රටට සූර්ය බල විශ්වවිද්‍යාලයක් ඕනෑ

පුල්මුඩේ සිලිකාවලින් රට තුළම සූර්ය පැනල නිපදවමු

ගෝලීය උණුසුමෙන් හා දේශගුණික විපර්යාසයෙන් ගැලවෙන්නට නම්, රටේ පමණක් නොව සමස්ත ලෝකයේම (පෘථිවියේම) බලශක්ති අවශ්‍යතාවට විසඳුම ‘පුනර්ජනනීය’ නොහොත් ‘හරිත’ බලශක්තිය බවට ලෝකයම එකඟ වී ඇත. ඒ 2015 දී පැවති පැරිස් සමුළුවේදී හා එම සම්මුතිය පරිදිය. එසේ නම් එතැනින් ඔබ්බට තවදුරටත් තාප බලශක්ති උත්පාදනයක් ගැන කතාකර ඵලක් නැත. ලෝකයේ පැවැත්ම තහවුරු කරන්නට මෙතැන් පටන් ක්‍රියාකළ යුතුව ඇත්තේත්, කතා කළ යුතුව ඇත්තේත් ‘හරිත’ බලශක්තිය පිළිබඳවය.

ජල විදුලියට අමතරව, හරිත බලශක්තියට ගැනෙන ප්‍රධාන පුනර්ජනනීය බලශක්ති ප්‍රභව දෙක වන්නේ ‘සූර්ය බලය’ හා ‘සුළං බලය’ යි. මේ අතරින් ද ශ්‍රී ලංකාව ඇතුළු නිවර්තන කලාපයට වඩාත් ප්‍රතිඵලදායක හා වැඩිම බලශක්ති උත්පාදන විභවය ඇත්තේ සූර්ය බලශක්ති උත්පාදනයටයි. ඒ වසරේ වැඩි කාලයක් මෙම රටවල් හිරු එළියට නිරාවරණය වීමයි. එසේම, නිවර්තන කලාපයේ වුවද, එතැනින් ඔබ්බට වුවද, බලශක්ති අර්බුද නොමැති රටවල හරිත බලශක්තිය (හෝ වෙනත් බලශක්ති ප්‍රභවයන්) ගැන කතා කරනවාට වඩා සැබෑ ලෙසම බලශක්ති අර්බුදයක් පවතින ශ්‍රී ලංකාවේ හරිත බලශක්ති සංවර්ධනය ගැන අප කතා කළ යුතුව ඇත. මන්ද තවදුරටත් රටේ මුදල් මිලියන, බිලියන ගණනින් වැයකර, තාප බලාගාර සඳහා අවශ්‍ය ඉන්ධන (ඩීසල්, දැවිතෙල්, ගල්අඟුරු) ගෙන එමින් රට බංකොලොත් කිරීමට දර දිය අදිනවාට වඩා පරිසරය සුරකින, එමෙන්ම සාපේක්ෂව ඉතා අඩු පිරිවැයකින් නිපදවාගත හැකි, පිරිසිදු හරිත බලශක්තිය ගෙමිදුලේ නොව, කැණිමඬල මතටම වැටෙන නිසාය.

සැබැවින්ම අප සූර්ය හා සුළං යන බලශක්තිය නිපදවා ගැනීම කෙරෙහි වහ වහා යොමුවිය යුතු අතර, මේ දෙකෙන් කුඩා පරිමාණ, මධ්‍යම පරිමාණ හා මහා පරිමාණ යන තුන් මට්ටමේ අවශ්‍යතා සපුරා ගැනීමට ඇති වැඩි අවස්ථාව, ඉඩ-කඩ, තාක්ෂණය මෙන්ම උපකරණ ද සුලභ වී ඇත්තේ සූර්ය බලශක්තිය නිපදවා ගැනීම සඳහා බව අමුතුවෙන් කිව යුත්තක් නොවේ. එනම්, සූර්ය බලශක්තිය නිපදවා ගැනීම අද ගෘහ කර්මාන්තයක් දක්වා පැමිණ තිබීම ශ්‍රී ලංකාව වැනි රටකට මහඟු අවස්ථාවක් බව රටේ ජනතාව, බලශක්ති ප්‍රතිපත්ති සම්පාදකයන්, දේශපාලන අධිකාරිය, බලශක්ති ව්‍යවසායකයන් සහ කර්මාන්තකරුවන් දැනගැනීම අතිශය වැදගත්ම කාරණය වෙයි. දැනගෙන ඒ සඳහා ක්‍රියා කිරීම ද එකසේ වැදගත් වේ. එසේ හෙයින් රට තුළ සූර්ය බලශක්ති උත්පාදනයට, සූර්ය බලශක්තිය භාවිතයට රටක් ලෙස අප එකාවන්ව වහ වහා උද්යෝගයෙන් නැගී සිටිය යුතුව ඇත්තේ ඊට තවත් අවස්ථාවක් නොලැබෙන නිසා සහ මේ ලැබී ඇත්තේ එම අවසන් අවස්ථාවේ උපරිමය නිසා බැවින් මෙම අවස්ථාව කිසිලෙසකින්වත් අප රටක් ලෙස මගහරවා නොගත යුතුව ඇත.

මෙසේ කියන්නේ සූර්ය බලශක්ති ක්ෂේත්‍රයේ බොහෝ ඇසූ පිරූ දැනුමක් ඇති, දකුණු කොරියාව ඇතුළු රටවල් රැසක සූර්ය බලශක්ති තාක්ෂණය පිළිබඳව වෘත්තීය ක්‍රියාධරයකු ලෙස වසර ගණනාවක පළපුරුද්දක් ඇති සහ ශ්‍රී ලංකාව තුළ සූර්ය බලශක්තිය ප්‍රචලිත කිරීම සඳහා සමාගම් කිහිපයකම විධායක තනතුරු හෙබවූ, සූර්ය බලය සඳහා ඇමෙරිකානු තාක්ෂණික හා පරිපාලන පදනමක් ඇති ඒ.ඩී.එස්. සෝලාර් පවර් සමාගමේ සාමාන්‍යාධිකාරී හා ප්‍රධාන විධායක නිලධාරී චන්දන දීපවංශ මහතාය.

රටේ බලශක්ති අවශ්‍යතාව, අර්බුදය හා ඊට විසඳුම් පිළිබඳව තවදුරටත් කරුණු දක්වන චන්දන දීපවංශ මහතා කියාසිටින්නේ හරිත බලශක්ති සංවර්ධනය මගින් තනිකරම රටේ ආර්ථික පරිවර්තනයක් ඇතිකරන කතාවක් පමණක් නොව, දරු පරපුර ඩිජිටල් තාක්ෂණයෙන් බලගන්වා ලෝකය ජයග්‍රහණය කිරීම සඳහා යොමුකරවන සමාජ-ආර්ථික-තාක්ෂණික විප්ලවයක් පිළිබඳ කතාවකි. නොහොත් සැබෑ බලශක්ති-සමාජ-ආර්ථික ‘සිස්ටම් චේන්ජ්’ එකක් පිළිබඳ කතාවකි.

සූර්ය බලශක්තිය රටට අත්‍යවශ්‍යයි - ප්‍රවීණ සූර්ය බල විශේෂඥ, ADS Solar Power අධ්‍යක්ෂ චන්දන දීපවංශ

“බලශක්ති නිෂ්පාදනය ගැන තවදුරටත් විවාදයක් නැහැ. හරිත බලශක්තිය හැර ඊට විකල්පයක් නැහැ. සූර්ය ශක්තිය විදුලිය බවට පත්කිරීම මෙහි ලාභදායීම, පහසුම ක්‍රියාදාමයයි. සෑම ගෙදරකම, කාර්යාලයකම, වැඩපලකම, කර්මාන්ත ශාලාවකම මිදුලට, වහලය මතට කහ පාටින් නොමිලේ වැටී උතුරා දෝරේ ගලන සූර්ය කිරණ බලශක්තිය බවට පත්කර, ඒවා රන් කහවනු බවට පත්කරගත යුතුයි. එසේම ඉන්ධන, ගල් අඟුරු වෙනුවෙන් පිටරටට ගෙවන ඩොලර් කෝටි ගණන් මුදල් අපි ඉතිරි කරගත යුතුයි. මේ ඉතිරි කරගන්නා
හම්බකරගන්නා මුදල් වෙන කිසිවකට වියදම් නොකර රටේ දරුවන්ගේ ඩිජිටල් අධ්‍යාපනයට, කාර්මික හා තාක්ෂණික අධ්‍යාපනයට වියදම් කළ යුතුයි. ඒ ඉගෙන ගත්ත දරුවන් ලෝකය ජයග්‍රහණය සඳහා යොමු කළ යුතුයි.

බලන්න, සූර්ය පැනල නිෂ්පාදන තාක්ෂණය අද චීනය වගේ රටවල් අත්පත් කරගෙන සිටිනවා. නමුත්, ඒවා නිෂ්පාදනයට ගන්නා සිලිකා වැලි යවන්නේ අපි වැනි රටවල්වලින්. ශ්‍රී ලංකාවේ (පුල්මුඩේ) තමයි ලෝකයේ හොඳම සිලිකන් වැල්ල තියෙන්නේ. ඒවා චීනයට, ජපානයට වෙනත් රටවලට යවල, ඒ හදන සූර්ය පැනල අපි ආපහු මිලදී ගන්නවා. ඒක නෙමේ වෙන්න ඕන. හැකි ඉක්මනින් සූර්ය පැනල ලංකාවේ නිෂ්පාදනය අරඹන්න ඕන. ඒකට කර්මාන්තශාලා ලංකාවේ හැදෙන්න ඕන. ඩිජිටල් සහ තාක්ෂණික ඉගෙන ගත් දරුවන්ට ඒවා භාර කරන්න ඕන. සූර්ය බල තාක්ෂණික විශ්වවිද්‍යාලයක් වහාම රටේ ආරම්භ කරන්න ඕන. මෙයින් ඉගෙන ගන්නා දරුවන්ට ලෝකය ජයගන්න අපි මංපෙත් විවර කර දිය යුතුයි. ප්‍රමිතිගත සූර්ය පැනල අපට හදන්න පුළුවන් නම් අපිට ඒවා ලෝකයට අලෙවි කර රට සල්ලි හොයන්න පුළුවන්. මේ වගේ සූර්ය බල තාක්ෂණික විප්ලවයක් අත ළඟ අපි ඉන්නේ. ඇයි මේවා කරන්නේ නැත්තේ. අපි සමාගමක් වශයෙන් ඉදිරියට ආවේ මේ නිසා. මේ ක්ෂේත්‍රය ගැන හසල දැනුමක් ඇති, ඇමෙරිකාවේ වෙසෙන, වොෂින්ටන් ඩී සී ඇමෙරිකා-ශ්‍රී ලංකා සංගමයේ හිටපු සභාපති සහ වත්මන් උපදේශක ඒ. දක්ෂි ද සිල්වා මහතා රටේ තියෙන මේ සූර්ය බල විභවය දැකලා තමයි ADS Solar Power සමාගම ලංකාවේ පටන් ගත්තේ.

සූර්ය බලශක්තිය රටට අත්‍යවශ්‍යයි - ප්‍රවීණ සූර්ය බල විශේෂඥ, ADS Solar Power අධ්‍යක්ෂ චන්දන දීපවංශ

අපි ප්‍රමිතිගත සූර්ය බල තාක්ෂණය රටේ ප්‍රචලිත කරන්න ඉතා උනන්දුවෙන් කටයුතු කරනවා. ප්‍රමිතිගත සූර්ය පැනල, ප්‍රමිතිගත හා ලෝකය පිළිගන්නා ඉන්වර්ටර්ස් යනාදිය තමයි අපි රටේ ප්‍රචලිත කරන්නේ වගේම රටට හඳුන්වා දෙන්නේ. ඒ එක අතකින් ප්‍රමිතිගත සූර්ය උපකරණ රට තුළ ප්‍රචලිත කිරීම සඳහා තරගකාරිත්වයක් ඇති කිරීමට. ඇතැමුන් ව්‍යාජ සූර්ය පැනල අලෙවිය නිසා කාලයක් රට අපකීර්තියට පත් වුණා. සූර්ය බල තාක්ෂණය රටට එනකොටම කරපු මේ වැඩේ නිසා පාරිභෝගිකයින් රැවටීමට ලක්වුණා. සූර්ය බල කර්මාන්තයට කළු පැල්ලමක් ඇති වුණා. දැන් ඒ ප්‍රශ්න බොහෝ දුරට අඩුවෙලා. මම කර්මාන්තකරුවන්ගෙන් ඉල්ලන්නෙත් කර්මාන්තය රැකගෙන, ඉතා හොඳ සූර්ය බල තාක්ෂණයක් රටට දෙන්න ප්‍රමිතිගත හා අවංක සේවාවක් රටට දෙන්න කියලා. සූර්ය පැනල රට තුළම නිපදවීම මේකට හොඳ උත්තරයක්” යයිද චන්දන දීපවංශ මහතා පවසයි.

දීපවංශ මහතා කියන පරිදි මේ වන විට ADS Solar Power සමාගම යටතේ ක්‍රියාත්මක ගෘහස්ථ හා මධ්‍ය පරිමාණ සූර්ය බල ව්‍යාපෘති රැසක් රට තුළ ක්‍රියාත්මක වේ. “සෝලාර් පාර්ක්” සංකල්පයට ද ඔවුන් ප්‍රවිෂ්ට වී ඇත. වසර දෙකක් තිස්සේ සිට “රජයේ වෛද්‍ය නිලධාරී සංගමය GMOA” සමග ගිවිසුම් ගතවී සංගමයේ වෛද්‍යවරුන් සඳහා නිල සෝලාර් සැපයුම්කරු ලෙස ද ක්‍රියාකරන්නේ දීපවංශ මහතා අධ්‍යක්ෂ ධුරය දරන ඉහත සමාගම මගිනි. සුනිත්‍ය බලශක්ති අධිකාරිය සහ විදුලි බල මණ්ඩලය සමග සම්බන්ධ වී රාජ්‍ය බැංකු සහන ණය මත මෙසේ ලබාදෙන සූර්ය බල පද්ධති සවිකිරීමේ සේවාව මගින් සහනදායී මිලට සූර්ය තාක්ෂණය තම නිවෙස් වෙත ලබාගත හැකි බව දීපවංශ මහතා රටේ ජනතාවට සිහිපත් කර සිටී. ලෝකයේ ඉතාමත් ජනප්‍රිය වෙළෙඳ නාම සහිත පැනල සහ ඉන්වර්ටර් ශ්‍රී ලංකාවට ආනයනය කිරීම පිළිබඳව මහත් නමක් දිනාගෙන සිටින දීපවංශ මහතා අධ්‍යක්ෂ ධුරය දරන ඒ ඩී එස් සෝලාර් සමාගම සහ එහි සභාපති දක්ෂි ද සිල්වා මහතා පවසන්නේ ශ්‍රී ලංකාවේ සූර්ය බල තාක්ෂණ විශ්වවිද්‍යාලයක් හෝ උසස් අධ්‍යාපන ආයතනයක් ස්ථාපිත කරන්නේ නම් ඊට තම සහයෝගය ලබාදෙන්නට සූදානම් බව හා එම ආයතනවලින් පිටවන විද්‍යාර්ථීන්ට රැකියා අවස්ථා නිර්මාණය කරදෙන්නට තමන් සූදානම් බවයි.

“රට දියුණු කරන්න, බලශක්ති ක්ෂේත්‍රය ජයගන්න අපටම පුළුවන්. බලශක්තිය පිටරට තෙල් මත, ගල් අඟුරු මත උකස් තියාගෙන ඉන්න ඕන නැහැ. සූර්ය ශක්තිය රටේ ඕනෑතරම් තියනවා. වසරේ හැමදාම වගේ ඉර පායනවා. මෙහෙම රටවල් ලෝකයේ හොයාගන්න අමාරුයි. අපේ රටේ සම්පත් තියනවා. අපි සූර්ය උපකරණ නිපදවා රට යවා මුදල් හොයන්න ඕන. හැම ගමක් ගමක් පාසා, ගෙයක් ගෙයක් පාසා සූර්ය පැනල ස්ථාපිත කරන්න ඕන. කොටින්ම රට එකම සූර්ය බලාගාරයක් කරන්න ඕන. ඒක මහා ලොකු වියදමක් දරන වැඩක් නෙමේ. එසේම, 21 වැනි ශතවර්ෂය අපි ශ්‍රී ලංකාව සූර්ය බල ශක්තියෙන් ස්වයංපෝෂිත කරන රටක් බවට පත්කළ යුතුයි. නමුත් තාම අපි ඉන් සියයට 5 ක් වත් සිදුකරන්නේ නැති බවත් මතක තබාගත යුතුයි” යනුවෙන් ද චන්දන දීපවංශ මහතා සඳහන් කළේය.

පිළිසඳර – ජගත් කණහැරආරච්චි

advertistmentadvertistment
advertistmentadvertistment