හංසනී ගෝමස් ජාතික වාර්තාව අලුත් කරයි – ඩිලංක අද තරග බිමට

105

අන්තර් ජාතික බර ඉසිලීමේ සම්මේලනයේ මෙහෙයවීමෙන් තායිලන්තයේ දී දැන් ක්‍රියාත්මක ලෝක ශූරතා බර ඉසිලීමේ තරගාවලියේ ආරම්භක දිනය වූ ඊයේ (31) නව ශ්‍රී ලංකා වාර්තාවක් බිහි කරමින් කැපී පෙනෙන්නට ශ්‍රී ලංකාවේ හංසනී ගෝමස් සමත් වූවාය. කිලෝ ග්‍රෑම් 49 ට අඩු බර පන්තිය නියෝජනය කළ හංසනී ගෝමස් ස්නැච් ක්‍රමයට කි.ග්‍රෑ.76 ක් ඔසවමින් නව ජාතික වාර්තාවට හිමිකම් කීවේ තමන් නමින් පැවති කි. ග්‍රෑ.75 ක බර ප්‍රමාණය ඉක්ම වීමත් සමගිනි. එහි ප්‍රතිඵලයක් ලෙස කිලෝ ග්‍රෑම් 01 ක වර්ධනයක් මෙම තරගාවලිය ආශ්‍රිතව ප්‍රදර්ශනය කර තිබේ.

මෙම තරගාවලියේ දී “සී” කාණ්ඩය යටතේ තරග බිමට පිවිසෙමින් ක්ලීන් ඇන්ඩ් ජර්ක් ක්‍රමයට කි. ග්‍රෑ. 85 ක් ද මුළු බර එකතුව ලෙස කි. ග්‍රෑ. 161 ක් එසවීමට සමත් වුවත් එය පදක්කමක් කරා යෑමට ප්‍රමාණවත් නොවීය. ඇයගේ පෞද්ගලික දක්ෂතාවය ක්ලීන් ඇන්ඩ් ජර්ක් ක්‍රමයට කි.ග්‍රෑ. 89 ක් වන අතර මුළු බර එකතුව කි.ග්‍රෑ. 164 කි.

මේ අතර වාරයේ දී ඩිලංක ඉසුරු කුමාර පිරිමි කිලෝ ග්‍රෑම් 55 ට අඩු බර පන්තිය යටතේ අද (01) තරග බිමට පිවිසෙයි.

ලෝක ශ්‍රේණිගත කිරීමට අනුව කිලෝ ග්‍රෑම් 55 ට අඩු බර පන්තිය යටතේ 09 වැනි ස්ථානයට ශ්‍රේණිගතව සිටින ඩිලංක ඉසුරු කුමාර එම බර පන්තියේ ශ්‍රී ලංකා වාර්තා ලාභියා වෙයි. ඔහු ස්නැච් ක්‍රමයට කි. ග්‍රෑ. 116 ක් ද ක්ලීන් ඇන්ඩ් ජර්ක් ක්‍රමයට කි. ග්‍රෑ.141 ක් ද මුළු බර එකතුව ලෙස කි. ග්‍රෑ. 257 ක් ද ඔසවමින් ශ්‍රී ලංකා ජාතික වාර්තා ත්‍රිත්වයකට හිමිකම් කියයි.

අනුරුද්ධ හේරත් බණ්ඩාර

advertistmentadvertistment
advertistmentadvertistment