමාගම (Yaden International (Pvt) Ltd) සෂිමාල් දිසානායකට අයත් එකක් වන අතර එහි නිෂ්පාදන කටයුතු සිදුකරනු ලබන්නේ කටුනායකය. එමෙන්ම ස්ලිම් ෆාමර්සූටිකල්ස් පුද්ගලික සමාගමේ (Slim Pharmaceuticals (Pvt) Ltd) ප්‍රධානියා හා සභාපතිවරයා ලෙස කටයුතු කරනු ලබන්නේ සුමිත් ප්‍රේමරත්න නමැත්තෙකි.

මෙරටට ඖෂධ සැපයූ සමාගම් අතර ඉන්දීය සමාගම්ද කිහිපයකි. එනම් නන්දනී මෙඩිකල් ලැබෝටරිස් පුද්ගලික සමාගම (Nandani Medical Laboratories (Pvt) Ltd), ඩිවයින් ලැබෝටරීස් (Divine Laboratories (Pvt) Ltd), ගල්ෆික් බයෝසෙන්ස් පුද්ගලික සමාගම (Gulfic Biosciences Limited) සහ නවචෙම් ලංකා පුද්ගලික සමාගම (Novachem Lanka (Pvt) Ltd) යන සමාගම්ය.

ඉන්දීය ක්‍රෙඩිට් ලයින් ඔස්සේ මෙරටට රැගෙන ආ ඖෂධ බොහෝමයක් තත්ත්වයෙන් බාල වූ හෙයින් මෙරට රෝගී ජනතාවට ඉන් පීඩාවිඳින බව බොහෝ දෙනකු දැන් චෝදනා නගන්නේය. පසුගිය කාලයේ බාල අක්‍ෂි කාච හා ඇස්වලට දැමූ විවිධ ඖෂධ හේතුවෙන් රෝගීහු සදාකාලිකවම අන්ධ තත්ත්වයට පත්වූ අවස්ථාද එමටය. එමෙන්ම හදිසියේ ඇතිවූ උදරාබාධ තත්ත්වයක් හේතුවෙන් රෝහල්ගත වූ කාන්තාවකට ලබාදුන් එන්නතක් හේතුවෙන් ඇයට මෙලෙව හැරයෑමට සිදුවන්නේද බාල බෙහෙත් හේතුවෙනි. ඉන්දියානු ණය පහසුකම යටතේ ඖෂධ ආනයනය කිරීමේදී දක්නට ලැබුණු අක්‍රමිකතා සහ නීතිය නොසලකා හැරීමේ ක්‍රියාවලියේ ප්‍රතිවිපාක අත්විඳින්නේ මෙරට ජනතාවමය. මෙරට ජනතාවට ඖෂධ වෙනුවට වතුර යොදා එන්නත් හදා එය රජයේ රෝහල්වලට බෙදාහැරීමේ සිද්ධියේ සැකකරුවන් ලෙස හිටපු සෞඛ්‍ය ඇමැති කෙහෙළිය රඹුක්වැල්ල හා හිටපු සෞඛ්‍ය අමාත්‍යාංශ ලේකම් ජනක ශ්‍රී චන්ද්‍රගුප්ත ඇතුළු එකොළොස් දෙනකු තාමත් සිටින්නේ බන්ධනාගාරගතවය. එහෙත් මෙම ඖෂධ වංචාව තවත් වගකිවයුත්තන් ද බොහෝ ඇත. අප කියන්නේ ඔවුන්ද කුදලාගෙන විත් මේ මහා වංචාවට දඬුවම් දිය යුතු බවය.

තත්ත්වයෙන් බාල පිළිකා ඖෂධ ලබාදීම සම්බන්ධයෙන් පැවැති අධිකරණමය කටයුත්තේදී එම සැපයුම්කරුගේ නීතිඥයා වරයා විසින් ප්‍රකාශ කර ඇත්තේ ප්‍රශ්න සහගත ඉමියුනොගොලොබියුන් නිසා මීට පෙරද රෝගීන් විසිහත් දෙනකුට ආසන්න පිරිසක් මියගොස් ඇති බවකි. ඔහුගේ එම ප්‍රකාශය බෙහෙවින් බරපතළ ප්‍රකාශයක් බැවින් ඒ සම්බන්ධව සෞඛ්‍ය අමාත්‍යාංශය ඔවුන්ගේ මතයද ප්‍රකාශ කළ යුතු බවද විශේෂඥ වෛද්‍ය චමල් සංජීව පවසයි. මේ හේතුවෙන් මෙරට රෝහල් රැසකම එම එන්නත් ලබාදීම හේතුවෙන් ආසාත්මිකතාවන්ට හා රෝගීන් මරණයට පත්වීම සම්බන්ධව වාර්තා මේ දක්වා ප්‍රකාශයට පත් කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශයද අපොහොසත් වී ඇති බවද ඔහු චෝදනා නගන්නේය.

ඖෂධ හිඟය තවමත්

තත්ත්වයෙන් බාල ඖෂධ සම්බන්ධව මේ වනවිට නීතිය හමුවේ නඩු කටයුතු සිදුවුවද පවතින ඖෂධ හිඟයද තවමත් එකතැන තිබෙන බවක් පෙනෙන්නට ඇත. මේ වන විට වෛද්‍ය සැපයීම් අංශයේ අත්‍යවශ්‍ය ඖෂධ වර්ග 205 ක්ද රජයේ රෝහල්වල අත්‍යවශ්‍ය ඖෂධ වර්ග 80 ක ප්‍රමාණයකද තොග ශූන්‍ය මට්ටමක පවතින බව පසුගිය 29 දා සෞඛ්‍ය ලේකම් වරයාගේ ප්‍රධානත්වයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශයේ පැවැති ඖෂධ තොග සමාලෝචන රැස්වීමේදී අනාවරණය විය. දිවයිනේ ඇතැම් රෝහල් තුළ තවමත් ඖෂධ වර්ගවල දැඩි හිඟයක්ද පවතියි. මෙරට ජීවත්වන සෑම පුරවැසියෙකුටම නොමිලේ රජයේ රෝහලකින් ඖෂධ ලබාගැනීමේ හැකියාව පැවැතියද මේ වනවිට රජයේ රෝහල් තුළත් ඖෂධ නොමැතිවීම කනගාටුදායක තත්ත්වයකි. ඇතැම් ඖෂධ තත්ත්වයෙන් බාලවූ ඖෂධ බැවින් ඒවා ලබා ගැනීමෙන් පසුව ඇතිවන විවිධ සංකූලතා හේතුවෙන් රටේ ජනතාවට රජයේ රෝහලකින් ඖෂධ ලබාගැනීමට පවා දක්වන්නේ බියකි. පෞද්ගලික ඔසුසල්වලින් ලබාගන්නා ඖෂධවලටද මිල ඉතා ඉහළ බැවින් බොහෝ නිදන්ගත රෝගීන්ටද සිදුවන්නේ සතියකට නියම ඖෂධ දින දෙක තුනකට ගැනීමටය. පවතින දැඩි ආර්ථික අර්බුදකාරී තත්ත්වය යටතේ ශ්‍රී ලංකාවට අත්‍යවශ්‍ය ඖෂධ ඉන්දීය ණය සහන යටතේ ගෙන්වුවද අද ඒවා නිසි ප්‍රමිතියකින් තොරව ඇති බව බොහෝ සාක්‍ෂි නිදසුන් ඉදිරිපත් වීද හමාරය. නියමිත ටෙන්ඩර් ක්‍රමවේදයෙන් තොරව හදිසි මිලදී ගැනීම් යටතේ සිදුකරනු ලබන බොහෝමයක් ඖෂධ තත්ත්වයෙන් බාල වූ ඖෂධ බවත් දැන් හෙළිවී හමාරය. ඉදිරියේදීත් මෙරට සෞඛ්‍ය ක්‍ෂේත්‍රයේ මෙවැනි හදිසි මිලදී ගැනීම්ද සිදුවෙනු ඇත. ඉන්දීය ණය ආධාර මුදලින් බාල බෙහෙත් ගෙන්වා කොමිස් මුදලෙන් තමන්ගේ සාක්කුව පුරවා ගන්නා ලද රාජ්‍ය පාලකයනුත් අදාළ නිලධාරීන්ද දැන් බොහෝ පොහොසත්ව ඇත. මෙරට හිටපු සෞඛ්‍ය ඇමැතිවරයා හා තවත් කිහිපදෙනකු නීතිය හමුවට ඉදිරිපත් වූවද ඇතැමුන් තවමත් නීතියට වසන් වී දේශපාලන රැකවරණය ලබති. ආණ්ඩුවේ වගකීමද ඔවුන්වද හැකි ඉක්මනින් අත්අඩංගුවට ගෙන නීතිය හමුවට ගෙන ඒමය. නැතහොත් සිදුවන්නේ මිනිසුන් බාලබෙහෙත් බී මැරෙන විට හොරුන් රජවීමය.

රමින්ද මාවතගේ

advertistmentadvertistment
advertistmentadvertistment