සිඟාකෑම නීතියෙන් තහනම්

1

යාචක සංගම් බිහිකිරීමට කිසිසේත් ඉඩක් නෑ – නීතිඥ වෛද්‍ය පාලිත බණ්ඩාර සුභසිංහ

සිඟාකෑම නීතියෙන් තහනම් බැවින් යාචක සංගම් බිහිකිරීමට කිසිසේත් ඉඩක් නොමැති බව නීතිඥ වෛද්‍ය පාලිත බණ්ඩාර සුභසිංහ මහතා පවසයි.

1941 අංක හතර පාදඩ ආඥා පනතේ තුන හතර වගන්ති මත සහ දණ්ඩ නීති සංග්‍රහයේ 288 වගන්තිය යටතේ සිඟා කෑම තහනම් ක්‍රියාවක් බවත් මහමග සිට සිරුරේ විකෘතිතා හෝ තුවාල පෙන්වමින් සිඟා කෑම පුණ්‍ය කටයුතුවලට හෝ රෝගී තත්ත්වයන්ට ප්‍රතිකාර පිණිස බව කියමින් මුදල් රැස් කිරීම දරුවන් පෙන්වමින් සිඟා කෑම නීතියෙන් සම්පූර්ණයෙන්ම තහනම් කොට ඇති බව නීතිඥ වෛද්‍ය සුභසිංහ මහතා පෙන්වා දෙයි. එවැනි නීති විරෝධී කණ්ඩායමකට කිසිසේත්ම සංගමයක් පවත්වාගෙන යාමට ඉඩක් නැති බවද එවන් තත්ත්වයක් ඇත්නම් ඔවුන්ට නීතිය මඟින් දඬුවම් ලබාදීමට ක්‍රියාත්මක විය හැකි බවද ප්‍රකාශ කරයි. හෙතෙම මේ බව ප්‍රකාශ කළේ පෙරේදා 26දා පස්වරුවේ නගරික කොමසාරිස් ඉන්දිකා අබේසිංහ මහත්මිය විසින් පෙරහර කමිටු රැස්වීමේදී මහනුවර යාචක සංගමයක් ඇති බවට කළ ප්‍රකාශය සම්බන්ධයෙන් අදහස් දක්වමිනි. මේ සම්බන්ධයෙන් මහනුවර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අනුරුද්ධ බණ්ඩාරනායක මහතා කියා සිටියේ නාගරික කොමසාරිස්වරිය එවැන්නක් ප්‍රකාශ කළ නමුත් මහනුවර යාචක සංගමයක් ඇති බවට තොරතුරු අනාවරණය වී නොමැති බවය. යම් හෙයකින් එවැනි සංගමයක් ඇත්නම් ඒ සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක කිරීමට තමන් කටයුතු කරන බව ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරවරයා ‘දිවයින’ට කියා සිටියේය.

සමන්ති වීරසේකර

advertistmentadvertistment
advertistmentadvertistment