ඔස්ට්‍රේලියා මිනිස් ජාවාරමෙන් කෝටි ගණන් ඉපයූ කල්ලියක් අත්අඩංගුවට

2125

නාවික හා යුද හමුදා සෙබළෙකුත් දැලේ

නීති විරෝධී අන්දමින් මුහුදු මාර්ග ඔස්සේ පුද්ගලයන් ඕස්ටේ්‍රලියාවට රැගෙන ගොස් රුපියල් කෝටි ගණනින් මුදල් ඉපයූ නාවික හා යුද හමුදා සාමාජිකයන් ඇතුළු සංවිධානාත්මක කණ්ඩායමක් අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව මගින් සැකපිට අත්අඩංගුවට ගෙන ඇත.

සැකකරුවන් අතර සාම්පූර් ප්‍රදේශයේ නාවික හමුදා කඳවුරක සෙබළෙකු සහ රණවිරු සෙවණේ රාජකාරි කරන හමුදා සෙබළෙකු සිටින බව අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව පවසයි.

ඊට අමතර දෙමළ ජාතික ධනවත් ව්‍යාපාරිකයකු, කාන්තාවක් ඇතුළු හය දෙනෙකු මේ වනවිට අත්අඩංගුවට ගෙන සිටින බව එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් කියා සිටියේය. ඉකුත් වසරේ දෙසැම්බර් මස 04 වැනිදා විසිදෙනෙකුගෙන් සමන්විත පිරිසක් නීති විරෝධී ආකාරයට මුහුදු මාර්ග ඔස්සේ ඕස්ටේ්‍රලියාවට යැවීමට කටයුතු කර තිබියදී එම පිරිස පොලිසියට කොටු වූහ.

මේ සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන කටයුතු අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ තැනැත්තන්, වෙළඳාම, ජාවාරම සහ සමුද්‍රීය අපරාධ ඒකකය මගින් ආරම්භ කර තිබිණි.

මෙම සංවිධානාත්මක කල්ලියේ සාමාජිකයන් සිව් දෙනෙකු මීට පෙර අත්අඩංගුවට ගෙන තිබූ අතර ඔවුන්ගෙන් ප්‍රශ්න කිරීමේදී හෙළි වූ තොරතුරු මත නාවික සහ හමුදා සෙබළුන් දෙදෙනා පෙරේදා (14දා) සිය භාරයට ගැනීමට අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව කටයුතු කළහ.

මෙහිදී හෙළිවී ඇත්තේ ඉකුත් දෙසැම්බර් 04 වැනිදා 20 දෙනෙකුගෙන් සමන්විත පිරිස ඕස්ටේ්‍රලියාවට රැගෙන යෑමට ඔවුන්ගෙන් රුපියල් තුන්කෝටි විසි ලක්‍ෂයක මුදලක් ලබාගෙන ඇති බවයි. එම මුදල්වලින් රුපියල් ලක්‍ෂ 70 ක් හමුදා සෙබළා ලබාගෙන ඇති අතර නාවික හමුදා සෙබළාට ලැබී ඇත්තේ රුපියල් දස ලක්‍ෂයක මුදලක් බවද හෙළි විය. මෙම සංවිධානාත්මක කල්ලියට සම්බන්ධ තවත් ආරක්‍ෂක අංශ සාමාජිකයන් කීපදෙනකු ඇතුළු පිරිසක් අත්අඩංගුවට ගැනීමට නියමිතය. අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව වැඩිදුර විමර්ශන පවත්වාගෙන යයි.

හේමන්ත රන්දුණු

advertistmentadvertistment
advertistmentadvertistment