නඩුවට නොපැමිණි තානාපති නිවස කැඩූ සොරාට වරෙන්තු

43

පසුගිය වසරේ ජුනි 26 වැනිදා මහ රෑ කොළඹ පිහිටි වියට්නාම තානාපති කාර්යාලයේ පරිපාලන නිලධාරියාගේ නිල නිවසට රිංගා එහි අල්මාරියක තිබූ රුපියල් ලක්‍ෂ දහයකට අධික දේශීය හා විදේශීය මුදල් තොගයක් සොරකම් කිරීමේ චෝදනාව යටතේ නඩු පවරා තිබියදී අධිකරණය හමුවේ පෙනී නොසිටි සැකකරුවකු වහාම අත්අඩංගුවට ගැනීමට කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් මහතා ඊයේ (26දා) විවෘත වරෙන්තු නිකුත් කළේය.

මරදාන ඩීන්ස් පාරේ පදිංචිකරුවකු වන මොහොමඩ් නියාස් මොහොමඩ් පිකාන් නමැති සැකකරු දුටු තැන අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමට නියෝග කෙරිණි.

එම සැකකරු පෙර කී දින රාත්‍රියේ එම නිල නිවසට රිංගා අල්මාරිය විවෘත කර මුදල් පැහැර ගන්නා අවස්ථාවේදී පැමිණිලිකාර තානාපති නිලධාරියාගේ බිරිඳ නින්දෙන් අවදි වී කෑගැසීම නිසා ඔහු පලාගොස් තිබූ අතර ලැබුණ පැමිණිල්ලක් අනුව විමර්ශන පැවැත්වූ කුරුඳුවත්ත පොලිසිය සැකකරු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කොට තිබිණි. පසුව ඇප මත මුදාහළ එම සැකකරු ඊයේ (26දා) අධිකරණය හමුවේ පෙනී නොසිටීම නිසා එලෙස වරෙන්තු නිකුත් කළ අතර නඩුව ලබන අප්‍රේල් 22 වැනිදා යළි කැඳවීමට නියමිතය.

ඒ. ජේ. ඒ. අබේනායක

advertistmentadvertistment
advertistmentadvertistment