එඩ්මන්ඩ් රණසිංහ මාධ්‍ය මෙහෙවර ශ්‍රී ලාංකික සමාජ දේශපාලනයේ උන්නතියට ප්‍රබල බලපෑමක් එල්ල කළා ‘දිවයින’ තුළින් ඒ කැඩපත අප දුටුවා – එඩ්මන් රණසිංහ සූරීන්ගේ උපහාර උළෙලේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ කියයි

152

එදා අගමැති ඩඩ්ලිට හාල් නිසා ගෙදර යන්න වුණා මෙදා ගෝඨාභය ජනපතිට තෙල් ගෑස් පෝලිම් නිසා ගෙදර යන්න වුණා

“එදා දේශපාලකයන්ගේ බලපෑම් මැද ‘දිවයින’ ස්වාමීත්වය එඩ්මන්ඩ් රණසිංහ රැක ගන්නට ක්‍රියා කළා” එතුමන් එකල විපක්‍ෂයේ වගකීමත් මාධ්‍ය මෙහෙවර තුළින් ඉටුකළා’ – ජ්‍යෙෂ්ඨ පුවත්පත් කතුවර උපාලි තෙන්නකෝන්

පුවත්පත් කලාවේ පරිවර්තනය වෙනසක් සිදු කළ නියමුවෙකු ලෙස ප්‍රවීණ මාධ්‍යවේදී එඩ්මන්ඩ් රණසිංහ මහතා හැඳින්විය හැකි බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කළේය.

දශක හතක මාධ්‍ය මෙහෙවරක් සිදු කළ එඩ්මන්ඩ් රණසිංහ මහතාගේ මාධ්‍ය කලාව ශ්‍රී ලාංකේය සමාජ, දේශපාලන උන්නතිය සඳහා සිදුව ඇති බවද ජනාධිපතිවරයා පෙන්වා දුන්නේ ය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙම අදහස් පළ කළේ, මෙරට ජ්‍යෙෂ්ඨතම පුවත්පත් කලාවේදියෙකු වන ‘දිවයින ’ පුවත්පතේ සමාරම්භක කර්තෘ හා කර්තෘ මණ්ඩල අධ්‍යක්ෂ එඩ්මන්ඩ් රණසිංහ සූරීන්ට උපහාර පිදීම වෙනුවෙන් ජනාධිපති කාර්යාලයේදී ඊයේ (03දා) පැවැති උත්සවයට එක්වෙමිනි.

මෙරට පුවත්පත් කලාව වෙනුවෙන් අමිල මෙහෙවරක් ඉටු කළ ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදීන්ට ජාතියේ උපහාර පිදීමේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ සංකල්පයට අනුව දියත් කෙරෙන වැඩසටහනේ සමාරම්භය සනිටුහන් කරමින් මෙම උත්සවය සංවිධානය කර තිබිණ.

මේ වනවිට සිය දිවි ගමනේ 93 වැනි වියේ පසුවන රණසිංහ මහතාගේ දශක හතක මාධ්‍ය මෙහෙවර අගයමින් සම්පාදිත ‘එඩ්මන්ඩ්ගේ පත්තර විප්ලවය’ කෘතිය දොරට වැඩීමද මේ හා සමගාමීව සිදු කෙරිණ.

මෙම කෘතිය ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක මහාචාර්ය සුනන්ද මද්දුම බණ්ඩාර, ඩබ්ලිව්. එම්. කේ. විජේබණ්ඩාර, දීප්ති අධිකාරි යන මහත්ම මහත්මීන් විසින් සංස්කරණය කර ඇත.

මාධ්‍ය කලාව ඉදිරියට ගෙන ඒමට කෘතිම බුද්ධිය දායක කර ගතහැකි ආකාරය පිළිබඳ සොයා බැලීම තුළින් ඵලදායී මාධ්‍ය ක්ෂේත්‍රයක් නිර්මාණය කරගත හැකි බව ද ජනාධිපතිවරයා පෙන්වා දුන්නේය.

එහිදී අදහස් දැක්වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙසේ ද පැවසීය.

1977 මා මුලින්ම බියගම ආසනයෙන් මැතිවරණය සඳහා ඉදිරිපත් වන විට, ඒ සඳහා අවශ්‍ය ලිපියක් සකස් කර ගැනීමට හොඳ මාධ්‍යවේදියෙක් පිළිබඳ විමසූ විට මගේ පියා එක්වරම කියා සිටියේ රණසිංහයන් පිළිබඳවයි. ඒ අනුව එතුමන් විසින් මගේ දේශපාලන පළමු ලිපිය ලියා තැබුවා. එය පසුගිය වසර වන තෙක්ම මා සතුව තිබුණා. එය දැන් මා ළඟ නැහැ. රණසිංහ මහතා ලේක්හවුස් ආයතනයේ මාගේ පියා සභාපතිත්වයෙන් යුතු කාලයේ සිළුමිණ, දිනමිණ වැනි පුවත්පත්වල කර්තෘවරයා ලෙස විශාල සේවාවක් ඉටු කළා. එතුමාගේ පුවත්පත් කලාවට පියසේන නිශ්ශංක, එම්. ඒ. සිල්වා, මාර්ටින් වික්‍රමසිංහ වැනි ජේ්‍යෂ්ඨතම මාධ්‍යවේදීන්ගෙන් ලේඛකයන්ගෙන් පන්නරය ලැබුණා. එම නිසා නිදහසට පෙර තිබුණු මාධ්‍ය කලාව මෙන්ම ඉන් පසු බිහිවුණු මාධ්‍ය කලාව යන දෙකොටසේම මනා පරිචයක් රණසිංහ මහතාට තිබෙනවා. 1953 වසරේ සහල් මිල වැඩි වූ විට ඩඩ්ලි සේනානායක මහතාට අගමැති ධුරයෙන් යෑමට සිදුවුණා. ඊට වසර හැට නමයකට පසු තෙල් නැතිව ගෝඨාභය රාජපක්ෂ මහතාට ධුරය අතාරින්නට සිදු වුණා. මේ වසර හැට තුළ නම් රණසිංහ මහතාට විශාල අත්දැකීමක් තිබෙනවා. ඒ සම්බන්ධයෙන් නැවත පොතක් ලියන්න වුවත් එතුමාට හැකියාව තිබෙනවා. 1964 පුවත්පත් අරගලය රණසිංහ මහතා ප්‍රායෝගිකව සිදු කළා. එතුමාගේ පළපුරුද්ද මාධ්‍ය සංස්කෘතියට යම් බලපෑමක් සිදු කිරීමට සමත් වුණ බව කියන්නට අවශ්‍යයි. නමුත් මුද්‍රිත කලාව මේ වන විට යම්කිසි බලපෑමකට ලක් වෙමින් තිබෙනවා. එදා ඊයම් අකුරු අමුණා සිදු කරපු පත්තර කලාව අද වන විට ස ච්ා දක්වා දියුණුව තිබෙනවා. ලේක්හවුස් වැනි මහා මන්දිරයක තිබෙන දැනුම ටදදටකැ මාධ්‍ය තුළ ඉක්මනින් සොයා ගැනීමේ හැකියාව නිර්මාණය වී අවසන්. එම නිසා පත්තර කලාව සමාජගත කිරීමට තාක්ෂණය හොඳ මෙවලමක් වෙනවා.

නමුත් ඕනෑම රටක පවතින මාධ්‍ය එය රට තුළ නීතියට යටත්ව ක්‍රියාත්මක වුණා. නමුත් සමාජ මාධ්‍ය බිහි වීමත් සමග තමන්ගේ හිතුමතයට අවශ්‍ය දේ පළ කිරීමට කටයුතු කරමින් තිබෙනවා. මේ සියලු සමාජ මාධ්‍ය සහ අනෙකුත් මාධ්‍ය ජාත්‍යන්තර ගිවිසුමකට එළඹෙනවා ද නැතිනම් රටේ නීතියට එළඹෙනවාද කියා සාකච්ඡාවක් ඇති කළ යුතුයි. බොහෝ විට යුරෝපයේ තියෙන නීතියට නෙත්තියට සියලු දෙනා එකඟතාවය පළ කරාවි. දැන් ලෝකයේ තිබෙන පත්තර සහ වදමරබ්ක එහි හිමිකරුවන් විසින් විකුණමින් හෝ එය නැවත ආයෝජනකරුවන්ට භාරදීමට සූදානම් වෙමින් තිබෙනවා. මාධ්‍යයේ ඊළඟ ක්‍රියාදාමය ඉදිරි වසර දෙක තුන අපට දැක ගන්නට පුළුවන්. එහි ප්‍රවීණයන් නිව්යෝර්ක් වලින් පමණක් නොව ශ්‍රී ලංකාවෙන් ද බිහිවිය හැකියි.

මෙම උපහාර උළෙලෙහි ප්‍රධාන දේශනය පැවැත්වූ ඇමෙරිකාවේ වෙසෙන දිවයින හා රිවිර පුවත්පත්වල හිටපු ප්‍රධාන කර්තෘ උපාලි තෙන්නකෝන් මහතා,

රණසිංහ මහතාගේ දශක හතක මාධ්‍ය ජීවිතය වෙනුවෙන් පවත්වන උපහාර පිදීමේ ප්‍රධාන දේශනයට ආරාධනා කිරීම සම්බන්ධයෙන් මම සතුට පළ කරනවා. එතුමා සම්මාන උපහාර බලාපොරොත්තුවෙන් සිටින කෙනෙක් නොවෙයි. එතුමා හැමදාම කිව්වේ මම කළේ සේවයක් කියා පමණයි. ඒ නිසා සම්මාන උපහාර වැඩක් නෑ කියන මතයේ එතුමා සිටියා. නමුත් රනිල් වික්‍රමසිංහ මහතාගේ සංකල්පයකට අනුව මේ සිදුකරන උපහාරය ඉතාම වැදගත් වෙනවා. මක්නිසාද යත් පුවත්පත් කලාවේ දැනට සිටින ප්‍රවීණ මාධ්‍යවේදියා එඩ්මන්ඩ් රණසිංහයන් නිසයි.

දශක හතකට අධික කාලයක් ගත කළ ඇති එඩ්මන්ඩ් රණසිංහ මහතා උපහාරවලට කැමැති කෙනෙක් නෙමෙයි. මම කර්තෘ සංසදයේ සිටියදී රණසිංහ මහතාට උපහාර සම්මානයක් ලබාදීමට කතා කළ අවස්ථාවේදී රණසිංහ මහතා කියා සිටියේ මම සම්මාන ගන්න වැඩ කළේ නැහැ. මම රස්සාවයි කළේ කියලා. මෙතනදීත් ඒකම මම එතුමාට කිව්වා. ඒ වගේම දශක හතකට වැඩි කාලයක් මාධ්‍ය ක්ෂේත්‍රයේ සිටි ඔබතුමාට උපහාරයක් පැවැත්වීම අවශ්‍යයි කියලා කිව්වා. මෙවැනි දෙයක් කිරීමට කටයුතු කළ ජනාධිපතිවරයා සහ ජනාධිපති කාර්ය මණ්ඩලයට ස්තුති කරනවා.

ගුරුවරයකු වශයෙන් සිට වෘත්තීය ආරම්භ කළ රණසිංහ මහතා 1952 ඉංග්‍රීසි පුවත්පත් කලාවේදියකු- ලෙස කටයුතු කළේය. ඔහු නිතරම පාඨකයින්ට දැනුම බුද්ධිය රසඥතාවය ඇති කිරීම අරමුණ කරගෙන තිබුණා. ඔහු වෙනත් දේවල්වලින් පුවත්පත් පුරවන්න කටයුතු කළේ නැහැ. ඇමරිකාවේ භාවිතා වන්නෙත් රණසිංහ මහතා අනුගමනය කරනු ලබන වැඩපිළිවෙළයි. ඔහුගේ අතේ නිතරම සඟරාවක් දෙකක් තිබුණා. ඔහු කාර්යාලයේ නිකන් හිටියේ නැහැ. ඇමරිකාවේ, එංගලන්තයේ තානාපති කාර්යාවලින් ඔහුට එම සඟරාවන් ලැබී තිබුණා. ඔහු ඒවා කියවන්න කියා මාධ්‍යවේදීන්ට ලබාදුන්නා.

මේවාට අමතරව දර්ශනය, චරිත කතා කියෙව්වා. ඔහුට ලෝකය පිළිබඳ පුළුල් දැනුමක් තිබුණා. ඔහුට නිතරම තිබුණේ යල්පැන ගිය දැනුමක් නොවේ. අලුත් වන දැනුමක් තිබුණා. එය පුවත්පතට ඉතා වැදගත් වුණා. ඔහුගේ දැනුම තුළින් දිවයින පුවත්පත ජනප්‍රිය පුවත්පතක් බවට පත් වුණා. ඔහු ලේක්හවුස් ආයතනයේ සිංහල, ඉංග්‍රීසි පුවත්පත්වල තනතුරු දැරූවා. ඒ වකවානුවේ රජය සමග ඇති කරගත් යම් යම් සිද්ධි නිසා එයින් ඉවත් වුණා. රණසිංහ මහතා දිවයින පුවත්පතට රැගෙන ඒමට මාධ්‍යවේදීන් පිරිසක් එක්ව සිටියා. ඔහු මට හමුවුණේ 1978 බොරැල්ල ඇක්වයිනාස් ආයතනයේ වැඩමුළුවකට සහභාගි වී සිටියදීයි. ඔහු එහිදී විදෙස් රටවල් ගැන දේශනයක් පැවැත්වූවා. එයින් ඇති කරගත් හිතවත්කම මත මම ලේක්හවුස් ආයතනයට සම්බන්ධ වුණා. එහිදී අත්දැකීම් රැසක් ලැබුණා.

දිනක් රණසිංහ මහතා වෙනත් පත්තරයකට යනවා ඔයත් එනවද කියා විමසීමක් කළා. මම එකඟයි කිව්වා. ඒ වකවානුවේදී කාර්ය මණ්ඩලයේ නම දෙනෙක් පමණ සිටියත් ඉන් අට දෙනෙක් පමණ දිවයින පුවත්පතට සම්බන්ධ වුණා. ඉරිදා දිවයින පුවත්පත 1981 ද, දිනපතා දිවයින 1982 ද ආරම්භ කළා. ඒ කාලයේ ජේ. ආර්. ජයවර්ධන මහතාගේ පැවැති රජය සම්බන්ධයෙන් ජනතා ප්‍රසාදයක් තිබුණේ නැහැ. විපක්ෂයක් රටේ පැවතියත් රටේ හඬක් නඟන්නට කටයුතු කළේ දිවයින පුවත්පත මගින්. මම හිතන්නෙ දිවයින ඒ වගකීම ගත්තා කියලයි. දිවයින කතා කළේ දේ ගැන වාසිය වුණේ විපක්ෂයටයි. ඒ නිසා සිටි පාලකයින් දිවයින සමග අමනාපයක් ඇති වී දිවයිනට තර්ජනය කළා. උපාලි පුවත්පත් සමාගම රජයට පවරා ගන්නවා කියලා තර්ජනය කළා. පසුව රජය අධ්‍යක්ෂවරයෙක් පත් කළා. දිවයින පවරා ගන්න එනවා කිව්වම රණසිංහ මහතා එළිවෙනකම් කාර්යාලයේ රැඳී සිටියා. මේ විතරක් නෙමේ දිවයින වාහනවලට ගිනි තිබ්බා. හැබැයි ඒ කිසිම දේකට අපි බය වුණේ නැහැ. මුහුණ දුන්නා. රණසිංහ මහතා බියක් නොදැක්වූ නිසා සාමාන්‍ය පරිදි වැඩ කටයුතු කළා.

ජේ. ආර්. ජයවර්ධන මහතාගේ යුගයෙන් පසු රණසිංහ ප්‍රේමදාස මහතාගේ ජයග්‍රහණයත් සමග මේ බලපෑම් තවත් වැඩි වුණා. එදා සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනිය ජයග්‍රහණය කළා නම් යම් වෙනසක් වෙන්න තිබුණා. එම වකවානුවේදී ඡන්දය ලබාදීමට යන අය ඝාතනය කිරීම වැනි බිහිසුණු තත්ත්වයක් ද රටේ පැවතියා. එසේ තිබියදී රෝහණ විජේවීර මහතාගේ අත්සන සහිතව ලිපියක් දිවයිනට ලැබී තිබුණා. එම ලිපිය මගින් දිවයින කරන සේවය දිගටම කරගෙන යන ලෙස දැනුම් දීලා තිබුණා. එම ලිපියේ ඇත්ත වශයෙන් රෝහණ විජේවීර මහතා විසින් එවා තිබේ ද යන්න සැක හැර දැන ගැනීම සඳහා කටයුතු කිරීමේදී එය විජේවීර මහතා විසින්ම එවා තිබූ ලිපියක් බවට තහවුරු කර ගත්තා. එම ලිපිය රණසිංහ මහතා සතුව තිබේ ද යන්න මා දන්නේ නැහැ. රණසිංහ මහතාගේ ගෙදරට බෝම්බ ප්‍රහාර දෙකක් එල්ල වී තිබුණා. එයින් එක් බෝම්බයක් පුපුරා ගොස් තිබුණේ නැහැ. එය පුපුරා ගියා නම් රණසිංහ මහතාට කුමකින් කුමක් වෙයිද කියලා හිතාගන්න බැහැ. මෙවැනි සිද්ධි නිසා දිවයින තවත් තවත් එඩිතරව ඉදිරියට ගියා.

මෙවැනි වතාවරණයක් තුළ උපාලි සමූහ ව්‍යාපාරය ඉඩම් ගැටලු වගයකට මුහුණ දී තිබුණා. එවක සිටි පාලකයා විසින් උපාලි සමූහ ව්‍යාපාරය බැංකුවලින් ලබාගෙන තිබෙන ණය කපා හැරිය හැකි බවත් ඒ පිළිබඳ රණසිංහ මහතා ඉවත් කරන ලෙසත් හිටපු ඇමැතිවරයකුගේ මාර්ගයෙන් උපාලි සමූහ ව්‍යාපාරයේ සභාපතිනිය වන ලක්මණි ආර්. වෙල්ගම මහත්මිය වෙත පණිවිඩයක් මගින් ඉල්ලීමක් කර තිබුණා. එහිදී ලක්මණි මැතිනිය විසින් බැංකු ණය කපා හරිනවාට වඩා මට රණසිංහ මහතා වටිනා බව පණිවිඩය රැගෙන ආ හිටපු ඇමැතිවරයාට දැනුම් දී තිබුණා.

පසු කලකදී රණසිංහ මහතා දිවයින පුවත්පතෙන් ඉවත් වුවත් ඔහු අධ්‍යක්ෂ මණ්ඩලයේ තවදුරටත් රඳා පවත්වා ගන්නට වෛද්‍ය සීවලි රත්වත්තේ මහතා කටයුතු කරලා තිබුණා. මාධ්‍ය ආයතනවල සිටින බොහෝ පිරිස් රණසිංහ මහතාගේ සෙවණේ හැදී වැඩී තිබෙනවා. ඔහු නාමල් උයන ගොඩනඟන්න පෞද්ගලිකව මෙන්ම පුවත්පත මගින් විශාල සේවයක් කළා.

එඩ්මන්ඩ් රණසිංහ මහතාගේ මැදිහත් වීම තුළ කරුණාදාස සූරියආරච්චි, සුන්දර නිහතමානි ද මෙල් ඇතුළු මාධ්‍යවේදීන් කිහිප දෙනකු හරහා පුවත්පතට එකතු කළ කොළම් මගින් පුවත්පත ජනප්‍රියතාවයට පත් වුණා.

ඒ වගේම මේ වනවිට පුවත්පත් මුද්‍රණය කිරීමට මුද්‍රණ කඩදාසි මිල ඉහළ යෑම වැනි කරුණු බලපා තිබෙනවා. ඒ නිසා ජනාධිපතිවරයා පුවත්පත් මුද්‍රණයට අවශ්‍ය මුද්‍රණ කඩදාසි සඳහා යම් සහනයක් දීමට හැකි නම් පුවත්පත් අඩු මිලට ජනතාව අතරට ගෙන යෑමේ හැකියාවක් පවතිනවා. ඒ කෙරෙහි සලකා බලන ලෙස ජනාධිපතිවරයාගෙන් මම ඉල්ලා සිටිනවා.

මහාචාර්ය සුනන්ද මද්දුම බණ්ඩාර මහතා මෙසේ පැවසීය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති ධුරයට පත් වීමෙන් පසු ජනාධිපති කාර්යාලයේ නිලධාරීන් මාධ්‍ය ආයතන වෙත ගොස් කර්තෘවරුන් සහ මාධ්‍යවේදීන් හමුවී සුහදතාවය වර්ධනය කර ගත්තා. එම කරුණු කීපයක් ජනාධිපතිවරයාට දැන්වීමට කටයුතු කළා. එහිදී ජනාධිපතිවරයා මාධ්‍යවේදීන්ගේ සුබසාධන කටයුතු කළ යුතු බව ප්‍රකාශ කළා. එහි පියවරක් ලෙස එඩ්මන්ඩ් රණසිංහ මහතාට උපහාර පිදීම සිදු වෙනවා. මාධ්‍යවේදීන් හැමදාමත් අනුන්ගේ දේවල් ලියනවා. නමුත් මාධ්‍යවේදියා ගැන කතා කර ඇගයීමට ලක්වීමේ අඩුවක් පවතිනවා. ඔවුන් ඇගයීමට ලක් කළ යුතු බව ජනාධිපතිවරයා කියා සිටියා.

උපහාරයට පාත්‍ර වූ රණසිංහ මහතා ගැන සෑම පුවත්පතකම වාගේ ලිපි පළවී තිබුණා. ඒ වගේම පුවත්පත් හතකම කර්තෘ වාක්‍යයට එඩ්මන්ඩ් රණසිංහ මහතා ගැන ලියවී තිබෙනවා. එය දේශපාලනඥයකු හැරෙන්න වෙන කෙනෙක් ගැන ලියවුණා නම් ඒ රණසිංහ මහතා ගැන කියා මා ප්‍රකාශ කරනවා.

අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන, ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන, ජනමාධ්‍ය රාජ්‍ය අමාත්‍ය ශාන්ත බණ්ඩාර, පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ ප්‍රේමනාත් සී. දොළොවත්ත, ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක සාගල රත්නායක, දේශගුණික විපර්යාස පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක රුවන් විජයවර්ධන, ජනාධිපති ලේකම් සමන් ඒකනායක, ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම් අනූෂ පැල්පිට, ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් දිනිත් චින්තක කරුණාරත්න, පුවත්පත් කර්තෘවරුන් ඇතුළු ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදීන් රැසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

එඩ්මන්ඩ් රණසිංහ මාධ්‍ය මෙහෙවර ශ්‍රී ලාංකික සමාජ දේශපාලනයේ උන්නතියට ප්‍රබල බලපෑමක් එල්ල කළා ‘දිවයින’ තුළින් ඒ කැඩපත අප දුටුවා - එඩ්මන් රණසිංහ සූරීන්ගේ උපහාර උළෙලේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ කියයි
එඩ්මන්ඩ් රණසිංහ මාධ්‍ය මෙහෙවර ශ්‍රී ලාංකික සමාජ දේශපාලනයේ උන්නතියට ප්‍රබල බලපෑමක් එල්ල කළා ‘දිවයින’ තුළින් ඒ කැඩපත අප දුටුවා - එඩ්මන් රණසිංහ සූරීන්ගේ උපහාර උළෙලේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ කියයි

චමින්ද සිල්වා

advertistmentadvertistment
advertistmentadvertistment