අරාජික වූ සරවනරාජා කතාවේ තවත් පැත්තක්

1085

තමාට මරණ තර්ජන ඇති බව කියමින් මුලතිව් දිසා විනිසුරු ටී. සරවනරාජා පසුගිය සතියේ ඉල්ලා අස්විය. මේ අවස්ථාවේදී පෘථග්ජනයන් වශයෙන් බලවත් සේ කම්පාවට පත් වූ අපි පාතාලයට හෝ ප්‍රචණ්ඩ බලවේගවලට බියෙන් රටේ නඩුකාරයන් ඉල්ලා අස්වීම ඉතා නරක පූර්වාදර්ශයක් බව කියමින් කතුවැකියක් ලියමු. මෙහිදී අප විසින් තවදුරටත් පවසන ලද්දේ අපරාධකාරයන්ට බියෙන් විනිසුරුවරුන් අස්වන්නේ නම් මතුයම් දවසක නඩු ඇසීමට විනිශ්චාසනයේ ඉඳගන්නවා ඇත්තේ අපරාධකරුවන් පමණක් බව ය. ප්‍රචණ්ඩත්වයට හා පාතාලයට බියෙන් නඩුකාරයන් ඉල්ලා අස්වීම ඉන්දියාව, කොලොම්බියාව, බ්‍රසීලය වැනි රටවල ඉතා බහුල ලෙස සිදුවෙයි. සාමාන්‍යයෙන් කොලොම්බියාව වැනි රටවල් පාලනය කරන්නේ කුඩු කර්මාන්තකරුවන් විසිනි. මේ කුඩු කර්මාන්තකරුවන් සතුව වෙනම පොලිසි සහ වෙනම උසාවි ඇත. වෙනම යුද හමුදා ඇත. තමන්ට එරෙහිව යන රාජ්‍ය නිලධාරීන් අල්ලාගෙන ඔවුන් සිය පාතාල අධිකරණය හමුවට පමුණුවා මරණ දණ්ඩන තීන්දු ලබාදෙන, වෙඩි තබා මැරීම මේ කියන කුඩු කර්මාන්තකරුවන්ගේ පුරුද්ද වී තිබේ. එසේම තමන්ට කෙළවන විදිහේ තීන්දුවක් උසාවියකින් දුන්නොත් විනිසුරුවන්ට වෙඩි තැබීම කොලොම්බියාවේ ප්‍රචණ්ඩ කල්ලිවල සිරිත වී ඇත. තමන්ට අවාසි වන අන්දමේ තීන්දුවක් තම නඩුව ඇසූ මහාධිකරණ විනිශ්චයකාරවරයා වූ සරත් අඹේපිටිය විසින් දෙනු ඇතැයි කල්පනා කළ පොට්ට නවුෆර් සිරගෙදර ඉන්න අතරම එළියට කොන්ත්‍රාත් එකක් දී විනිශ්චයකාරයා මැරවීය. ඒ මිනීමැරුම කරන ලද්දේ රුපියල් පනස්දහසක් වැනි ඉතා සුළු මුදලකට ය. ආමි එකෙන් පැනගිය හතරදෙනෙක් කොන්ත්‍රාත්තුව භාරගෙන තිබූ බැවින් විනිසුරුතුමා ඝාතනය කර සතියක් ගතවීමටත් පෙර සියලුම දෙනා අතටම හසුවූහ. පොට්ට නවුෆර් මීට දෑවුරුද්දකට පමණ පෙර කොරෝනා වැලඳී හිරේදීම මළේ ය. විනිසුරුට වෙඩි තැබූ හතරදෙනා ද එල්ලුම් ගසට නියම වූහ. දැන් අපි යළිත් මුලතිව් හි දිසා විනිසුරු ටී. සරවනරාජාගේ ප්‍රශ්නය දෙසට හැරෙමු.

සරවනරාජා මේ වන විට ලංකාවෙන් පිටව ගොස් ඇතැයි දැන ගන්නට තිබේ. අධිකරණ ඇමැති විජයදාස රාජපක්‍ෂ කියන පරිදි පසුගිය සතියේදී කොළඹට පැමිණි සරවනරාජා බලගතු රටවල් දෙකක තානාපතිවරුන් හමුවිය. ඊට පෙර ඔහු තම මෝටර් රථය විකුණාදමා තිබිණි. ජනාධිපති නීතිඥ විජයදාස රාජපක්‍ෂ කියන පරිදි තමන්ට මරණ තර්ජනයක් තිබේ නම් ඒ සම්බන්ධයෙන් සැක සහිත පුද්ගලයන් අත්අඩංගුවට ගැනීමට වරෙන්තුවක් නිකුත් කිරීමේ බලය විනිසුරුවරුන්ට තිබේ. ඒත් සරවනරාජා එසේ කළේ නැත. ඔහු අහිංසක චූටි බබෙකු ලෙස හැසිරී තමන් සේවයෙන් ඉල්ලා අස්වන බව සඳහන් කරන ලිපියක් අධිකරණ සේවා කොමිසමට ඉදිරිපත් කළේය. මේ අතර හිටපු පොලිස් ඇමැති සරත් වීරසේකර විසින් විනිසුරු සරවනරාජාට මරණ තර්ජන එල්ල කළේ යැයි කිසියම් වාචාලයකු විසින් සඳහන් කර තිබිණි. ඒ කතාව හදන්නේ මෙසේ ය. කුරුන්දි විහාරයේ නඩුව තිබුණේ සරවනරාජා අතේ ය. මෙහිදී කුරුන්දි විහාරයේ අයිතිවාසිකම් වෙනුවෙන් සරත් වීරසේකර දැඩිව පෙනී සිටියේය. පෙර කී කටවාචාලයා ඉහත සඳහන් කතාව ගොතා ඇත්තේ මේ තොරතුරු උපයෝගී කරගෙන බව අපට කල්පනා වෙයි. සරත් වීරසේකර මේ සිද්ධියට සම්බන්ධ නැත්නම් වහාම පෙර කී වාචාලයාට විරුද්ධව නෛතික පියවර ගත යුතු ය. ඒ අතර තවත් වැදගත් කතාවක් කියමු. සරවනරාජාගෙන් තමාට හිංසා පීඩා සිදුවන බව කියමින් ඔහුගේ බිරිඳ ද අධිකරණ සේවා කොමිසමට පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇතැයි දැන ගන්නට තිබේ. ඒ පිළිබඳව පරීක්‍ෂණයක් පැවැත්වීමට අධිකරණ සේවා කොමිසම පියවර ගෙන ඇත.

තමාට මරණ තර්ජන ඇති බව කියමින් රටින් පලායෑම ජාවාරමක් බවට පත්වන්නේ 1988 – 89 යුගයේ පැවැති ප්‍රේමදාස ආණ්ඩු කාලයේදී ය. මේ කාලයේදී ඉවක් බවක් නැතිව මිනී මරන ලද බැවින් හුඟක් දෙනා තම ජීවිතය ගලවාගනු පිණිස පිටරටට පැන ගියහ. එසේ පැන යන අය අතර සිටි පල්හොරු ද, ස්ත්‍රී දූෂකයෝ ද, ගංජා මුදලාලිලා ද තමන්ටත් ජීවිත තර්ජන ඇති බව කියමින් පිටරටවලට පැන ගත්හ. මේ පුරුද්ද අද දක්වාම එසේම පවතී. ඇතැම් ප්‍රභූ කණ්ඩායම් කුලී තුවක්කුකරුවන් යොදවා තම නිවසේ ගේට්ටුවලට වෙඩිතබා ගෙන තමන්ට ජීවිත තර්ජන ඇති බව කියා බටහිර තානාපතිවරු මාර්ගයෙන් රට පැන්නාහ. සරවනරාජාගේ කතන්දරයේ ඇත්ත නැත්ත අපි හරියටම නොදනිමු. සමහර විට ඔහුට මරණ තර්ජන තිබෙන්නට ඇති. ඒවා ඔහු වෙතින් හිංසාවට පත් වූයේ යැයි කියන ඔහුගේම බිරිඳගේ පාර්ශ්වයෙන් එල්ල වුණු තර්ජන ලෙස කෙනෙකුට සැක කළ හැකි ය. මෙය සැකයක් පමණි. එබැවින් සරවනරාජා විනිසුරුතුමාගේ බිරිඳගේ පාර්ශ්වයේ කට්ටිය අපට එන්තරවාසි එවිය යුතු නැත.

කිසියම් විනිශ්චයකාරවරයකු තම රට තුළ තමන්ට එරෙහිව මරණ තර්ජන තිබෙන බව පවසන්නේ නම් එය ඉතාම නරක සහ තුට්ටු දෙකේ තත්ත්වයකි. රටක් පාලනය කරන්නේ විධායකය, ව්‍යවස්ථාදායකය සහ අධිකරණය විසිනි. මෙහිදී පාතාල මැරයන් හෝ වෙනත් ප්‍රචණ්ඩකාරීන් වෙතින් අධිකරණයට තර්ජනය කිරීමෙන් ප්‍රජාතන්ත්‍රවාදයේ මහා පියැස්ස දරාගෙන සිටින එක කුලුනක් සම්පූර්ණයෙන් ම බිම ඇද වැටෙනවා ඇත. කුලුනු දෙකකින් වහලයක් දරාගෙන සිටීමට නො හැක. එවිට සිදුවන්නේ වහලය කඩා වැටී ඉතිරි කුලුනු දෙකත් කඩා වැටීම ය. අනෙක සරවනරාජාගේ සිද්ධිය ජාත්‍යන්තරය ඉදිරියේදී අපට විශාල මඩ පහරක් එල්ල කර ඇත. මේ මඩගොඩෙන් ගැලවීමට නම් මේ ගැන විධිමත් පරීක්‍ෂණයක් පැවැත්විය යුතු බව අපි නැවත නැවතත් රජයට යෝජනා කරමු. පත්තරකාරයන්ගේ යෝජනා ආණ්ඩුව ගණන් ගන්නේ නැත. හැබැයි ඒවා ගණන් නොගෙන යන ගමන කෙළවුණු විට ආණ්ඩු බණින්නේ ද පත්තර ඇතුළු වෙනත් ජනමාධ්‍යවලටම ය.

advertistmentadvertistment
advertistmentadvertistment