හඬවලා සිතක් හඬවලා තණනිල්ල දිගේ ඇදිලා යනවා – සමන් ද සිල්වා ජීවන ගීතය නිම කරයි

51

මෙරට ගීත කලාව දශක පහකට ආසන්න කාලයක් සිය මියුරු හඬින් පෝෂණය කළ කෘතහස්ත ගායන ශිල්පී සමන් ද සිල්වා මහතා පෙරේදා (26දා) රාත්‍රි ජීවිත ගමනින් සදහටම සමුගත්තේය.

ප්‍රසංග වේදිකාවට නැතිවම බැරි ගායකයකු වූ සමන් ද සිල්වා මහතා ගීත ක්ෂේත්‍රයට අමරණීය ගීත රැසක් දායා ද කළේය.

‘නෝනා මගෙ නර්ස් නෝනා රජ කුමරිය ඉස්පිරිතාලේ’, ‘පුංචි කුරුලු කූඩුවේ අපි ඉන්නවා පාඩුවේ’, ‘නියරේ පියනඟනා’,‘සන්තෝෂ වෙන්න, ප්‍රීති වෙන්න එන්න මිත්‍රයා’, ‘තණනිල්ල දිගේ ඇදිලා යනවා’,‘සුරූපි විරූපී’,‘අයිරින් ජොසපින් රොසලින්’ වැනි ගීත ගොන්නක් හෙළ ගී ක්ෂේත්‍රයට තිළිණ කළ සමන් ද සිල්වා මහතා තමාටම ආවේණික වූ හඬකින් ගීත නිර්මාණ ඉදිරිපත් කළේය.

‘හඬවලා සිතත් හඬවලා’,‘වියෝපල වියෝපල් මාගේ’,‘දෙව්ලොව දෙවියනේ’,‘මුහුදේ යමු මසුන් මරන්න’,‘රන් රස වාගේ අපි දෙන්නා’,‘නොන්ඩි සිමයියා’ ඔහු ගැයූ තවත් අතිශය ජනප්‍රිය වූ ගීත කීපයකි.

වේග රිද්ම ගායනයෙන් ප්‍රසංග වේදිකාව රසවත් කළ සමන් ද සිල්වා මොරටු පුරවරයෙන් ගායනා දිවියට පිවිසිය ද පසු කාලීනව එතෙර මෙතෙර සෑම ප්‍රසංග වේදිකාවක්ම රසවත් කළේය.

තරුණ ජවයෙන් ප්‍රසංග වේදිකාව ආමන්ත්‍රණය කළ සමන් ද සිල්වා යෞවනයේ චමත්කාරය හොඳින් හැඳින වේග රිද්මය තම ගීතයට මෙවලමක් කර ගත්තේය.

ගායන ශිල්පී සමන් ද සිල්වා මියයන විට 69 වැනි වියෙහි පසුවිය. හෙතෙම කොළඹ නාලන්දා විද්‍යාලයේ ආදි සිසුවෙකි. පාසල් වේදිකාවේ ද සුවිශේෂ චරිතයක් වූ සමන් ද සිල්වා මහතා තරුණ වියේම බයිලා ගීත ගායනයෙන් ප්‍රසංග වේදිකාවට අවතීර්ණ විය. ගැඹුරු හඬ පෞරුෂයෙන් පිරිපුන් සමන් ද සිල්වා ගැයූ සෑම ගීතයක්ම අතිශයින් ජනප්‍රියත්වයට පත්විය.

ප්‍රසංග වේදිකාවට අවතීර්ණ වූ සමන් ද සිල්වා මහතා ‘සමන් ඇන් ද ක්ලෑන්’ නමින් සංගීත කණ්ඩායමක් ද බිහි කළේය.

පුතුන් දෙදෙනකුගේ හා දියණියකගේ පියා වූ සමන් ද සිල්වා මහතා කලක් රෝගාතුරව සිටි අතර පෙරේදා රාත්‍රි පෞද්ගලික රෝහලකදී සදහටම දෙනෙත් පියා ගත්තේය.

සමන් ද සිල්වා මහතාගේ දේහය අද (28දා) පෙරවරු 9.00 සිට මොරටුව අඟුලානේ පිහිටි ඒ මහතාගේ නිවසේ තැන්පත් කෙරෙන අතර හෙට (29දා) සවස පහට රාවණාවත්ත පොදු සුසාන භූමියේ ආදාහනාගාරයේදී අවසන් කටයුතු සිදුකෙරේ.
ධම්මික සල්වතුර, ප්‍රදීප් ප්‍රසන්න සමරකෝන්


advertistmentadvertistment