හරක්කටාගේ මස්සිනා ඩුබායි පැන්න ‘මිදිගම රුවන්’ ලංකාවට ගෙන එයි

143

හරක්කටා සී.අයි.ඩීයෙන් පන්නන්නත් සැලසුම් හදලා

ඩුබායි පොලිසිය භාරයේ සිටි මෙරට ප්‍රධාන පෙළේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු මෙන්ම දරුණු පාතාල අපරාධකරුවකු බව කියන ‘මිදිගම රුවන්’ නමැත්තා ත්‍රස්ත විමර්ශන කොට්ඨාසයේ නිලධාරීන් විසින් ඊයේ (31 වැනිදා) අලුයම මෙරටට රැගෙන එන ලදී.

මෙරට ප්‍රධානම පෙළේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු ලෙස සැලකෙන හරක්කටාගේ මස්සිනා බව කියන මිදිගම රුවන් නමැත්තා ඩුබායිහි හෝටලයක ඇති වූ ගැටුමකින් පසු එරට පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබුණේ මීට මාස දෙකකට පමණ උඩදීය.

ජාත්‍යන්තර රතු වරෙන්තුවක් මත සිටි මෙම පාතාල අපරාධකරුවා ඊයේ අලුයම 6.20ට ඩුබායි සිට පැමිණ ශ්‍රී ලන්කන් ගුවන් සේවයට අයත් ගුවන් යානයෙන් මෙරටට රැගෙන එනු ලැබීය.

31 හැවිරිදි වියේ පසුවන ජයසේකර විතානගේ රුවන් චාමර හෙවත් ‘මිදිගම රුවන්’ නමැත්තා දැඩි ආරක්ෂාව යටතේ ත්‍රස්ත විමර්ශන මූලස්ථානය වෙත රැගෙන ගිය අතර ඔහු එහි රඳවාගෙන ප්‍රශ්න කරනු ඇත.

හරක්කටා ඩුබායිහිදී පොලිස් අත්අඩංගුවට පත්වීමෙන් පසු ඔහුගේ මත්ද්‍රව්‍ය ජාලය සහ පාතාල ක්‍රියාකාරකම් සම්පූර්ණයෙන්ම මෙහෙයවා ඇත්තේ ඔහුගේ මස්සිනා වන මිදිගම රුවන් විසින් බව පොලිසිය පවසයි.

හරක්කටාගේ මස්සිනා ඩුබායි පැන්න 'මිදිගම රුවන්' ලංකාවට ගෙන එයි

හරක්කටා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් මුදා ගැනීමේ මෙහෙයුම් දෙකක් සැලසුම් කර එය ක්‍රියාත්මක කරනු ලැබුවේ මිදිගම රුවන් විසින් බවද විමර්ශනවලින් හෙළිවිය.

එහි පළමු මෙහෙයුම ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ට නින්ද යෑමට බෙහෙත් ලබාදී එම දෙපාර්තමේන්තුවේ කොස්තාපල්වරයකුගේ ද සහාය ලබාගෙන හරක්කටාට පලා යෑම සඳහා සියලු සැලසුම් මොහු විසින් සකස් කර තිබිණි.

හරක්කටාව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් පලා ගිය පසු ඔහුව මාතර දක්වා යෑමට වෑන් රථයක් ද එතැන් සිට මුහුදු මාර්ග ඔස්සේ ඉන්දියාවට පලා යෑමට බෝට්ටුවක් ද සූදානම් කර තැබීමට මිදිගම රුවන් සැලසුම් කර තිබිණි.

එහෙත් එම සැලසුම ව්‍යාර්ථ වූ අතර හරක්කටාගේ ආරක්ෂාවට සිටි විශේෂ කාර්ය බළකායේ නිලධාරියකු විසින් ඔහු අල්ලා ගනු ලැබීය.

හරක්කටා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් මුදාගැනීමේ දෙවැනි මෙහෙයුම ලෙස හමුදාවෙන් ඉවත් වූ කොමාන්ඩෝ සෙබළුන් පිරිසක් යොදා ප්‍රහාරයක් එල්ල කිරීම සැලසුම් කළේ ද මිදිගම රුවන් විසින්ය.

එහෙත් එම මෙහෙයුම ද ව්‍යාර්ථ වූ අතර ඊට සම්බන්ධව සිටි හිටපු කොමාන්ඩෝ සෙබළු පිරිසක් අත්අඩංගුවට පත්වූහ.

මෙරටට රැගෙන ආ මිදිගම රුවන් මිනිස් ඝාතන, මත්ද්‍රව්‍ය ජාවාරම්, කප්පම් ගැනීම් ඇතුළු අපරාධ ගණනාවකට සම්බන්ධ බව පොලිසිය පවසයි.

හේමන්ත රන්දුණු සහ ටී.කේ.ජී. කපිල

advertistmentadvertistment
advertistmentadvertistment