අනුර ගෝල් ෆේස්
සජිත් තලවකැලේ
නාමල් නුගේගොඩ
පෙරටුගාමීන් කිරුලපන
ශ්‍රී ල.නි.ප. එජනිස මැයි දින සැමරුම පක්‍ෂ මූලස්ථානයේදී
අදට (01දා) යෙදෙන 136 වැනි ජාත්‍යන්තර කම්කරු දිනය නිමිත්තෙන් කොළඹ ඇතුළු ප්‍රදේශ රැසක දේශපාලන පක්‍ෂ හා වෘත්තීය සමිති සංවිධාන විසින් මැයි දින පෙළපාලි, රැස්වීම් හා සැමරුම් උත්සව සංවිධානය කර ඇත. කොළඹ නගර සීමාවේ සැමරුම් සහ රැස්වීම් 15ක් පැවැත්වේ.
ජාතික ජන බලවේගය “රට හදන ජන බලය පෙළගැසෙන මැයි රැලිය” යන තේමාව යටතේ එම පක්‍ෂයේ නායක අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් සවස 3.30ට ගාලු මුවදොර පිටියේදී රැස්වීම පවත්වයි. සමගි ජන බලවේගය එහි නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් ‘ගම දිනන සටනට කම්කරු බලය’ යන තේමාව යටතේ තලවකැලේ දී අද සවස 2.00ට මැයි දින රැලිය පවත්වනු ඇත.
‘රැවටිල්ල ඉවසුවා ඇති දැන් ඉතින් නැගිටිමු’ යන තේමාව යටතේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මැයි රැලිය එහි ජාතික සංවිධායක නාමල් රාජපක්‍ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් නුගේගොඩ ආනන්ද සමරකෝන් එළිමහන් රංග පීඨයේදී දහවල් 1.00ටද, “බොරුව නවතා පොරොන්දු ඉටු කරමු” යන තේමාව යටතේ ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය සහ එක්සත් ජනතා නිදහස් සන්ධානය සංවිධානය කරන මැයි දින සැමරුම් උත්සවය ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂ මූලස්ථානයේ දී පෙරවරු 9.00ට ද පැවැත්වේ. “අයි.එම්.එෆ් මර උගුලට, ඉන්දියන් විජිතකරණයට එරෙහි එළියේ බලයක්” යන තේමාව යටතේ පෙරටුගාමී සමාජවාදී පක්‍ෂය මැයි දින රැලිය පස්වරු 3.00ට කිරුළපන ලලිත් ඇතුලත්මුදලි ක්‍රීඩාංගණයේ දී පැවැත්වේ. ඊට අදාළ පෙළපාලිය සවස 1.00ට කොළඹ BRC පිටියෙන් ආරම්භ වෙයි.
ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්‍ෂය හයිට් පිටියේ ්ද, ලංකා සම සමාජ පක්‍ෂය දහවල් 2.00ට විහාරමහා දේවි එළිමහන් රංග පීඨයේදී ද රැලි පවත්වයි. ජනමිත්‍ර මහජන සාමූහිකය පෙරවරු 10.00ට කොටුව දුම්රිය පළ ස්ථානය ඉදිරිපිට නිහඬ උද්ඝෝෂණයක් පවත්වයි. ශ්‍රී ලංකා ප්‍රගතිශිලී පෙරමුණේ මැයි දින සම්මන්ත්‍රණය සවස 2.00ට කෑගල්ල මාදෙයිනාව අංක 07 දරන ස්ථානයේ දී ද වතු සේවා සංගමයේ මැයි දින සැමරුම පෙරවරු 10.00ට අවිස්සාවේල්ල නගරයේදී ද පැවැත්වේ.
මීට අමතරව කෙසෙල්වත්ත ආර්. ප්‍රේමදාස පිළිරුවට, ආමර්වීදියේ ආර්. ප්‍රේමදාස ස්මාරකයට, ඊ. ඒ. ගුණසිංහ පිළිරුවට පුෂ්පෝපහාර දැක්වීම පෙරවැවේ සිදු කෙරේ. තවද කොස්ගස්හංදිය, බාලාතම්පෝ සංගම් මූලස්ථානය, ශාන්ත මයිකල් දේවස්ථානය, කොළඹ 05 ඇල්විටිගල මාවත කොළඹ 05 සංගම් මූලස්ථානය සහ නව නගර ශාලාව යන ස්ථානවල ද රැලි පවත්වන බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය පවසයි.
මැයි දින පෙළපාලි, රැස්වීම් හා සැමරුම් උත්සව වෙනුවෙන්, ආරක්‍ෂාව, රථ වාහන පාලනය, මාර්ග ආරක්‍ෂාව, සැලසීම මෙන්ම සාමාන්‍ය රථවාහන ගමනාගමනය විධිමත්ව පවත්වාගෙන යෑම සඳහා පොලිසිය විසින් අවශ්‍ය කටයුතු සිදුකරන බව ද එම කොට්ඨාසය පවසයි.
පිට පළාත්වල පවත්වන පෙළපාලි, රැස්වීම්, සැමරුම් උත්සව සම්බන්ධයෙන් සුදුසු පරිදි අවශ්‍ය ආරක්‍ෂාව, රථවාහන පාලනය හා මාර්ග ආරක්‍ෂාව සැලසීම පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන්, දිසා භාර නියෝජ්‍ය පොලිස්පතිවරුන්ට මෙන්ම කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරුන් වෙත පොලිස් මූලස්ථානය මගින් පවරා ඇතැයි ද එම කොට්ඨාසය පවසයි. උත්සව පැවැත්වීම හේතුවෙන් වාහන ගමනාගමනයට තදබදයක් ඇතිවුවහොත් එම ප්‍රදේශ මගහැර විකල්ප මාර්ග භාවිත කරන ලෙස ද එම කොට්ඨාසය රියැදුරන්ගෙන් ඉල්ලා සිටී.
චමින්ද සිල්වා
ඡායාරූපය – නිශාන් එස්. ප්‍රියන්ත