සෙලාන් බැංකුව සහ විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුව එක්වී ජෛවමිතික ක්‍රමයට ජීවිත සහතික නිකුත් කිරීම අරඹයි

135

සුහද හදක් ඇති දේශීය බැංකුව, සෙලාන් බැංකුව, පසුගියදා විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුව සමග එක්වී, ජෛවමිතික සත්‍යාපනය (Biometric Authentication) ඔස්සේ ජීවිත සහතික නිකුත් කිරීමේ වැඩපිළිවෙළක් ආරම්භ කළේය.

ජීවිත සහතික යනු විශ්‍රාමිකයන් ජීවත්ව සිටින බව තහවුරු කිරීම සඳහා භාවිතා කරන වැදගත් ලේඛනයකි. නව ක්‍රමය යටතේ යන්ත්‍රයක් මගින් විශ්‍රාමිකයන්ගේ ඇඟිලි සලකුණු ලබාගෙන එවෙලේම ජීවිත සහතික නිකුත් කරන අතර, එමගින් මෙය වඩාත් පහසු, සරල හා කාර්යක්ෂම ක්‍රියාවලියක් බවට පත්වී ඇත.

මීට පෙර ජීවිත සහතික ලබාගැනීම සඳහා, වසරේ නිශ්චිත කාල සීමාවකදී ඒ සඳහා වන අයදුම්පත තැපැල් මාර්ගයෙන් විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුවට එවීමට විශ්‍රාමිකයන්ට සිදුවිය. මින් ඉදිරියට, විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුවේ නවතම තාක්ෂණික පහසුකම් හා තොරතුරු පද්ධතිය භාවිතා කරමින්, සෙලාන් බැංකුවේ ශාඛා 75කදී ජීවිත සහතික නිකුත් කෙරෙනු ඇත. මේ නිසා විශ්‍රාමිකයන්ට තවදුරටත් පෝලිම්වල රැඳී සිටීම අවශ්‍ය නොවන අතර, එය රටේ පවතින කොවිඩ්-19 තත්ත්වය හමුවේ විශ්‍රාමිකයන්ගේ ආරක්ෂාව තහවුරු කරන පියවරක් ද වේ.

“විශ්‍රාමිකයන්ගේ යහපත වෙනුවෙන් කටයුතු කිරීම අප සතු වගකීමක්. විශ්‍රාමිකයන් යනු රටට සුවිශාල මෙහෙවරක් ඉටුකළ පිරිසක් නිසා සෑම විටම ඔවුන්ට උපරිම පහසුවක් සැලසීමට අප කටයුතු කළ යුතුයි. විශ්‍රාමිකයන් වෙනුවෙන් මේ ආකාරයට ජෛවමිතික සත්‍යාපනය ඔස්සේ ජීවිත සහතික නිකුත් කිරීමේ පහසුකම ලබාදීමට හැකිවීම විශාල සතුටක්. මෙමඟින් ඔවුන්ට වඩාත් ඉක්මණින් ජීවිත සහතික ලබාගැනීමට අවස්ථාව ලැබෙනවා. මේ සඳහා ලබාදුන් සහයෝගය වෙනුවෙන් මා සෙලාන් බැංකුවට ස්තූතිවන්ත වනවා” යැයි විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජෙනරාල් ඒ. ජගත් ඩී. ඩයස් මහතා පැවසී ය.

“ශ්‍රී ලංකාවේ විශ්‍රාමිකයන් වෙනුවෙන් මේ ආකාරයට ජෛවමිතික සත්‍යාපන ක්‍රමය ඔස්සේ ජීවිත සහතික නිකුත් කිරීමේ ක්‍රියාවලිය හඳුන්වා දීමට හැකිවීම පිළිබඳව අප සතුටට පත්වෙනවා. ජීවිත සහතිකය යනු විශ්‍රාමිකයන් වසරක් පාසා ඉදිරිපත් කළ යුතු ලියවිල්ලක් නිසා, එය කිසිඳු දුෂ්කරතාවකින් තොරව ලබාගැනීමට ඔවුන්ට හැකියාව තිබිය යුතු බව අප විශ්වාස කරනවා. විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුව සමඟ එක්ව කටයුතු කරමින් එම පහසුකම විශ්‍රාමිකයන් වෙත ලබාදීමට අපට හැකි වුණා. සුහද හදක් ඇති දේශීය බැංකුව වශයෙන් අප සෑම විටම උත්සාහ කරන්නේ අපගේ ගනුදෙනුකරුවන්ගේ ජීවිත සවිබලගන්වන සහ ඔවුන්ගේ එදිනෙදා කටයුතු වඩාත් පහසු කරන විසඳුම් හඳුන්වා දීමටයි. එම උත්සාහයේ තවත් පියවරක් ලෙස මේ ආකාරයට විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුව සමඟ අත්වැල් බැඳගැනීමට හැකිවීම පිළිබඳව අප බෙහෙවින් සතුටු වනවා” යැයි සෙලාන් බැංකුවේ අධ්‍යක්ෂ/ ප්‍රධාන විධායක නිලධාරී කපිල ආරියරත්න මහතා පැවසීය.

advertistmentadvertistment
advertistmentadvertistment