ස්පා එකෙන් අල්ලස් ගත් කඳාන දූෂණ විමර්ශන ඕඅයිසී රිමාන්ඩ්

2208

කඳාන ප්‍රදේශයේ පිහිටි සම්භාහන (ස්පා) ආයතනයකින් රුපියල් 75,000ක අල්ලසක් ලබා ගැනීමේ චෝදනාව යටතේ සැකපිට අත්අඩංගුවට ගෙන ඉදිරිපත් කළ කඳාන පොලිසියේ දූෂණ විමර්ශන අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්‍ෂක කේ. කේ. මහින්ද මහතා ලබන 15 වැනිදා දක්වා රක්‍ෂිත බන්ධනාගාර ගත කිරීමට කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් මහතා ඊයේ (01 දා) නියෝග කළේය.

පැමිණිලිකාර ව්‍යාපාරිකයා පවත්වා ගෙන යන එම ආයතනය සැකකරු ඇතුළු පොලිස් නිලධාරීන් විසින් දිගින් දිගටම පරීක්‍ෂා නොකරමින් බාධාවකින් තොරව එය පවත්වා ගෙන යෑමට ඉඩදීමට එකී අල්ලස ලබාගෙන ඇතැයි විමර්ශන නිලධාරිහු අධිකරණයට පැවසූහ. පසුගිය 29 වැනිදා ද එම ආයතනය වටලා තිබූ පොලිස් නිලධාරීන් එහි තිබූ හැඳුනුම්පත්, විදේශ ගමන් බලපත්‍ර සහ රියැදුරු බලපත්‍ර හා හිමිකරුගේ ජංගම දුරකථනය රැගෙන ගොස් ඇති බවත් පසුව රුපියල් 25,000ක අල්ලසක් ලබාගෙන ජංගම දුරකථනය පමණක් මුදාහැර ඇති බවත් ඉදිරියේදී බාධාවකින් තොරව එය පවත්වාගෙන යෑමට නම් රුපියල් 75,000ක අල්ලසක් ඉල්ලා ලබාගත් අවස්ථාවේදී අත්අඩංගුවට ගත් බවත් උප පොලිස් පරීක්‍ෂක රංජිත් බණ්ඩාර මහතා අධිකරණයට පැවසීය.

ඒ. ජේ. ඒ. අබේනායක

advertistmentadvertistment
advertistmentadvertistment