ගම්පොල ජාත්‍යන්තර පාසලේ සිසුවා මාරක ගසට බිලි

317

විවේක කාලයේ පෙර පාසල් සෙල්ලම් මිදුලේ සිටියදී
තවත් දරුවන් දෙදෙනකුට තුවාල

ගම්පොල නගරයේ ඇති ජාත්‍යන්තර පාසලක ඊයේ (05 දා) දහවල් විවේක කාලයේදී එහි පෙර පාසල් දරුවන් මිදුලේ සෙල්ලම් කරමින් සිටියදී ගසක් කඩා වැටීමෙන් එක්දරුවකු මියගොස් තවත් දරුවන් දෙදෙනකු තුවාල ලබා ගම්පොල හා මහනුවර රෝහල්වලට ඇතුළත් කර තිබෙන බව පරීක්‍ෂණ පවත්වන ඇත්ගාල පොලිසිය පවසයි.

මෙසේ මියගොස් ඇත්තේ ගම්පොල ඉල්ලවතුර ප්‍රදේශයේ පදිංචි මොහොමඩ් සෙයිම් අස්වී නමැති පස්හැවිරිදි දරුවායි. දරුවන් දෙදෙනකුගෙන් යුත් පවුලක ‘අස්වී’ වැඩිමහල් දරුවාය.

ගම්පොල ජාත්‍යන්තර පාසලේ සිසුවා මාරක ගසට බිලි

මෙම ජාත්‍යන්තර පාසලේ, පෙර පාසලේ සිට උසස් පෙළ දක්වා පන්ති පැවැත්වෙන අතර එය ගොඩනැඟිලි කිහිපයක තිබේ. පෙර පාසල් කොටසේ පන්ති හතරක් ඇති බව පොලිසිය පවසයි.

ඊයේ දහවල් විවේක කාලය තුළ එක් පෙර පාසල් පන්තියක සිටි දරුවන් තිස්එක් දෙනකු සෙල්ලම් මිදුලට වී සිටියදී සුළඟක් සමග කුඩු දවුල නමැති මෙම ගස දරුවන් අතරට කඩා වැටී තිබේ. මෙම සෙල්ලම් මිදුල දැල් ගසා කොටුකර තිබෙන අතර විශාල ලෙස අතු විහිදුන ගස ඒ මතට කඩා වැටී තිබේ. මෙම පාසලේ මායිම් බැම්මෙන් එහා තිබූ ගස අනාරක්‍ෂිතව තිබී ඇති බවද දෙමාපියෝ පවසති. සිද්ධියෙන් තුවාල ලැබූ දරුවන් තිදෙනකු ගම්පොල ශික්‍ෂණ රෝහලට ඇතුළත් කර ඇති අතර එක් දරුවකු මියගොස් තිබුණි. බරපතළ තත්ත්වයේ සිටි තවත් දරුවකු මහනුවර ජාතික රෝහල වෙත යවා තිබේ. අනෙක් දරුවා ගම්පොල රෝහලේ ප්‍රතිකාර ලබන බවද පොලිසිය පවසයි.

ගම්පොල කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි අසංක බණ්ඩාර ගුණතිලක මහතාගේ උපදෙස් මත පොලිස් අධිකාරී රොෂාන් අමරසිංහ, ඇත්ගාල පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්‍ෂක සෙනරත් කැකුලන්දර ඇතුළු නිලධාරී කණ්ඩායමක් පරීක්‍ෂණ පැවැත්වූහ.

ගම්පොල – සුරංග දිල්හාන්

advertistmentadvertistment
advertistmentadvertistment